උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමටත්, ප්‍රාදේශීය රෝහල් මට්ටමින් බෝ නොවන රෝග හඳුනාගැනීමේ හා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමටත් උපදෙස්…

උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලයි හා වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහල් සහ පෙරියමඩු ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ පවතින ගැටලු හා අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (24) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී අමාත්‍යවරයා අදාළ සෞඛ්‍ය ආයතනවල වාට්ටු, සායන පරිශ්‍ර, හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළු ප්‍රතිකාර හා සත්කාර සේවා සපයන අංශවල තත්ත්වය විමසා බැලූ අතර, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ නේවාසිකාගාර හා නිල නිවාසවල පවතින පහසුකම් පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළේය.

අනතුරුව සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සමඟ පැවැති සාකච්ඡාවේදී භෞතික පහසුකම්, මානව සම්පත් සහ සේවා සැපයීමේදී මතුවන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීය. එහිදී අනාවරණය වූ අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් සමඟ එක්ව කෙටි, මධ්‍ය හා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

බෝ නොවන රෝග වර්තමානයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, එම රෝග කල්තියා හඳුනාගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රාදේශීය රෝහල්වල සේවා ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළේය. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රදේශවල බෝවන හා බෝ නොවන රෝග සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා, රෝග නිවාරණය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගත් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනතාව වස විසෙන් තොර හා පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු කිරීම මෙන්ම මව්වරුන්, කුඩා දරුවන් සහ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමේ ක්‍රමවේදය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී බලධාරීන්ගෙන් කරුණු විමසීය. රෝහල් වෙත පැමිණෙන සෑම රෝගියකුටම අවශ්‍ය ප්‍රතිකාර හා සත්කාර සේවා සැලසීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රෝගීන්ට ගුණාත්මක හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සියලු පාර්ශ්ව සාමූහිකත්වයෙන්, කණ්ඩායම් හැඟීමෙන්, කැපවීමෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

සෞඛ්‍ය ආයතනයක් පළාත් සභාව යටතේ හෝ මධ්‍යම රජය යටතේ පාලනය වන්නේ ද යන්න ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැලසීමේදී බාධාවක් කර නොගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බැවින්, පවතින සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදාගැනීමත්, සෞඛ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය කරුණක් බව වැඩිදුරටත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරු පළාත තුළ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් හතරක්, මූලික රෝහල් දහයක්, දිසා රෝහල් පනස් පහක්, ප්‍රාදේශීය රෝහල් හතළිස් අටක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තිස්තුනක් ඇතුළුව සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ස්ථාපිත කර ඇත. පළාතේ වෙසෙන දොළොස් ලක්ෂයකට ආසන්න ජනතාවකට මෙම සෞඛ්‍ය ආයතන ජාලය මඟින් ප්‍රතිකාර හා සුව සත්කාර සේවා සපයනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...