මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කරන කිසිවෙකුගේ ආරක්ෂාවට තර්ජන ඇවිල්ලා නෑ – පොලිස් ඇමති

0
187

සටහන – රුවන් නෙළුගොල්ල

මහජන නියෝජිතයින් ලෙස පත්වෙන අය අතර විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරම්වල නියැළුණු අයත් සිටින බවත් එවන් අවස්ථාවලදී යම් ගැටලුවක් පැන නඟිනවා හැර මහජන නියෝජිතයකු ලෙස කටයුතු කරන කිසිවෙකුටත් ආරක්ෂාව පිළිබඳ ගැටලු පැන නැඟී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඝාතනයට උත්සාහයක් පවතිනවා කියලා දැනුම් දීමක් කරලා තියෙනවා ?

“එතුමා එවැනි ඉල්ලීමක් කරලා තිබුණා කියලා මට පොලිස්පතිවරයාගෙන් පසුව දැනගන්නට ලැබුණා. ඒ සඳහාත් පොලිස්පතිවරයා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා කියලාත් මට අද දිනයේදී දැනුම් දුන්නා. මේ රටේ කවුරුන් හෝ තර්ජනයට ලක්වෙනවා නම් ඒක දේශපාලන භේදයකින් තොරව ඒ අයගේ රැකවරණය වෙනුවෙන් මැදිහත් වෙනවා. හැම ජීවිතයක්ම අපිට වටිනවා”

ප්‍රශ්නය – හැබැයි මාසෙකටත් කලින් වැලිගම සභාපතිවරයා තමන්ගෙ ජීවිතයට තර්ජන තිබෙන බව කියලා ආරක්ෂාව ඉල්ලලා තිබුණා. ඒක නොසලකා හැරීමක් සිදුවුණාද රජය පැත්තෙන් ?

“ප්‍රාදේශීය සභා සභාපතිතුමෙක් ඝාතනයට ලක්වුණා, අපි ඒ ගැන කණගාටුව පළකරනවා. අපිට මහජන නියෝජිතයෙකුට ආරක්ෂාව ලබාදීම පිළිබඳ ගැටලුවක් නැහැ. මහජන නියෝජිතත්වයට පත්වෙන සමහර අය විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරම්වලට නියුක්තවූවනුත් ඉන්නවා. ඒ වගේ අවස්ථාවලදී යම් යම් ගැටලු පැන නඟිනවා. ඒ හැර මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කරන කිසි කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ එහෙම තර්ජනයක් ඇවිල්ලා නැහැ”

ප්‍රශ්නය – ඔබතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා වැලිගම සභාපතිවරයා රජයේ ලියාපදිංචි අපරාධකරුවෙක් කියලා සඳහන් වෙනවා කියලා, මේ හේතුව නිසා ඔහුට ආරක්ෂාව ලබාදිය නොහැකියි කියලා ?

“මම ප්‍රකාශ කළේ නීතිවිරෝධීව පාතාල ක්‍රියාකාරකම් හෝ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස්වලට පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් රැකවරණය සපයන්න බැහැ, ඔවුන් නීතිය ඉදිරියට යටත් වෙලා නීතියේ රැකවරණය ගන්න ඕන”

ප්‍රශ්නය – එතකොට ඔවුන් යම්කිසි අපරාධවලට සම්බන්ධ කෙනෙක් නම් මේ වෙනකොට ඔහුට ඡන්දය ඉල්ලන්න මැතිවරණ කොමිසමෙන් අවසර දීලා තියෙනවා. ඔහුට විරුද්ධව යම්කිසි නීතිමය ගැටලු තියෙනවා නම් ඔහුව පත්කිරීමේදී ඔබතුමන්ලා සහ රජය ඒ පිළිබඳ විරෝධයක් පෑවේ නැහැ නේද ?

“ඉතින් ඒවා දේශපාලන පක්ෂවලින් තමා හොයන්න ඕනෙ. ජාතික ජන බලවේගයේ නම් අපි හොයලා නිවැරදි අය දැම්මා. දේශපාලන පක්ෂවල වගකීම තමා පුළුවන් තරම් ජනතා නියෝජිතයෝ තෝරනකොට ජනතාව අනුමත කරන්න පුළුවන් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවුණු පිරිස් මේවාට යොදාගන්න එක”

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නය කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.