මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ අතර, අඛණ්ඩ ප්රහාර හේතුවෙන්, නවතම වෙළඳපල වාර්තාවලට අනුව බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 117 දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ශ්රී ලංකාවට බලපාන්නේ කෙසේද?
ශ්රී ලංකාවේ බාහිර අංශයේ දත්ත වලට අනුව, 2025 වසරේ සාමාන්ය බොරතෙල් ආනයන මිල ඇමරිකානු ඩොලර් 73.20 ක් පමණි. එම අගය පදනම් කරගනිමින්, ආනයනික තෙල් ප්රමාණය සහ බොරතෙල් හා පිරිපහදු කළ තෙල් මිල අතර අනුපාතය වෙනස් නොවන බව උපකල්පනය කළහොත්, බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක් වන විට එම තෙල් ප්රමාණයම ආනයනය කිරීමට වසරකට ඩොලර් බිලියන 6.56 ක අලුත් පිරිවැයක් දැරීමට සිදුවේ. එමගින් ඩොලර් බිලියන 2.56 ක අතිරේක වර්ෂික පිරිවැයක් පෙන්නුම් කරන අතර, එය 64% ක දැවැන්ත වැඩවීමකි.
ශ්රී ලංකා රුපියල්වලින් බැලූ විට තත්ත්වය තවත් දරුණුය. 2025 වසරේදී ඩොලරයක අගය රුපියල් 310 ක් ලෙස පැවති විට මුළු තෙල් බිල රුපියල් බිලියන 1,240 ක් විය. 2026 වසරේදී ඩොලරයක අගය රුපියල් 330 ක් ලෙස පැවතුණහොත් එය රුපියල් බිලියන 2,165 ක් දක්වා ඉහළ යනු ඇත. එය 75% ක විශාල ඉහළ යාමකි.
මෙම සරල ගණනය කිරීම මගින් තත්ත්වයේ දැඩි අවදානම වඩාත් පැහැදිලි වේ. විදේශ විනිමය ද්රවශීලතාවයට මින් එල්ල වන බලපෑම තවදුරටත් විශ්ලේෂණය කර බලමු. 2026 පළමු මාස අට තුළ ඉන්ධන ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් බව මහ බැංකුව වාර්තා කර ඇති අතර, එය දැනටමත් බරපතල අනතුරු ඇඟවීමේ සංඥාවකි.
ඒ අනුව මූලික ප්රශ්න 3 ක් පැන නගී..
- විදේශ විනිමය සංචිත අධික ලෙස ක්ෂය කිරීමෙන් හෝ ගෙවීම් පැහැර හැරීම් ගොඩගසා ගැනීමෙන් තොරව රටට ඉන්ධන ආනයන ගෙවීම් පියවා ගත හැකිද?
- අතිරේක ඩොලර් ඉල්ලුම නිසා රුපියලේ අගය තවදුරටත් පහත වැටීමේ පීඩනයක් ඇතිවේද?
- පිරිවැයෙන් කොපමණ ප්රමාණයක් පාරිභෝගිකයා පිට පටවනු ඇත්ද, සහ කොපමණ ප්රමාණයක් රාජ්ය ව්යවසායයන්, භාණ්ඩාගාරය සහ ව්යාපාර විසින් දරාගත යුතුද?
ආණ්ඩුව ප්රමාණවත් තරම් ඉන්ධන සැපයුම් ලබා ගැනීමට සමත් වුවද, මෙම දිගුකාලීන තෙල් මිල ඉහළ යාම බරපතල ගැටලුවක් නිර්මාණය කරනු ඇත. මන්දයත්, එම සැපයුම් ලබා ගැනීමේ මූල්ය පිරිවැය මගින්ම ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටීමට හේතු කිහිපයක් බලපාන බැවිනි..
- අ) Diesel සහ Petrol මිල ගණන් ඉහළ යාම: බස් රථ සහ භාණ්ඩ ප්රවාහන ගාස්තු ඉහළ නංවයි. දේශීය ආහාර හිඟයක් නොමැති වුවද, ප්රවාහන පිරිවැය ඉහළ යාම නිසා ආහාර මිල ගණන් ඉහළ යනු ඇත.
- ආ) ඉන්ධන පිරිවැය ඉහළ යාම: ඛනිජ තෙල් ඇසුරෙන් කෙරෙන විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ නංවන අතර අධික බලශක්ති ප්රමාණයක් වැයවන ව්යාපාරවලට බලපෑම් එල්ල කරයි. අවසාන බලපෑම තීරණය වන්නේ විදුලි නිෂ්පාදන සංයුතිය සහ ගාස්තු සංශෝධන මතය.
- ඇ) නෞකා භාණ්ඩ ප්රවාහන සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම: අපනයනකරුවන්ගේ ලාභ පරතරය අඩු කරයි. ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම ගමන් වියදම් වැඩි කරන අතර, භූ-දේශපාලනික අවිනිශ්චිතතාවය සංචාරකයින්ගේ පැමිණීමට බාධා පැමිණවිය හැක.
- ඈ) ප්රවාහන, ආහාර සහ උපයෝගිතා ගාස්තු ඉහළ යාම: ජනතාවගේ පරිභෝජනය සඳහා ඉතිරිවන ආදායම (disposable income) පහත හෙළයි. බලශක්තිය සහ ආහාර සඳහා තම ආදායමෙන් වැඩි කොටසක් වැය කිරීමට සිදුවන බැවින් අඩු ආදායම්ලාභී පවුල් මෙයින් දැඩි ලෙස පීඩාවට පත් වේ.
පිළිගත්තද නැතත්, භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත අඩුවීම, විදේශ විනිමය ඉපයීම් පහත වැටීම සහ වෙළඳපල විශ්වාසය පිරිහීම යන කරුණු සමඟ ඩොලර් 120 ක තෙල් මිලක් එකතු වූ විට එය ඉතා භයානක වනු ඇත. ශ්රී ලංකාව සිය බාහිර ආර්ථික ස්ථාවරත්වය නැවත ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක පැමිණෙන මෙම තෙල් මිල ඉහළ යාමේ ක්රියාදාමය හුදකලා සිදුවීමක් ලෙස සැලකිය යුතු නැත.
කණගාටුවට කරුණ නම්, මෙම තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ දුර්වල බාහිර අංශයේ දත්ත කෙතරම් වේගයෙන් වෙනස් විය හැකිද යන්න සහ ඉදිරි දින සහ සති කිහිපය තුළ තත්ත්වය කෙතරම් ඉක්මනින් නරක අතට හැරිය හැකිද යන්න රජයේ හෝ මහ බැංකුවේ කිසිවෙකු තේරුම් ගන්නා බවක් නොපෙනීමයි.


