හෝමෝන ඔබේ මනස පාලනය කරන්නේ කෙසේ ද?

0
97

අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යාමේදී හෝමෝන වැදගත් කාර්යයක් ඉටු කරයි. නමුත් ඒවා අපගේ මනෝභාවයට සහ මානසික සෞඛ්‍යයට ප්‍රබල සහ ඇතැම් විට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි ය.

අපගේ හැඟීම් සහ චිත්තවේගයන් අපගේ පාලනය යටතේ පවතින බව සිතීමට අප සැවොම කැමත්තක් දක්වන නමුත් ඒවා එලෙස සිදුවේ ද? ස්නායු සම්ප්‍රේෂක ලෙස හඳුන්වන රසායනික පණිවිඩකරුවන් අපගේ මොළයට විශාල බලපෑමක් ඇති කරන බව විද්‍යාඥයෝ දිගු කලක සිට දැන සිටියහ. නමුත් විද්‍යාඥයින් ඒ පිළිබඳ වැඩි විස්තර අධ්‍යයනය කරද්දී හෝමෝනවලට ද අනපේක්ෂිත ආකාරයෙන් අපගේ හිස අවුල් කළ හැකි බව ඔවුහු සොයා ගත්හ.

වර්තමානයේදී විශාදය සහ කාංසාව වැනි තත්ත්වයන් සඳහා නව ප්‍රතිකාර සොයා ගැනීමට මෙම දැනුම උපයෝගී කර ගැනීම සඳහා ඇතැම්හු උත්සහ කරමින් සිටිති.

හෝමෝන යනු ඇතැම් ග්‍රන්ථි, අවයව සහ පටක මගින් නිකුත් කරන රසායනික පණිවිඩකරුවන් ය. ඒවා රුධිර ප්‍රවාහයට ඇතුළු වී නිශ්චිත ස්ථානයක ප්‍රතිග්‍රාහක සමග බන්ධනය වීමට පෙර ශරීරය පුරා ගමන් කරයි. බන්ධනය ශරීරයට යමක් කිරීමට පවසන ජීව විද්‍යාත්මක “අතට අත දීමක්” ලෙස ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස රුධිරයෙන් අතිරික්ත ග්ලූකෝස් උරාගෙන ග්ලයිකෝජන් ලෙස ගබඩා කරන ලෙස ඉන්සියුලින් හෝමෝනය අක්මාව සහ මාංශ පේශි සෛලවලට පවසයි.

හෝමෝනවල අදෘශ්‍යමාන පාලනය

විද්‍යාඥයින් මේ දක්වා මිනිස් සිරුරේ පවතින හෝමෝන 50කට වඩා හඳුනාගෙන ඇත.

ඒවා එකට එකතු වී පුද්ගලයෙකුගේ වර්ධනය, ලිංගික ක්‍රියාකාරිත්වය, ප්‍රජනනය, නින්දෙන් අවදි වන චක්‍රය සහ වැදගත් ම ක්‍රියාවලිය වන ඔවුන්ගේ මානසික යහපැවැත්ම ඇතුළු ශාරීරික ක්‍රියාවලීන් සිය ගණනක් කළමනාකරණය කරයි.

“හෝමෝන අපගේ මනෝභාවයට සහ අපගේ හැඟීම්වලට සැබවින් ම බලපෑමක් එල්ල කරනවා,” කැනඩාවේ ඔටාවා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය නෆීසා ඉස්මයිල් පවසයි.

“හෝමෝන මොළයේ නිශ්චිත කලාප තුළ නිපදවන සහ මුදා හරින ස්නායු සම්ප්‍රේෂක සමග අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියාකරනවා විතරක් නෙවෙයි, නව ස්නායු සෛල නිර්මාණය වන විට හෝ උපත ලබන විට සෛල මරණය හෝ ස්නායු උත්පාදනය වැනි ක්‍රියාවලීන්ට බලපෑම් කරනවා.”

නිදා සිටින කාන්තාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය,හෝමෝනවල උච්චාවචනයන් සාමාන්‍ය නිදි චක්‍රයකට බාධා කිරීම ඇතුළු බොහෝ බලපෑම් ඇති කළ හැකි ය

ප්‍රධාන හෝමෝන සංක්‍රාන්ති සමයේදී විශාදය, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) වැනි මානසික සෞඛ්‍ය ආබාධ පැතිරීම ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් ම මෙය කාන්තාවන් සඳහා සත්‍ය කරුණකි. ළමා කාලය තුළ පිරිමි ළමුන් සහ ගැහැනු ළමුන් අතර විශාදයේ අනුපාතය මූලික වශයෙන් සමාන වේ. නමුත් නව යොවුන් වියට එළඹුණු විට ගැහැනු ළමුන් පිරිමි ළමුන්ට වඩා විශාදයට පත්වීමේ සම්භාවිතාව දෙගුණයක් වන අතර එය මුළු ජීවිත කාලය පුරා ම පවතින වෙනසකි.

එසේ නම්, හෝමෝනවලට දොස් පැවරිය හැකි ද? ඔබ කාන්තාවක නම්, ලිංගික හෝමෝන මනෝභාවයට කැපී පෙනෙන බලපෑමක් ඇති කරන බව දැන ගැනීම පුදුමයක් නොවිය හැකි ය. කාන්තාවකගේ ඔසප් වීමට පෙර දින සහ ඊට පෙර සතිවලදී, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් පහත වැටෙන අතර ඊට සමගාමීව ඇතැමුන්ට කෝපය, තෙහෙට්ටුව, දුක සහ කාංසාව වැනි හැඟීම් ඇති වේ. නමුත් සියල්ලන්ට ම නොවේ. ඇතැම් කාන්තාවන්ට පූර්ව ඔසප් වීමේ ඩිස්ෆෝරික් ආබාධය (PMDD) පවා ඇති වීමේ හැකියාව පවතින අතර එය ඔසප් වීමට පෙර සති දෙක තුළ අධික මනෝභාවයන්, කාංසාව, මානසික අවපීඩනය සහ ඇතැම් විට සියදිවි නසා ගැනීමේ සිතුවිලි පවා ඇතිවන දරුණු, හෝමෝන ආශ්‍රිත මනෝභාවයේ ආබාධයකි.

“PMDD (පූර්ව ඔසප් වීමේ ඩිස්ෆෝරික් ආබාධය) බොහෝ කාන්තාවන් සෑම මසක ම මුහුණ දෙන සුලභව පවතින නිදන්ගත ගැටලුවක් වන අතර, සැබවින් ම එය මිනිසුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන්,” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව සහ හැසිරීම් පිළිබඳ සහකාර මහාචාර්ය ලීසා හැන්සූ පවසයි.

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් හෝමෝනවල ශීඝ්‍ර පහත වැටීමකට මුහුණ දීමට සිදුවිය හැකි ය.

අනෙක් අතට, ඩිම්බ මෝචනයට පෙර පවතින ඉතා ඉහළ මට්ටමේ ඊස්ට්‍රජන් යහපැවැත්ම සහ සතුට පිළිබඳ හැඟීම් සමග සම්බන්ධ වී පවතී. මේ අතර, ප්‍රොජෙස්ටරෝන් බිඳවැටීමේදී නිපදවන ඇලෝප්‍රෙග්නනොලෝන් ද සන්සුන් බලපෑමක් ඇති කරන බව දන්නා කරුණකි.

“ඔබ යමෙකුට ඇලෝප්‍රෙග්නනොලෝන් එන්නතක් ලබා දෙන්නේ නම්, එය ඔවුන්ව සන්සුන්භාවයට පත් කරයි” හැන්සූ පවසයි.

කාන්තාවන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ඔසප් කාලය සමගින් පමණක් ම නොවේ. ගර්භණීභාවය, පෙරිමෙනපෝස් සහ ආර්තවහරණය යන කාලය තුළදී සිදුවන හෝමෝන මට්ටම් ඉහළ පහළ යාම ද මානසික සෞඛ්‍යයට හානි කළ හැකි ය. දරු උපත් සඳහා මුහුණ දුන් කාන්තාවන්ගෙන් 13%ක් දක්වා විශාදය අත්විඳිති.

නමුත්, එසේ සිදුවන්නේ ඇයි? දරු ප්‍රසූතියක් සිදු කළ සැණින් කාන්තාවන්ට ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් හෝමෝනවල ශීඝ්‍ර පහත වැටීමක් සිදුවේ. ආර්තවහරණයට පෙර ද, කාන්තාවන්ට ඩිම්බකෝෂ හෝමෝනවල කැපීපෙනෙන ඉහළ පහළ යාම් අත්විඳිය හැක.

“ඒක බොහෝ විට යම් පුද්ගලයෙකුට ඇති නිශ්චිත හෝමෝන මට්ටමට අදාළ නැහැ, නමුත් පුද්ගලයෙකු පහළ සිට ඉහළ මට්ටම් දක්වා හෝ ඉහළ සිට පහළ මට්ටම් දක්වා වෙනස් වෙනකොට මේ වෙනස සිදු වෙන්න පුළුවන්,” කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය ලීසා ගාලියා පවසයි.

“ඇතැම් පුද්ගලයින් මෙවැනි උච්චාවචනයන්ට වඩා ත් සංවේදී වෙනවා. එතකොට තවත් පිරිසක් ආර්තවහරණය අත්වින්දත් කිසි ම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ.”

ක්‍රීඩා කරමින් සිටින දරුවන් කිහිප දෙනෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,නව යොවුන් වියට එළඹීමට පෙර පිරිමි ළමයින්ට සහ ගැහැනු ළමයින්ට සමාන මට්ටමින් විශාදය ඇති වුවද, නව යොවුන් වියේදී ගැහැනු ළමයින්ට එය ඇති වීමේ සම්භාවිතාව දෙගුණයකි

එය කාන්තාවන්ට පමණක් සිදුවන්නක් නොවේ. පිරිමි ද වයසට යන විට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම්වල අඩුවීමකට මුහුණ දෙති. නමුත් මෙම වෙනස ක්‍රමයෙන් සිදුවන අතර කාන්තාවන් තුළ මෙන් පැහැදිලිව නොපෙනේ. කෙසේවෙතත්, මෙම කුඩා වෙනස පවා ඇතැම් පිරිමි තුළ මනෝභාවයන් වෙනස් කිරීමට ප්‍රමාණවත් බව යෝජනා කිරීමට ඇතැම් සාක්ෂි පවතී. නමුත් ඒ සියලු ම පිරිමින් අතර නොවේ.

“ජීවිත කාලය පුරා ම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වෙනස් වන විට ඇතැම් පිරිමින්ගේ මනෝභාවයේ සිදුවන වෙනස්කම් අපට දැකගන්න පුළුවන්, ඇත්තට ම ඒක නිසැකව ම ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන මාතෘකාවක්,” ඉස්මයිල් පවසයි.

ලිංගික හෝමෝන මනෝභාවයට බලපෑම් කළ හැකි එක් ක්‍රමයක් වන්නේ, මොළයේ ස්නායු සම්ප්‍රේෂක වන සෙරොටොනින් සහ ඩොපමීන් මට්ටම් වැඩි කිරීම ය. සෙරොටොනින් මට්ටම අඩුවීම විශාදයට හේතුවක් ලෙස දිගු කලක් තිස්සේ පවසා ඇති අතර, බොහෝ නවීන විශාදනාශක මගින් මොළයේ මෙම රසායනික මට්ටම ඉහළ නංවයි. ඇතැම් ඊස්ට්‍රජන් මගින් සෙරොටොනින් ප්‍රතිග්‍රාහක වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි අතර මොළයේ ඩොපමීන් ප්‍රතිග්‍රාහක ගණන වැඩි කළ හැකි බවට ද සාක්ෂි පවතී.

