*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අර්බූදය තරණය කල නොහැකි විලංගුව වමද ?

යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාබය ජයග්‍රහණය නොකර සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර හෝ වෙන කවුරුන් හෝ ජයග්‍රහණය කලේ යැයි අපි මොහොතකට සිතමු. නමුත් ජනාධිපතිවරයා කවුරුන් වුවද ලාංකීය ආර්ථිකය තුල ප්‍රමාද වී හෝ මේ ආර්ථික අර්බූදය ඇතිවීම අනිවාර්ය තත්වයකි.

මන්ද මේ අර්බූදය ඓතිහාසික අර්බූදයක් විනා කිසිසේත්ම ඕපපාතිකව ඇතිවූවක් නොවේ.

එනම් මේ අර්බූදය දශක ගානක ප්‍රතිපලයක් විනා එක් රැයක නිර්මාණයක් නොවේ. ආදායම මෙන් දෙගුණයක වියදමක් පවත්වාගෙන යන ග්‍රාමීය කුටුම්බයකට අවසානයේ උරුමවන ඉරණම වටහා ගැනීමට මහා ආර්ථික විද්‍යාවක් දතයුතු නැත. යම් රාජ්‍යයක් තුලද ආදායම මෙන් දෙගුණයක වියඳමක් පවත්වාගෙන යයි නම් එකී රාජ්‍යයේ ඉරණමද පෙරකී ග්‍රාමීය කුටුම්බයේ ඉරණමට සරළමතිකව සමවේ..

එවන් බංකොලොත් ඉරණමක් තුල ග්‍රාමීය කුටුම්බයක අවසාන උරුමය වන්නේ ගේදොර හැලිවලං ටික පවා ණයපොලී කරුවන්ට සින්නවී අවසානයේ යනඑන මං නැතිව මහමගට ඇද වැටීමය. එවන් බංකොලොත් ඉරණමකට ඇද වැටෙන රාජ්‍යයක අවසාන උරුමය වන්නේ විනිමය හිගය උත්සන්නවී එකී රාජ්‍යයේ වෙසෙන ජනයාගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය බෙහෙත් හේත්, ආහාර ද්‍රව්‍ය පවා රට තුලට ආනයනය කරගත නොහැකිව ජනයා එකිනෙකා ගහමරාගන්නා තිරිසන් ම්ලේච්ඡත්වයකට ඇදවැටීමය.

මේ මොහොතේ පවා ලංකාවට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය බෙහෙත් හේත් ඉන්දන ටික ගෙන්වා ගන්නේ මැදපෙරදිග කාන්තා ශ්‍රමය හා වතු හා ඇඟළුම් ශ්‍රමය විකුනා ලබාගන්නා සොච්චම් විනිමය වත්කම මඟිනි.
ඇඟළුම්, වතු සහ ගෘහ සේවිකා ක්ෂේත්‍ර තුල කොහෙත්ම යහපත් ශ්‍රම කොන්දේසි නොමැත නමුත් මා මෙහිදී මේ ක්ෂේත්‍රයන් සඳහන් කරන්නේ අවම වශයෙන් මෙසේ හෝ ගෝලීය වෙළඳපොල සමඟ සම්බන්ද නොවී කිසිදු විනිමයක් මේ යුගයේ ඉපයිය නොහැකි බව ගෙනහැර දක්වන්නටය.

නමුත් ලාංකීය ජාතියේ නුතන චින්තනය වී ඇත්තේ ඉතිහාස ස්වයංපෝෂිත කෘෂි ශිෂ්ඨාචාරය යලි නගා සිටුවා ලංකාව ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය කරවීමේ මේ යුගයට කිසිසේත්ම නොගැලපෙන යුටෝපියාවකි.
විනිමය හිඟය යුගයෙන් යුගය තවතවත් ගැඹුරු කරමින් රට මෙවන් ඛේදවාචකයක් කරා රැගෙන ආවේද මේ අපබ්‍රංශ දේශිය චින්තනයයි.

ලාබෙට නූගත් ජන මනස දිනාගැනීමේ අරමුණෙන් මේ ගෝත්‍ර මතවාදවල වාහකයන් වෙමින් මේ මතවාද වවාගෙන කෑවේ ඊනියා වාමාංශිකයන් විසින් සහ ඊනියා දේශප්‍රේමීන් විසිනි.

