රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW :
මෙරට දී ණයවර ලිපි විවෘත කරමින් , රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන වලට අදාල රේගු ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනයක් මේ මස 24 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ.
අද (22) දින ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් පමණ අභියාචනාදීකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී , මුදල් අමාත්‍යංශය ලේකම්වරයා සහ ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළ බව පැවසේ.
මෙම පෙත්සම් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින්ගේ වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව සඳහන් කළ. බව සඳහන් වේ.
මෙම කරුණට අදාලව ගැසට් නිවේදන දෙකක් පවතින බවත් එම ගැසට් නිවේදන වලට අනුව අදාළ වාහන රේගු විසින් රඳවා ගැනීම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කරන ලද වාහන 800 ක් 900 ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබෙන බව සඳහන් කර ඇති අතර, එම වාහන අතුරින් 90 ක් හෝ 100 ක් සම්බන්ධයෙන් මෙම අධිකරණය හමුවේ නඩු පවතින බවත් ඔහු පෙන්වා දුන් බව පැවසේ.
කෙසේ වෙතත් මෙම වාහනවලට අදාල අධිභාර සහ රේගු ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනයක් මේ මස 24 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු බොහෝ දෙනකු අධිකරණයට දැනුම් දුන්නේ එම ගැසට් නිවේදන නිකුත් වීමෙන් පසුව සිය පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි.ඒ අනුව අදාල පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව අදාල පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 12 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළ බව සඳහන් වේ.
රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට සූදානම් බවට ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණ අතර, එම කොන්දේසියට යටත්ව මේසේ රදවාගෙන සිටි එක් වාහනයක් මුදා හැරීමට ද අධිකරණය හමුවේ අද එකගතාවයක් ඇතිවුණ බව වැඩිදුරටත් වාර්තා වේ.