තවත් න්‍යායක් වන්නේ, ඊස්ට්‍රජන් මගින් නියුරෝන හානිවලින් ආරක්ෂා කරන අතර මතකය සහ හැඟීම් සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව පැවසෙන මොළයේ හිපොකැම්පසය ලෙස හඳුන්වන ප්‍රදේශයේ නව නියුරෝන වර්ධනය පවා උත්තේජනය කිරීමට ඊස්ට්‍රජන් සඳහා හැකියාව පවතී යන්න ය. විශාදය සහ ඇල්සයිමර් රෝගය පවතින පුද්ගලයින් හිපොකැම්පස්හි නියුරෝන අහිමි වීමෙන් පීඩා විඳින බව දන්නා කරුණකි. මේ අතර, මැජික් මෂ්රූම් තුළ දක්නට ලැබෙන සයිලොසයිබින් වැනි විශාදනාශක සහ මනෝභාවය වැඩි කරන මනෝ ක්‍රියාකාරී ඖෂධ හෝ ද්‍රව්‍ය මෙම කලාපයේ නව නියුරෝන වර්ධනය වීමට හේතු වේ.

“ඊස්ට්‍රජන් කියන්නේ ස්නායු ආරක්ෂකයෙක්, ඉතින් ඒක ස්නායු උත්පාදනය ප්‍රවර්ධනය කරනවා” ඉස්මයිල් පවසයි.

“කාන්තාවන් ආර්තවහරණයට ඇතුළු වන විට ඔවුන් කුඩා කාලයේ තිබූ ඔවුන්ගේ ස්නායු සෛලවල අනුශාඛිකා හැකිලීමට පටන් ගන්නේ ඒ නිසා.” ආර්තවහරණයට ලක්වන කාන්තාවන්ට බොහෝ විට සංජානන දුර්වලතා සහ මතකයේ ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ එබැවිනි.

අපගේ ශරීරයේ ආතති ප්‍රතිචාරය වැරදුණොත්?

හිපොකැම්පසයේ නියුරෝන හානි වීමෙන් ශරීරයේ ආතති ප්‍රතිචාර නියාමනය කරන හයිපොතැලමස්-පිටියුටරි-අධිවෘක්ක (HPA) අක්ෂය ලෙස හැඳින්වෙන අනෙකුත් හෝමෝන පද්ධති සඳහා බලපෑම් ඇති කළ හැකි ය.

අපට කාංසාව දැනෙන විට, ශරීරයේ බොහෝ හෝමෝන මුදා හැරීම් පාලනය කරන මොළයේ කලාපයක් වන හයිපොතැලමසය මගින් ඇඩ්‍රිනෝකෝටිකෝට්‍රොපික් හෝමෝනය (ACTH) නමැති හෝමෝනය මුදා හැරීම සඳහා පිටියුටරි ග්‍රන්ථියට සංඥාවක් යොමු කරයි.

අනතුරුව ඇඩ්‍රිනෝකෝටිකෝට්‍රොපික් හෝමෝනය අධිවෘක්ක ග්‍රන්ථි උත්තේජනය කර ආතති හෝමෝනයක් වන කෝටිසෝල් මුදා හරියි.

රුධිර ප්‍රවාහයට සීනි මුදාහරින ලෙස කෝටිසෝල් ශරීරයට පවසන අතර එයින් මොළයට සහ ශරීරයට හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.

අත් අල්ලා ගෙන සිටින තරුණියක් දෙදෙනෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,”ආදර හෝමෝනය” ලෙස බොහෝ විට හඳුන්වන ඔක්සිටොසින්, බැඳීම් ඇති කර ගන්නා අවස්ථාවන්ට සම්බන්ධ වන අතර ආතතියේ ඇතැම් බලපෑම්වලට එරෙහිව සටන් කරන බවට ද විශ්වාස කෙරේ

“කිසියම් පුද්ගලයෙකු ආතතියට පත් වුණා ම HPA (හයිපොතැලමස්-පිටියුටරි-අධිවෘක්ක) අක්ෂය සක්‍රීය වන අතර එය ඔබේ ශරීරය ආතතිය සමග කටයුතු කිරීමට උපකාරී වන නිසා කෙටි කාලීනව එය අනුවර්තන වෙනවා. නමුත් දිගු කාලීනව එය හානිකර වෙන්න පුළුවන්,” හැන්සූ පවසයි.

