උපාලි කොළඹගේ
කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් පළවෙමින් පවතී. ඒවා බොහෝ සෙයින් එකිනෙකට පරස්පරය. ලසන්ත වික්‍රමසේකර පාතාල කල්ලි නායකයකු බව කියන ආණ්ඩුව, මුහුණු පොතේ දායක සභාව හා හිතවතුන් එම ඝාතනය සාධාරණීකරණය කිරීමේ සෘජු හා වක්‍ර ප්‍රයත්නයක යෙදී සිටී. ඊට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ඝාතනය කෙලින්ම ආණ්ඩුවේ ගිණුමට බැර කරමින් දේශපාලන යුද හරඹයක් අරඹා ඇත.
ඔහු පාතාලය සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු වුවද එසේ නුවූවද කාර්යාල වේලාවක් තුළදී නිල කාමරයට ඇතුළු වී වෙඩි තබා ඝාතනය කිරීම ඉතා බරපතල සිද්ධියකි. මහජන නියෝජිතයකු නුවූවත් කිසිවකු ගේ ජීවිතය උදුරා ගැනීමේ අයිතියක් තව කෙනකුට නැත. ශිෂ්ට ලෝකයෙන් මරණ දඬුවම ඉවත් වන්නට ඇත්තේ ද මෙම මූලධර්මය පාදකව විය හැක. ආණ්ඩුවකට වුවත් කෙනකුගේ ජීවිතය උදුරා ගැනීමට අයිතියක් නැත්නම් අනීතිකව වෙනත් පාර්ශවයකට කිසිසේත්ම ඒ සඳහා ඉඩක් නැත.එවැනි ඝාතනයක් සාධාරණීකරණය කිරීම පවා දෙවැනි වන්නේ අදාළ පුද්ගලයා ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට පමණි. ආනන්ද විජේපාල ඇමතිවරයා මේ ගැන කරන ඇතැම් ප්‍රකාශ අප විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේද මෙම සදාචාර විරෝධී රටාව නිසාය.
කෙසේ වුවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමත් සමග තවත් අවධානය යොමු කළයුතු සිද්ධීන් කිහිපයක් ඉදිරියට විත් තිබේ. ඔහුට අවශ්‍ය තරම් ආරක්ෂාව ලැබී තිබුණා ද යන්න ඉන් ප්‍රධානය. එසේ නැත යන්නය දැනට එළිදරව් වී ඇත්තේ. ඔහු ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට ලියූ ලියුම්වල පිටපත් පිටතට ඇවිත් ඇත්තේද ඝාතනයෙන් පසුය. ඊට මහජන ආරක්ෂක අමාතවරයා දෙන පිළිතුර නම් ඉතාමත් ග්‍රාම්‍යයය. ඇමතිවරයා කියන්නේ පාතාල නායකයකුට ආණ්ඩුවෙන් ආරක්ෂාව ලබා නොදිය හැකි බවය. එය ඇමතිවරයාගේම ප්‍රතිරූපය අභියෝගයට ලක් කිරීමේ ප්‍රකාශයක් බව නම් සඳහන් කළ යුතුය .
ඔහුගේ පාතාල සබඳකම් කුමක් වෙතත් රටේ මහජන නියෝජිත ආයතනයක සභාපතිය. ඔහු ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමකි. එමෙන්ම ඝාතනය සිදුවන තුරු පෞද්ගලික ආරක්ෂක වැඩපිළිවෙලක් තිබුණාද යන්නද නොපැහැදිලිය .
බොහෝ දේශපාලනඥයන් තමන්ට කිසිවෙක් කිසිවක් නොකරන්නේය යන මතයෙහි පිහිටා සිටින බව අසා ඇත. එය අභිමානය පිළිබඳ ප්‍රශ්නයකි. පාතාලයට සම්බන්ධ දේශපාලනඥයන් මෙම මතයේ තරයේ ගැලී සිටී.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයට මේ ගැන මෙතරම් ඩෙඟා නැටීමට සදාචාරාත්මක අයිතියක් නැත. ඔවුන් රඟන්නේ මොණර නැටුමකි. අපේක්ෂකයන් තේරීමේ දී අනුගමනය කර ඇති සම්ප්‍රදායික හා අවිචාරමත් ක්‍රියා පිළිවෙත කුමක්ද යන්න පැහැදිලිය . අපේ දේශපාලන භූමිය මෙතරම් පාතාලකරණයට ලක්වීමට හේතුව කුමක්ද යන්නට මෙම සිද්ධිය පැහැදිලි පිළිතුරකි. කවුරුන් කෙසේ කීවත් ඝාතනයට ලක් වූ සභාපතිවරයා අධිකරණයෙන් දඬුවම් ලැබූ හා අපරාධ චෝදනා රාශියක් එල්ලවූ පුද්ගලයෙකි. එහෙව් අයෙකුට අපේක්ෂකත්වය ලබා දුන්නේ මේ කිසිවක් නොදැනද? නැත්නම් මොන විදියෙන් හරි දිනා ගන්න පුද්ගලයකු දැමීමේ සම්ප්‍රදායික අගය කිරීම මතද?
ලසන්ත ඝාතනය අනුමත නොකරනවා මෙන්ම එහිදී ආණ්ඩුව හැසිරෙනආකාරය අනුමත නොකරනවා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය පැරැණි උපක්‍රමවලින් මදක් හෝ ඔබ්බට ගොස් නැති බව මෙහිදී සඳහන් කළ යුතුය.

