කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්රදේශයේ අක්කර 6කට වැඩි භූමි භාගයක් ජනතා පරිහරණය සඳහා නිදහස් කර තිබේ.
ජාතික ආරක්ෂාව සඳහා අත්යවශ්ය වන ඉඩම් හැර උතුරු අර්ධද්විපයේ ආරක්ෂක අංශ සතුව පැවති රජයේ ඉඩම් ජනතාවගේ ඵලදායී භාවිතය සඳහා යොමුකිරීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින අතර එහි තවත් පියවරක් ලෙසයි මුලතිව් කෙප්පාපිලව් ප්රදේශයේ අක්කර 6.97ක භූමි ප්රමාණයක් මහජනතාව වෙනුවෙන් නිදහස් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ශ්රී ලංකා යුද හමුදාවේ 59 වන සේනාංකයේ නිලධාරීන් විසින් අදාළ ඉඩම මුලතිව් දිස්ත්රික් ලේකම්වරයා ඉදිරිපිට දී මුහුදුබඩපත්තු ප්රාදේශීය ලේකම්වරිය වෙත නිල වශයෙන් භාරදීම සිදුකර ඇත.
මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදුන් ආරක්ෂක අමාත්යාංශයට, ශ්රී ලංකා යුද හමුදාවට, 59 වන සේනාංකයට සහ සෙසු ආරක්ෂක හා රාජ්ය නිලධාරීන් වෙත මුලතිව් දිස්ත්රික් ලේකම්වරයා මෙහිදි සිය කෘතඥතාව පළ කර තිබේ.


