අලුත් සුරාබදු තීරණයෙන් වෙන්නේ ප්‍රධාන සමාගම් කීපයකට වාසි ලැබෙන එකයි – කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කියයි

0
267

සුරාබදු ආඥා පනත යටතේ අලුතින් ඉදිරිපත් කර ඇති නියෝග අනුව මත්පැන් විකිණීමෙන් ආදායම් ලැබීමට පෙරම එම මත්පැන් සඳහා බදු ගෙවා අවසන් කිරීමට සිදුව ඇති බවත් මේ ආකාරයෙන් කටයුතු කළහොත් මෙරට ඉතිරි වනු ඇත්තේ ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 4ක් පමණක් වන අතර සෙසු සියල්ල වැසී යනු ඇති බවත් කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඊයේ (22) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වූ අදාළ නියෝග සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රකාශකයකු අප වෙත පැවසුවේ මෙම අසාධරණයට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

“මේ කර්මාන්තයේ ස්වභාවය අනුව මුදල් එකතු කරගැනීමට යම් කාලයක් ගතවෙනවා. එසේ තිබියදීත් අපි මෙතෙක් කල් රජය අයකරන ප්‍රමාද ගාස්තුත් ගෙවාගෙන මේ කර්මාන්තය කරගෙන ආවා. නමුත් මේ අලුත් නියෝගය අනුව මාසයක් තුළ නිෂ්පාදන බලපත්‍ර අහෝසි කෙරෙනවා නම් මේ රටේ මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන පෙළේ සමාගම් 4කට විතරයි. ඒ අනුව මේ නියෝග සකස් කර ඇත්තේ ඒ සමාගම්වල වුවමනාවක් අනුවද කියලා සැකයක් මතුවෙනවා. මේ නියෝගවල අරමුණ ඔවුන්ට මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් හදාදීමද කියන සැකය අපට මතුවෙලා තියෙනවා.

බදු අපි කොහොමත් ගෙවන්න ඕනේ. විශාල වශයෙන් බදු පනවලා තියෙනවා, අමාරුවෙන් වුණත් අපි ඒ බදු කොහොම හරි ගෙවාගෙන මෙතෙක් මේ කර්මාන්තය කරගෙන යනවා. නමුත් අපිත් එක්ක කිසිදු සාකච්ඡාවකින් තොරව, කර්මාන්තයේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැන නොසලකා මෙහෙම තීරණ ගත්තාම වෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැහිලා යන එකයි. ඒ නිසා මේ අත්තනෝමතික තීරණයට විරුද්ධව අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා”

සබැඳි පුවත් –