අනෙක් පැත්තෙන් දිගින් දිගටම ලබාගත් ලෝක ණයවලින් ට්‍රිලියනය ගනන් වියඳම් කරමින් දසක ගානක් තිස්සෙ නඩත්තුකරගෙන ගිය ලක්ෂ දාසයක පමණ වන (අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් ) රාජ්‍ය අංශයේ නිලධාරී ජාලයේ බරද මේ මහා අර්බූදයට හේතුවු බව මේ මොහොතේ හෝ අප පිලිගත යුතුය.

දැන් අපි මීටම සම්බන්ද අර්බූදයේ අනෙක් පැත්තට අවධානය යොමු කරමු. රටක අධ්‍යාපන ක්‍රමය පලදායී වීමට නම් එකී අධ්‍යාපනය ගෝලීය ශ්‍රම වෙළඳපොලට සමගාමීව යාවත්කාලීන විය යුතුය. නමුත් ලංකාවේ අධ්‍යාපනය එසේ යාවත්කාලීන කිරීමට ගිය සෑම විටෙකම ඊට එරෙහිවුයේ වාමාංශිකයන්‍ ය.

ඊළඟට යාවත්කාලීන නොවූ හද්දා පරන සරසවි අධ්‍යාපනය තවතවත් පුළුල් කරන ලෙස ඉල්ලා උත්ඝෝසනය කලෙත් මේ ඊනියා වම්මුන් විසිනි. එතනින් එහාට මේ සරසවි වලින් එළියට එන සියල්ලන්ටම කෙසේ හෝ රාජ්‍ය රැකියා ලබා දෙනු කියමින් උත්ඝෝසනය කලෙත් සියළු සරසවි හා රාජ්‍ය වෘතීය සමිති තමන්ගේ දේශපාලන තිප්පොලවල් බවට පත්කරගත් මේ වම්මුන් විසිනි.

වාම සහ ජාතිවාදී ව්‍යාපාර අදටත් වර්තමාන අර්බූදයේ වගඋත්තරකරුවන් ලෙස දෝෂදර්ශනයට ලක් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. ඇත්තෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනූ ගෝලීය ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණ සිදුකරන පිලිගත් විශේෂඥ ආයතනයකි.

ඔවුන් කාලෙක සිට කලේ ලාංකීය වත්මන් මුල්‍ය අර්බූදය කල් තබා පෙන්වාදීම පමණි. අපට ඔවුන්ගේ කිසිදු බල කිරීමක් බලපෑමක් නොමැත. කැමති නම් ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කල හැකිය. නැතිනම් මෙතෙක් කලා මෙන් දිගටම කරමින් තවතවත් කෙලවාගැනීමට ද පුළුවන.

වෘතීය සමිති මනෝබාවය සහ ආචීර්නකල්පික සංකල්ප හා වර්ගවාදී ජාතිකවාදය යන කොටස් තුන එකට අනා ගුලිකර ස්වකීය මතවාදය සකස්කරගෙන ඇති වාම බලවේග ශ්‍රී ලංකාව ඊළඟ සියවට කැඳවාගෙන යා නොහැකි විලංගුව බවට පත්ව ඇති බව මෙහිදී නොකියාම බැරිය.

මේ මොහොතේ ශ්‍රීලංකාව තුල එවන් මුග්ධ මතවාද තොරොම්බල් කරන එක් බලවේගයක් වෙනුවට බලවේග කිහිපයක්ම තිබේ. ඔවුන් දේශපාලනය කරන්නේ අන්ත පසුගාමී ඕඩියන් එකක් සමඟය.

එක් පෙරමුණක් I.M.F.විරෝධය උඩ දාන විට අනෙක් පෙරමුණ ඊට වැඩි හඬකින් I.M.F.විරෝධය උඩ දමයි. අනෙක් පෙරමුණ ඒ දෙකටම වඩා I.M.F. විරෝධය මාකට් කරයි.

අවසාන වශයෙන් පැවසිය යුත්තේ රට ගැන කෙසේ වෙතත් අනාගතය අහිමි පොඩි උන් ගැනවත් අල්ප මාත්‍රයක හෝ හැඟීමක් තියෙන හැම බලවේගයක්ම මේ මොහොතේ හෝ කල යුත්තේ බොර දියේ මාළු බාන කාලකන්නි මජර දේශපාලනය මොහොතකට පසෙකින් තබා සාධනීය ජාතික එකඟතාවකට දැන් හෝ පැමිණීම ය.

නමුත් ජාතියේ අවසනාවට සහතික ලෙසම සිදු නොවෙන්නෙත් එයම ය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan