ඔබ ක්‍රිකට් ලෝලියෙක්ද?නැත්නම් උද්වේගකර අවස්ථාවන් නරඹන්න ආස වෙනස් ආකාරයේ රසිකයෙක්ද?මොනම රස විදීමකට වුවත් අදාළ ප්‍රතික්ෂේප කරන්න බැරි,අමුතු උද්වේගකර සහ ත්‍රාසජනක අවස්ථා දරාගන්න අපහසු අසනීප තත්ත්වයක් නොවේනම් විරාට් කෝලි පකිස්තානයට එරෙහිව එකතු කරපු ලකුණු 82 ඉණිම ඔබ නැරඹිය යුතුය.
එක අතකින් කෝලි හිටගෙන ඉන්නේ පිට්ටනියක් මැද්දේ වුව එය යුද පිටියකට සමානය.ලෝකයේ නවීන තාක්ෂණයෙන් ඉස්සරහින් හිටියත්,අන්තවාදයෙන්,කුලවාදයෙන් ඉන්දියාවේ මිනිස්සුන්ගෙ හිත්වල අවුලපු ගිණිදැල්වල අඟුරු හිත්වල ඉතුරු වුණ මිනිස්සු තවමත් බහුතරය වන්නේය.ඒවා පකිස්තානය වැනි තමන්ගෙන් ගැලවි යාම ප්රජාතන්ත්රවාදි අයිතියක් හැටියට නොවී දේශද්රෝහිකමක් හැටියට හිතන මිනිස්සුන්ට වහා අවුලුවා ගන්න පුළුවන් සුළං පාරවල්ය.
මේ සුළං පාරවල් වසා තිබුණ ආවරණ ඉවත් කරන්නට ලෝක පූජිත ක්‍රීඩකයින් 11 ක් උත්සාහ දරමින් සිටියි.එහි පළමු ප්රයත්නය සාර්ථක වෙද්දි ඉන්දීය ලකුණු පූවරුව 7 කි.කෝලි පිටියට එන්නේ එතැනදී ය.නමුත් කෝලි අනික් අන්තයේ බලා සිටියදී ලකුණු 31 වන විට ඉන්දියාවට කඩුලු 4 ක් අහිමි වන්නේය.
එතැන් සිට පරිස්සම වැදගත් බව කෝලි සහ පාන්ඩයා වටහා ගන්නේය.ඔවුන් හරියටම පූසෙක් ගොදුරකට කුරුමාණම් අල්ලන සේ පොළවටත් නොදැනෙනන් සෙමින සෙමින් අඩි තබා ගොදුර වෙත සමීප වන්නට විය.එය කිසිවිටෙක පකිස්තානය දැනෙන්නටවත් නොහැකි පරිදි සිඳුවූ කුරුමාණම් ඇල්ලීමකි.එහි අවසාන ප්‍රතිපලය වූයේ පාන්ඩයා සහ කෝලි අතර පස්වන විකට්ටුවේ සබඳතාවය ලකුණු 113 ක් වීමය.
පාන්ඩයා එකතු කරපු ලකුණු 40 ත් සමඟ ඔහුගේ ඉණිම හැකිළි යන විට ඉන්දියාවට තවත් ලකුණු 16 ක් ලබා ගන්න පන්දු 5 ක් ඉතිරිව තිබිණ.නමුත් හත්වන පන්දු ඕවරයේ කඩුලු 4 ක් අහිමිව ලකුණු 31 තිබූ ඉණිම 20 වන ඕවරයේ එක පන්දුවක් ඉතිරිව තිබියදි ලකුනු 141 වීම සිඳු වූ ආකාරය තමයි අපූරු.හරියිටම කියනවනම් හත්වන ඕවරයේ පළමු පන්දුවෙදි තමයි ලකුණු 31.එහෙම බැලුවම පන්දු ඕවර් 12 ට ලකුණු 113 ක්.මේ ගමන ඇත්තටම මතක් කරන්නෙ පූසෙක් ගොදුරකට කුරුමාණම් අල්ලන හැටි නෙමෙයිද?
පන්දු ඕවරයකට 9.41 ක් ගාණෙ හැම ඕවරයකම ආවනම් අර ලකුණු 113 ආවරණය වෙනවා.හැබැයි එහෙම මේ යුද පිටියෙ හැසිරෙන්න බැහැ.ඒ නිසා ඉස්සෙල්ලම සතුරාව හොඳට අධ්‍යයනය කරන්න ඕනි.ඒ නිසා මේ ගොදුරට නොදැනි ඇඟට පනිනකම්ම මේ බිලාලයව පකිස්තානයට දැණුනෙ නැහැ.පන්දු ඕවර් 3 ක් තියෙද්දිත් ලකුණු 48 ක් ඕනි වුණා.එහෙම වෙලාවක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සහ පන්දු ඕවර් 3 ටලකුණු 59 ක් ගත්ත මතකයක් අපිට තියෙනවා.හැබැයි මේ කාරණය ඊට වඩා සංකීරණ පිඩනයක් අස්සෙ සිද්ධවීම හරහා අපට කියවාගන්න වෙන්නෙ.
අන්තිම ඕවරයට ලකුණු 16 ක් වෙන්න 18 සහ 19 වන පන්දු ඕවරයෙදි ලකුණු 32 ක් එකතු කරගන්න කෝලිට සහ පාන්ඩයාට පුළුවන් වෙනවා.අවසාන ඕවරයට පන්දු යවන්න ඉතුරුවන්නෙ මොහොමඩ් රිස්වාන්.දඟ පන්දු යවන රිස්වාන් ඉතුරුවෙන්නෙ බාබර් අසාම් හසු වූ පීඩනය නිසා කියලයි හිතෙන්නෙ.කෝලි හා පාන්ඩයා දවාගන්න වේග පන්දු යවන්නන් යොදවා ගැනීම නිසා අන්තිමට සිද්ධවුණේ අන්තිම ඕවරයට නවාස් ඉතුරුවීම.හැබැයි නවාස් අන්තිම ඕවරයේ පළමු පන්දුවටම බාබර් අසාම්ට යම් බලාපොරොත්තුවක් දුන්නා.ඒ පාන්ඩයාව දවා ගනිමින්.
නමුත් කෝලිව නවත්තගන්න නවාස්ට නෙමෙයි පකිස්තානයටම බැරි වුණා.ඒ අපූරු ඉණිම නිපන්දුවකින් කඩතොළු කරන්න හැදුවට නවාස් ඉහළින් පුල්ටොස් පන්දු යොමු කිරීම තමන්ගෙ සැළස්ම කරගෙන හිටපු බව පාන්ඩයාට යොමු කරපු පන්දුවෙන්ම හිතාගන්න පුළුවන්.එහෙම උත්සාහයක් තමයි ටිකක් උඩ ගිහිං නිපන්දුවක් වුණේ.ඒ සමඟම ඒකට ලැබුණ නිදහස් පහර කඩුල්ලේ දැවටුණාම දුවන්න බැහැ කියන තර්කය.ක්‍රිකට් නීතියට අනුව ඒ දේ කරන්න පුළුවන්.නිපන්දුව වුණත් විචාරක විවිධ කෝණවලින් මැන නිවැරදිද නැද්ද කියන්න පුළුවන්.
නවාස්ගේ පීඩනය දනවන කාරණය පැහැදිළි වෙන්නේ ඔහු එම ඕවරයේ යවන වයිඩ් පන්දු දෙකෙන්.ක්‍රීඩකයෙක් හැටියට මුහුණ දීමේදී නවාස්ට වඩා ඉහළින් කෝලි හිටියා.වැදගත් ඒ කාරණයයි.ඒ පිඩනය හමුවේ තමයි ඉන්දියාවෙම පාන්ඩයා සහ දිනේෂ් කාර්තික් දැවී යන්නෙත්. කෝලි එම ඉණිම කළමණාකරනය කරපු හැටි හරි අපූරුයි.ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක්ට නෙමෙයි සාමාන්‍ය ක්‍රිකට්වලට ආසාවක් තියෙන කෙනෙක්ට වුණත් ඒක කියවගන්න බොහෝ දේ තියෙන අභිප්‍රේරණය සඳහා වැදගත් රූප පෙළක් වේවි.
ඒ ජයග්‍රහණය ඉන්දියාවත් නොදුටු පාන්ඩයා සහ කෝලි දුටුව ජයක්.ඔබ රූප පෙළ දිහා බලාගෙන යන්න.ඉන්දියානු ක්‍රීඩකයන් හිටියෙ මැච් එක වීසි කරලා දාලා.කෝලි පන්දුවලට පසුපසින් ලකුණු එකතු කරමින් සාමාන්‍ය විදිහට ඉණිම ගොඩ නඟමින් ඉදලා එක පාරටම අර හෙමින් හෙමින් පුළුන් කොට්ට අත් තිය තිය ආව බිලාලයා ගොදරුට පනිනකම්ම ඒ මුණුවලට ලේ ආවෙ නැහැ.ඒක තමයි ඇත්ත.රටක් අත් ඇරපු ජයක් තමයි විරාට් කෝලි ඉන්දියාවට දිනා දෙන්නෙ.
විරාට්ගෙ තියෙන හොඳම ලක්ෂණය තමන්ගේ තීරණ මත නොසැලී රැදී සිටීමේ හැකියාවයි.ජීවිතයෙත් එහෙමයි.අනුෂ්කා ෂර්මා කියන්නෙ දක්ෂ නිළියකට වඩා සරාගි නිළියක්.ඇය වැඩි වරක් සම්මාන සඳහා නිර්දේශ වෙන්නෙත් ඒ විදිහට.දකුණු ආසියාතාක රටවල සරාගිකම කියන්නෙ මහා නැහැදිච්චකමක් කියා හිතන සම්ප්‍රදායික බව අස්සෙ මේ ලෝක පූජිත ක්‍රීඩකයා ඇලී එතෙනවා.අනුෂ්කාව තමන්ගේ බිරිඳ හැටියට මිසක් නිළිය හැටියට කියවා නොගන්නා බුද්ධියක් විරාට්ට තිබුණා.මේ මෑතක විරාට් නායකත්වයෙන් ඉවත් වූ පසු ඔහු ළඟ සිටි අය ඈත් වීම, විරාට් මද කාලයක් අසාර්ථකව සිට නැවත සාර්ථකත්වයට පැමිණ මොහොතේදී ප්‍රකාශ කළා.ඔහු ආසියානු කුසලාන තරගාවලියෙදි ඇෆ්ගනිස්තානයට එරෙහිව ලැබූ ශතකය නොවන්නට සමහර විට ඔහු ලෝක කුසලාන සංචිතයෙ නොසිටින්නත් තිබුණා.එදා ෂර්මා තමා සමඟ ශක්තියක් වෙමින් යළි නැගිටින්න ශක්තිය දුන්න හැටි විරාට් පවසනවා.
ඒ වගෙමයි රොද්‍ර ව්යාඝයෙක් විදිහට පිටිය මැද්දෙ ප්‍රතිවාදීන් සමඟ ගැටෙන බෙරිහන් දෙන විරාට් තරගයෙන් පිටත බොහොම ආදරයෙන් අනෙකාට ගරු කරන චරිතයක්.තැනේ හැටියට මූඩ් පික්ස් කරන්න හැකියාව එන්නෙ බුද්ධියෙන්.ඒ බුද්ධිමත්කම එක්ක තමයි ඔහු පකිස්තානයට එරෙහිව ජයග්‍රාහී සැළසුම දියත් කරන්නෙ.
පන්දු තිස් ගණනකට විරාට් මුහුණ දෙන කොටත් විරට්ගෙ ලකුණු ගනන තිබුණෙ විසි ගණන්වල.ඒත් විරාට් ඉණිම නිමා කරන කොට පන්දු 83 ට නොදැවී 53 ට ලකුණු 82 ක් නොදැවී.ඒ වගෙම ඔහුගේ කායික යෝග්‍යතාවයත් අමතක කරන්න බැහැ.33 හැවිරිදි කෝලි මේ ඉණිමෙ පුදුම වෙහෙසකින් කඩුලු අතර දිව්වා.ඒත් ඉතාම හොඳින් වෙහෙසකර බවක් නැතුව ඔහු හිටියා.වැදගත්ම දේ අන්න ඒ ක්‍රිකට් ඉගෙනගන්න එක.පන්දු 53 න් පන්දු 10 ක් විතරයි සිමාවට හතරෙ සිමාවට යන්නෙ.හතරක් උඩින්. හයක් බිමින්.එතැනින් එන්නෙ 48 යි.ඔහු 34 ක් දුවලා අරගෙන තියෙන්නෙ.ලකුනු විසි ගණන්වලත් පන්දු වැඩි ගාණකට මුහුණ දීලා හිටිය මිනිහෙක් ඒ තත්ත්වය ආවරණය කරගෙන තියෙන්නෙ හයේ හතරේ ඒවා හරහාම නොවෙයි.එක ලකුණ දෙක කර ගැනීමෙන්.දෙක තුන කර ගැනීමෙන්.මේ හැකියාව විරාට්ගේ ඇඟේ හොඳටම තියෙනවා.ඔහුට එකතු වුණ පාන්ඩයත් එහෙමයි.
පුළුන් කොට්ට අත් දෙක තබලා සෙමින් සෙමින් ගොදුරට ඇඳෙනා මේ අපූරු ක්‍රිකට් බිලාලයා අක්රමණයේ සහ ප්‍රහාරයේ පිටු දහස් ගණනක පාඩමක් කියා දුන්න ඉණිමක් පන්දු 52 න් ඉවර කරන්නෙ ලෝකයේම ගෞරවය දිනා ගනිමින්.ඉතිං ඔහුට කිව හැකි නමක් විශිෂ්ඨයාගෙන් මෙපිටින් ඇති බව මටනම් හැඟෙන්නෙ නැහැ.ඒ වචනයට හේතු විමසිමට වඩා වැදගත් සෙවීමයි.විරාට් කියන්නෙ මනුස්සෙක් හොයන්නම ඕනි ක්‍රීඩකයෙක්.
RM