මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපතිවරයා වෙත ලිපිගොනුවක් යැවීමට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (21) කටයුතු කර තිබේ.

ඒ, අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක්කර ඇති බවත් ඔහු උසාවිය ඇන්දවීමට උත්සාහ කරන බවත් පෙන්වා දෙමින් ඔහු අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කරමිනි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට පුද්ගලයකුට එරෙහිව අසත්‍ය නඩු දෙකක් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය නඩු පවරා තිබී ඇති අතර මීට පෙර අවස්ථාවකදී එම නඩුවේ විත්තිකරුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබිණි.

එමෙන්ම අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන්ට ම දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියම කර තිබිණි.

එහිදි මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතත් එම උපදෙස් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතා ම අවිධිමත් ලෙස බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එක් මාසයකදී ගන්නා නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට අණකර එමගින් පොලිසියේ හා නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීම නිරන්තරයෙන් සිදුවූවත් සැබැවින් ම පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අපරාධ වැටලීම් කරන්නේ නම් එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා අඩු නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී වාර්තා විය යුතු බවත් පෙන්වා දී ඇත.

එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් එහි පහළ නිලධාරීන්ට අණ කිරීම මගින් තවත් වසර පහක කාලයක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය මදි වීමට ඉඩ ඇති බව ද මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න ඒ අවස්ථාවේදී පෙන්වා දී ඇත.

මෙම ක්‍රමවේදය පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහා ම යොමු කර එම ක්‍රමවේදය වහා ම වෙනස් කළ යුතු බව අවධාරණය කර තිබුණු මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියෙන් පසු අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව රටේ අහිංසක මිනිසුන්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන අන්දමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියම කරමින් ඒ සඳහා පොලිස්පතිවරයාට කල් ලබා දීමක් ද සිදුකර තිබිණි. ඒ සඳහා මෙම නඩුව මීට පෙර අවස්ථා දෙකකදී කැඳවන ලද නමුත් විවිධ හේතු මත එම කටයුත්ත කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් පොලිස් නිලධාරීහු නඩුව සඳහා දින ලබාගෙන තිබිණි.

ඒ අනුව නඩුව ඊයේ (21) දිනයේ කැඳවූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරුන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂ ප්‍රණීත ජයවර්ධන පෙනී සිටිමින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල නිලධාරීන්ට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 19 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙහිදී එය සැලකිල්ලෙන් කියවූ මහේස්ත්‍රාත්වරයා, තමන් නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස්පතිවරයාට හෙයින් මෙසේ බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පත්‍රිකාවක් ගෙන ඒම තේරුමක් නොමැති බවත් මෙය තමන්ව ඇන්දවීම සඳහා දැරූ උත්සාහයක් බවත් පැවසීය. එසේම මාස පහක කාලයක් මේ සඳහා ලබාදී තිබුණත් පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇති බව තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේ ය.

අධිකරණයට අපහාස කිරීම යනු වසර ගණනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය හැකි වරදකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක් ලැබුණේත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි වසර හයක සිරදඬුවමක් ගෙවමින් සිටින්නේත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙනි.

ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටී. 35 වැනි පොලිස්පතිවරයා වූ සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසු තම නිවසේදීම වෙඩි වැදී මියගිය අතර එය හදිසි අනතුරක්ද, සියදිවි නසාගැනීමක්ද යන්න පැහැදිලි නැත. 36 වැනි පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු යෝජනාවක් හරහා තනතුරෙන් නෙරපා හරින ලදී. ඔහුට බරපතළ නඩු ගණනාවක්ම පැවරී ඇති අතර පසුගිය වසරේදී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් විය. 37 වැනි පොලිස්පතිවරයා ලෙස වර්තමානයේ පොලිස්පති තනතුර දරන්නේ ප්‍රියත්න වීරසූරිය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...