ලංකාව තුළ වත්කම් අයකර ගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව අපරාධ අංශයක්

0
96

සටහන – ඕවින්දි විෂ්මිකා

ඔක්තෝබර් 21, කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ යටපත්ව තිබූ සහ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුත්තක් වන නීති විරෝධී ලෙස අත්පත් කරගත් වත්කම් සොයා ගැනීම සහ නැවත ලබා ගැනීම සඳහා කැප වූ නව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් රජය විසින් ස්ථාපිත කර ඇති අතර එය දූෂණය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි රටේ අඛණ්ඩ ව්‍යාපාරයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

අපරාධ විමර්ශන අංශය (PCID) ඊයේ කොළඹ පැරණි පොලිස් මූලස්ථානයේදී රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉදිරියේ නිල වශයෙන් එය දියත් කරන ලදී.

සමාරම්භක උත්සවයේදී පිරිස අමතමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වූ වැදගත්කම අවධාරණය කළේය. “නීතිය පමණක් වෙනසක් ගෙන එන්නේ නැත. යුක්තිය ඉටු වන බව සහ ප්‍රමාදයකින් තොරව ඉටු වන බව මහජනතාව දැක ගත යුතුය.ඒවා නීති වැළැක්වීමේ ක්‍රම බවට පත්වෙන්නේ එවිටයි.” ඔහු පැවසීය.

නීති විරෝධී ක්‍රියාකාරකම් හරහා ලබාගත් වත්කම් හඳුනා ගැනීම,ඒවා හසුකර ගැනීම සහ නැවත අයකර ගැනීම සඳහා නිර්මාණය කර ඇති සන්ධිස්ථානීය නීතියක් වන 2025 අපරාධ දේපළ පනත යටතේ PCID ක්‍රියාත්මක වේ. නීති විරෝධී ලෙස ධනවත් වීම සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයින්ට හෝ ආයතනවලට එරෙහිව අපරාධ සහ සිවිල් නඩු කටයුතු කරගෙන යාමට මෙම පනත මඟින් බලධාරීන්ට ඉඩ සලසා දෙන අතර නීති විරෝධී ධනය සොයා ගැනීම සඳහා රජයේ ආයතන 34 ක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අංශයට බලය ලබා දෙයි.

එහි විධි විධාන යටතේ PCID හට මහජන පැමිණිලි ලබා ගැනීමට, සැක සහිත වත්කම් දින 30 ක් දක්වා හසුකර ගැනීමට සහ නීති විරෝධී ලෙස ලබාගත් දේපළ සඳහා සිවිල් අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මාර්ගය නිර්මාණය වේ.

තවද ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වසර තුනක කාලයක් සඳහා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත. මෙහෙයුම් කළමනාකරණය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද ඔහුට සහාය වනු ඇත.

සංවිධානාත්මක අපරාධ, ත්‍රස්තවාදය සහ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ නව නීති කෙටුම්පත් කරමින් පවතින අතර දැනට පවතින නීති මගින් තීරණාත්මකව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් බලයක් දැනටමත් ලබා දී ඇති බව අමාත්‍ය විජේපාල අවධාරණය කළේය. නීති විරෝධී ධනවත් වීම් නැවැත්වීම සඳහා අධිෂ්ඨානශීලීව ඒ වෙනුවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

මේ අතර අධිකරණ, මහජන ආරක්ෂාව, ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල නියෝජිතයින්ගෙන් සමන්විත බහු-අමාත්‍යාංශ කමිටුවක් විසින් මාර්ගගත ආරක්ෂණ පනතකට සංශෝධන සකස් කරමින් පවතී. සංශෝධන මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙන බව එහිදී අනාවරණය විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නවීන ආරක්ෂක අවශ්‍යතා සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන නව නීති සම්පාදනයකින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු සිදුවෙමින් පවතින බව ද අමාත්‍යවරයා තහවුරු කළේය. නීති ආදේශනයන් කෙටුම්පත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නායකත්වයෙන් යුත් නීති කමිටුවකට පැවරී ඇත.

උත්සවය අමතමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ දුර්වල ලෙස දේවල් ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය හානියට පත් වී ඇති බවයි. නිලධාරීන්ට ශක්තිමත් නීතිමය අධිකාරියක් ලබා දීම සඳහා PCID සහ නව පනත ස්ථාපිත කිරීම ඔහු ප්‍රශංසා කළ නමුත් ඔවුන්ගේ බලතල වගකීමෙන් සහ මහජන යහපත සඳහා භාවිතා කරන ලෙස ඔවුන්ට අවවාද කළේය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන්ට බාධාවක් වී ඇති අඛණ්ඩ නීතිමය හිඩැස් වැසීම අරමුණු කරගත් සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙළ මේ වන විටත් අවසන් වීමට ආසන්න බව ඔහු තවදුරටත් හෙළි කළේය.

2025 වසරට අදාළ අපරාධ දේපළ පනතේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි ප්‍රතික්‍රියාශීලී බව වන අතර එමඟින් අතීත විගණන වාර්තා මත පදනම්ව පියවර ගැනීමට ඉඩ සලසයි. රාජ්‍ය මූල්‍ය අධීක්ෂණයේ වැඩි වගවීමක් සහතික කරමින් එවැනි සොයාගැනීම් සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (CIABOC) යොමු කිරීමට විගණකාධිපතිවරයාට පුළුල් බලතල ලබා දී ඇති බව එහිදී අවසාන වශයෙන් අවධාරණය කළේය.