සාමාන්‍යයෙන්, ඔබේ ශරීරයෙන් ගලා එන කෝටිසෝල් ඍණ ප්‍රතිපෝෂණ ලූපයක් සක්‍රිය කළ යුතු අතර, එහිදී හිපොකැම්පසය හයිපොතැලමසය වෙත පිටියුටරි ග්‍රන්ථිය සමග සන්නිවේදනය නතර කරන ලෙස පවසා, ආතති ප්‍රතිචාරය අවසන් කරයි.

කෙසේ වෙතත්, පුද්ගලයෙකු බිය ගැන්වීම, අපයෝජනය හෝ ප්‍රචණ්ඩත්වය වැනි නිදන්ගත ආතතියකින් පෙළෙන්නේ නම් මෙය සිදු නොවන අතර මොළය කෝටිසෝල්වලින් පිරී යයි.

එහෙත් කාලයත් සමග කෝටිසෝල් මොළයේ ප්‍රදාහ තත්ත්වයක් ඇති කර, හිපොකැම්පසයේ නියුරෝන මරා දමා එම ඍණාත්මක ප්‍රතිපෝෂණය ලබා දීමෙන් වළක්වන බැවින් එය සුදුසු නැත.

එපමණක් නොව, කෝටිසෝල් ඇමිග්ඩලා සහ පූර්ව මස්තිෂ්ක බාහිකය වැනි මොළයේ අනෙකුත් කලාපවල ද ස්නායු විනාශ කළ හැකි අතර එය මතකය, ඒකාග්‍රතාව සහ මනෝභාවයට බලපායි.

ඔක්සිටොසින් නාසික ඉසිනයක් ආධාරයෙන් ආඝ්‍රාණය කිරීමෙන් මිනිසුන් වඩාත් උදාර ගති ඇති, සහයෝගයෙන් කටයුතු කරන සහ සහකම්පනයක් ඇති පිරිස් බවට පත් කෙරේ.

“ඇමිග්ඩලා කියන්නේ අපේ හැඟීම් පාලනය කිරීමට අපට ඉඩ සලසන අපගේ මොළයේ කලාපය. ඒ ප්‍රදේශයේ පරිමාව අඩුවීම සංවේදී බව වැඩි වීම, කෝපය වැඩි වීම සහ එම ඍණාත්මක හැඟීම් පාලනය කිරීමේ අපහසුතාවට හේතු වෙනවා,” ඉස්මයිල් පවසයි.

“පූර්ව මස්තිෂ්ක බාහිකයේ ක්ෂය වීම අවධානය යොමු කිරීමේ අපහසුතාවට සහ නිවැරදි වේලාවට නිවැරදි තීරණ ගැනීමේ අපහසුතාවට හේතු වන අතර හිපොකැම්පසයේ ක්ෂය වීම තොරතුරු මතක තබා ගැනීමේ අපහසුතාවට හේතු වෙනවා.”

කෝටිසෝල් අපව ආතතියට පත් කළ හැකි වුව ද, බොහෝ විට “ආදර හෝමෝනය” ලෙස හඳුන්වන ඔක්සිටොසින් ප්‍රතිවිරුද්ධ දේ සිදු කරයි. සතුටු, සැනසිලිදායක හැඟීම් සහ කරුණාව ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවට එය ප්‍රසිද්ධ ය. එය දරු ප්‍රසූතියේදී, මව්කිරි දීමේදී සහ සුරාන්තයේදී නිකුත් වන නමුත් සත්ව හා මානව බැඳීම් සඳහා ද කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්නට ඇත.

“ඔක්සිටොසින් සබඳතා තුළ ආරක්ෂාව සහ විශ්වාසය පිළිබඳ හැඟීමක් ඇති කරනවා වගේ ම, ඇත්ත වශයෙන්ම ඒක ආතතියේ බලපෑම්වලට එරෙහිව සටන් කිරීමටත් උපකාරී වෙනවා,” ඉස්මයිල් පවසයි.

“අපට ආරක්ෂිතභාවයක් දැනෙන විට සහ අප වටා සහයෝගීතාවක් පවතින බව අපට හැඟෙන විට, එය ආතතියෙන් වැඩි විය හැකි කෝටිසෝල් මට්ටම අඩු කරනවා.”

බෙහෙත් පෙත්තක් අතැතිව සිටින මිනිසෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,අධ්‍යයනවලින් පෙනී යන්නේ ආර්තවහරණය අත්විඳින සමහර කාන්තාවන්ට හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව (HRT) ඇතුළු ඊස්ට්‍රජන් චිකිත්සාව උපකාරී වන බව ය

අධ්‍යයනවලින් ද පෙන්නුම් කර ඇත්තේ ඔක්සිටොසින් නාසික ඉසිනයක් ආධාරයෙන් ආඝ්‍රාණය කිරීමෙන් පුද්ගලයින් වඩාත් උදාරගති ඇති, සහයෝගී සහ සහකම්පනයක් ඇති පුද්ගලයින් බවට පත් කරන අතර ඔවුන් ආගන්තුකයන් විශ්වාස කිරීමට වැඩි ඉඩක් පවතින බව ය.

කෙසේ වෙතත්, සෑම අයෙකුට ම මේ පිළිබඳ අවබෝධයක් නොමැත. උදාහරණයක් ලෙස, ඔක්සිටොසින්වලට රුධිරය හරහා මොළය වෙත ගමන් කළ හැකි බව නිශ්චිතව පෙන්නුම් කර නොමැත.

බොහෝ දුරට පිළිගත හැකි න්‍යාය වන්නේ, උගුරේ පිහිටි සමනල හැඩැති ග්‍රන්ථියක් වන තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන ප්‍රධාන හෝමෝන දෙකක අසමතුලිතතාව විශාදය සහ කාංසාවට හේතුවිය හැකි බව ය.

ට්‍රයිඅයෝඩොතයිරොනීන් (T3) සහ තයිරොක්සීන් (T4) හෝමෝන වන ඒවා එක්වී හෘද ස්පන්දන වේගය සහ උෂ්ණත්වය යාමනය කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත් එම මට්ටම් ඉතා ඉහළ වූ විට එනම් උදාහරණයක් ලෙස ‍යම් පුද්ගලයෙකුට අධික්‍රියාකාරී තයිරොයිඩ් ඇති විට ප්‍රතිඵලය කාංසාව විය හැක.

අනෙක් අතට එම මට්ටම් ඉතා අඩු වූ විට බහුලව දක්නට ලැබෙන්නේ විශාදයයි. වාසනාවකට මෙන්, හෝමෝන මට්ටම් නිවැරදි කිරීම සාමාන්‍යයෙන් රෝගීන්ගේ රෝග ලක්ෂණ සුව කරයි.

“රෝගීන් තම වෛද්‍යවරයා වෙත ගොස් මනෝභාවයේ වෙනස්කම් ගැන පවසන විට වෛද්‍යවරුන් සිදුකිරීමට පෙළඹෙන පළමුවැන්න වන්නේ ඔවුන්ගේ හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම.

බොහෝ විට අපට වෙනසක් අත්විඳින හෝමෝනය නිවැරදි කිරීමට හැකි වූ විට, අපට එමගින් මනෝභාවය සකස් කරගැනීමට හැකියාව ලැබෙනවා,” ඉස්මයිල් පවසයි.

තයිරොයිඩ් හෝමෝනය මනෝභාවයට බලපාන හේතුව නොදන්නා නමුත් එක් න්‍යායක් වන්නේ විශේෂයෙන් T3 මොළයේ සෙරොටොනින් සහ ඩොපමීන් මට්ටම් වැඩි කිරීමට හෝ මෙම ස්නායු සම්ප්‍රේෂක සඳහා ප්‍රතිග්‍රාහකවල සංවේදීතාව වැඩි කිරීමට හේතු විය හැකි බව ය.

තයිරොයිඩ් හෝමෝන ප්‍රතිග්‍රාහක මොළයේ මනෝභාවය නියාමනයට දැඩි ලෙස දායක වන කලාපවල ද බහුලව දක්නට ලැබේ.

නව ප්‍රතිකාර

බලාපොරොත්තුව වන්නේ හෝමෝන පිළිබඳ මෙම නව දැනුම සහ ඒවායේ මනෝභාවය වෙනස් කිරීමේ බලපෑම් නව ප්‍රතිකාර වලට එක්වනු ඇත යන්නයි.

ඇලෝප්‍රෙග්නනොලෝන් හෝමෝනයේ අනුකරණයක් වන Brexanolone නම් ඖෂධය පශ්චාත් ප්‍රසව විශාදයට ප්‍රතිකාර කිරීමේදී ඉතා ඵලදායී බව ඔප්පු කිරීමත් සමග එය ආරම්භ වෙමින් පවතින බවට ලක්ෂණ පෙනෙන්නට තිබේ.

ඔබට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු අගයකින් පවතින්නේ නම් ඇතැම් විශාදනාශක සමග ටෙස්ටොස්ටෙරෝන් අතිරේක ලබා ගැනීමෙන් ඒවා වඩාත් ඵලදායී විය හැකි බවට සාක්ෂි තිබේ.

අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව ඇතුළු ඊස්ට්‍රජන් චිකිත්සාව, ආර්තවහරණ‍යේ සංක්‍රාන්ති කාලය සහ ආර්තවහරණ තුළ සිටින ඇතැම් කාන්තාවන්ගේ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන බව ය.

මේ අතර, පූර්ව ඔසප් වීමේ ආබාධය (PMDD) පවතින ඇතැම් කාන්තාවන්ට හෝමෝන උපත් පාලනය ආශ්චර්යමත් ලෙස ක්‍රියා කළ හැකි නමුත් අනෙකුත් අයට රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරීමේ හැකියාව පවතී. නව ප්‍රතිකාර සෙවීම සඳහා බාධා එල්ල කෙරෙන කරුණ වන්නේ ඇතැම් පුද්ගලයින් හෝමෝන වෙනස්කම් සඳහා මෙතරම් සංවේදී වන අතරතුර අනෙක් පුද්ගලයින් එලෙස නොවන්නේ ඇයිදැයි අපට තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ය.

“හෝමෝන මනෝභාවයට සහ මානසික සෞඛ්‍යයට බලපාන බව අපි දන්නවා, නමුත් නිසි ප්‍රතිකාර සොයා ගැනීමට කලින් ඒවා එලෙස ක්‍රියාකරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි,” ඉස්මයිල් පවසයි.

“අපි දන්නා පරිදි, සෙරොටොනින් මට්ටම නියාමනය කරන වත්මන් විශාදනාශක සෑම අවස්ථාවක ම ඵලදායී වෙන්නේ නැහැ, ඇතැම් අධ්‍යයනවලින් පෙනී යන්නේ ඒවා විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන්නන් තුළ ඵලදායී බවෙන් අඩු බවයි. ඉතින් එම වයස් කාණ්ඩය සහ මොළය සහ එම අවධියේදී එහි වර්ධනය ඔවුන් ප්‍රතිකාර සඳහා වඩාත් ප්‍රතිරෝධී විය හැකි දේ ගැන අපි හැදෑරීමට අවශ්‍යයි.”

බීබීසී සිංහල