වව්නියාවේ නගරාධිපති සහ උප නගරාධිපතිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

0
176

සටහන – රුවන් නෙළුගොල්ල

වව්නියාව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එම නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමණියම් ප්‍රේමදාස් යන අය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර ඔවුන් සඳහන් කරන්නේ වව්නියාව නගරාධිපතිවරයා ජන්ද 11ක් ලබාගෙන නගරාධිපති වශයෙන් තේරී පත්වූ අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10 ලබාගෙන තිබූ බවත් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වූ තැනැත්තා ලබාගත් ඡන්ද ගණන 11ක් වන අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10ක් ලබාගෙන තිබූ බවත් ය.

නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ සභිකයා නගර සභා බලප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බවටත් නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වු පුද්ගලයින්ට එම තනතුරු දැරීම සඳහා ප්‍රමාණවත් ඡන්ද ලැබී නොමැති බවටත් පෙත්සමෙන් චෝදනා කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව පෙත්සමෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව ඔවුන් එම ධුරවල කටයුතු කිරීම නීතියට පටහැනි බවත් එම ධුර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල නියම කළේ වව්නියාව නගරාධිපතිවරයා වශයෙන් පත්වූ දෙමළ ජාතික සන්ධානයේ සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ ප්‍රජාතාන්ත්‍රික ජාතික සන්ධානයේ පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පැනවීමට ය. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම විභාග කර අවසන් වන තුරුම වලංගු වන බවත් එම නියෝගයේ දැක්වේ.

පෙත්සම නොවැම්බර් 19 වනදා යළි කැඳවීමට ද නියම කෙරිණි.