සංචාරක මඟ පෙන්වන වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීම මහනුවරදී ඇරඹේ!

0
172

කොළඹ LNW:ශ්‍රී ලංකාව පිළිබදව යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමේ හැකියාව වෘත්තිය රියදුරන්ට පවතින බැවින් ඔවුන් නිරන්තරයෙන් නීතිගරුක, ආචාරශ්‍රීලී පුරවැසියන් විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පැවසීය.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සිය ගමන්වාර තුළදී සංචාරක මාර්ගෝපදේශකයන් සමඟ ගමන් කරන නිසා වෘත්තිය රියදුරන් නිතරම යාවත්කාලීනවීම කාලෝචිත යැයි ද ඒ මහතා පැවසුවේය.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය කුසලතා සහ ආචාර ධර්ම ඉහළ නැංවීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන, මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව සහ මහනුවර මූලස්ථාන සහ සංචාරක පොලීසිය සංවිධාන කළ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව ඊයේ (22) මහනුවර මූලස්ථාන පොලිස් ශ්‍රවණාගාරයේදි ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව ඇමතූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මාර්ගයේ වාහන ගමනාගමයේදී මාර්ග නීති උල්ලංඝනය නොකිරිමට ත්‍රීරෝද රථ රියදුරන්ට වැඩි වගකීමක් පවතින බව කීවේය.

සංචාරකයන් ආරක්ෂා කර ගැනීම මෙන්ම ඔවුන්ට ශ්‍රී ලංකාවේ වැදගත් ආකර්ශනීය ස්ථාන පිළීබඳව අවබෝධයක් ලබාදීම සිදු කළ යුතු බවත් යළි සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි පසුබිමක් ඇති කිරීම ද ඔවුන්ගේ යුතුකමක් වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙරට ලක්ෂ 15ක ත්‍රීරෝද රථ ප්‍රමාණයක් පවතින බව කී ඒ මහතා ඉන් සිදුවන පරිසර හානි වළක්වා ගැනිමට ද රියදුරන් කටයුතු කළ යුතු බවත් බොහෝ සංචාරකයන් ශ්‍රී ලංකාවේ ආකර්ෂණය මෙන්ම පරිසරය රැක ගැනිම සම්බන්ධයෙන් ද උනන්දු වන බව එහිදී අබේකෝන් මහතා කීවේය.

මෙරටට විදේශීය විනිමය උත්පාදනය කර දීමට දිවා රාත්‍රී නොබලා කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සිය කෘතවේදීත්වය පළ කරන බවත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මහනුවර නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ, මහනුවර පොලිස් අධිකාරී අකිල කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් ද වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර