පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන විමර්ශන ප්රබල තත්ත්වයක පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21) කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
මහේස්ත්රාත්වරයා – මේ නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා ඇති හිටපු ජනාධිපතිවරයෙක් මෝසමක් මගින් ඉල්ලීමක් කළා වෛද්ය ප්රතිකාර සඳහා විදෙස්ගතවීමට එම විදෙස් ගමන් තහනම ඉවත්කරන්න කියලා. ඔහු දැනට මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කොයි වගේ තත්වයකද තියෙන්නේ ?
දිලීප පීරිස් – ස්වාමිනි, එම මෝසමේ පිටපතක් නීතිඥවරයා මටත් යොමුකර තිබුණා. එහි සඳහන් වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමින් පසු විපරම් කිරීම් සහ ප්රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති 02ක් විදෙස්ගතවීමට අවශ්යයි කියලා. ඔහු දැනට සැකකරුවෙකු ලෙස නම්කර නොමැත්තේ ස්වාමිනි අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු විමර්ශන පැවතීම සහ හිටපු ජනාධිපතිවරයා ගොනුකළ නඩුවක් අභියාචනාධිකරණය හමුවේ පැවතීම නිසයි. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන මේ වෙද්දි ප්රබල තත්වයක තියෙනවා. එහෙත් ඔහුට වෛද්ය ප්රතිකාර සඳහා විදේශගතවීමට අවශ්ය නම් මානුෂික හේතුන් මත ඊට ඉඩ ලබාදිය හැකියි.
නඩුව නොවැම්බර් 25 වනදා යළි කැඳවීමට නියමිත ය.


