සටහන – පුලී
ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන සුල්තාන්වරයා වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ පැවැති රාජකීය රාත්රී භෝජන සංග්රහයේදී අරාබි භාෂාවෙන් ද අදහස් පළ කර තිබීම කාගේත් අවධානයට ලක් වූ කරුණක් විය.
බ්රිතාන්යයේ ප්රධාන මැදපෙරදිග හවුල්කරුවෙකු වන ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් වෙනුවෙන් මෙම උත්කර්ෂවත් රාජ්ය සංචාරක පිළිගැනීම සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ චාල්ස් රජු, ලෝකයේ වැදගත්ම නාවික මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්ර සන්ධිය විවෘතව පවත්වාගෙන යාම සඳහා ඕමානය ගන්නා උදාර උත්සාහයන් අගය කළේය.
ඉරානය සමඟ පවතින ගැටුම සම්බන්ධයෙන් රාජ්යතාන්ත්රික මැදිහත්වීම් සිදුකරමින්, දෙපාර්ශ්වයට එකඟතාවකට පැමිණිය හැකි කරුණු සොයා බැලීමට ඕමානය ගන්නා උත්සාහය ද රජුගේ පැසසුමට ලක්විය.
පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්රායලය ඉරානයට එරෙහිව පුළුල් ප්රහාර මාලාවක් දියත් කළ අතර, එහිදී ඉරානයේ උත්තරීතර නායකයා මියගිය බව වාර්තා විය. ඉන් අනතුරුව ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ ප්රධානතම නාවික ප්රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනය ද දැඩි ලෙස අඩාල වී තිබේ.
වින්ඩ්සර් මාලිගයේ පැවැති මෙම රාජ්ය උත්සවයට චාල්ස් රජු, කැමිලා රැජින, විලියම් කුමරු, කැතරින් කුමරිය සහ ඈන් කුමරිය ඇතුළු බ්රිතාන්ය රාජකීය පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.
බ්රිතාන්ය අග්රාමාත්ය ඇන්ඩි බර්න්හැම්ට ද මෙය පළමු රාජකීය රාජ්ය රාත්රී භෝජන සංග්රහය වූ අතර, ඔහු අසලින් අසුන්ගෙන සිටියේ ඕමාන ශාස්ත්රඥවරියක සහ නවකතාකාරියක වන ජෝඛා අල්හාර්ති ය.
අමුත්තන් 160 දෙනෙකු සහභාගී වූ මෙම රාත්රී භෝජන සංග්රහය අතිශය උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබුණි. අලංකාර ඉටිපන්දම් රඳවන, ඔප දැමූ මේස සැරසිලි සහ එක් එක් අසුන සඳහා වීදුරු පහ බැගින් තබා තිබූ අතර, ලුණු බඳුනේ මතුපිට පවා චාල්ස් රජුගේ රාජකීය සංකේතය සටහන් කර තිබීම විශේෂත්වයකි.
වින්ඩ්සර් මාලිගයේ උද්යානවල මෙවර ගිම්හාන කාලයේදී දෙළුම් අස්වැන්න ඉහළ ගොස් තිබූ අතර, එම පලතුරු ද මල් සැරසිලි සමඟ රාත්රී භෝජන මේසය අලංකාර කිරීම සඳහා යොදාගෙන තිබුණි.
මෙම රාජ්ය සංචාරය හරහා බ්රිතාන්යය සහ ඕමානය අතර පවතින දිගුකාලීන රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.





