වාර්තාවලටම පනින තුෂේන්ගෙන් තවත් ජාතික කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙල නිමා කරන්නට පැවත්වෙන මලල ක්‍රීඩා ඉසව්වල තෙවන දිනය නිමාවන විට නව පාසල් වාර්තා හතක් අලුත් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.අධ්‍යාපන කළාපයක සිට පළාත් තරගයකට ද මුදල් වැය කරමින් අනුග්‍රහයන් එකතු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය ඉදිරියට තල්ලු කරගෙන ආ මෙම මහා ජාතික කර්තවය ඉටු කරන්නට වැය කර තිබෙන මුල මුදල රුපියල් මිලියන 70 ක් වුවත් එහි වටිනාකම අනාගතයට අමිල බව වැටහෙන දක්ෂතා රැසක් අලුත් වන වාර්තා අතරින් ද,මතුවන ඇතැම් ජයග්‍රහණ අතරින්ද දකින්නට ලැබීම සතුටකි.

එහෙත් එම දක්ෂයන් නිවැරදිව කළමණාකරනය කර ගැනීම මෙන්ම එම දක්ෂයන්ට තමන්ව නිසි පරිදි කළමණාකරනය කර ගැනීමට අවශ්‍යය දැණුම සම්පාදනය කර දීම ද වගකීමක් ලෙස පුහුණුකරුවන් සහ ගුරුවරුන් සිහියට ගත යුතුය. මන්ද මේ අප දකින්නේ සුවිශේෂි මානව ශක්තීන්ය.ඒවා හොද අතට මෙන්ම නරක අතට ගමන් කිරීමේ හැකියාවද විරල නැති සමාජ පසුබිමක අප ජීවත්වන බැවින්, සුරක්ෂිත කිරීමේ කර්තවයට ඔවුන්ට මඟ පෙන්වන්නන් විසින් එකතු කළ යුතු දැණුම,අවබෝධය වැනි කරුණු ද ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීම මෙන්ම වැදගත්ය.එසේ නොවුණ තැන් හී අත් වූ ඉරණම් ඉතිහාසයට එකතු වූ ජයග්‍රහණ මෙන්ම ඛේදාන්ත බවට අතීතයෙන්ද සහතික ඇත.

කෙසේ හෝ තෙවන දිනයේ එකතු වූ නව වාර්තා අතර කැපී පෙණුනම සිදුවීම වූයේ යොවුන් ආසියාතික තරගාවලියේ රිදි පදක්කම් ලාභි තුෂේන් ද සිල්වා රිටි පැනීමේ ඉසව්වෙන් තැබූ වාර්තාවය.එම ආසියානු පදක්කම සමඟ ද ඊට පෙර සිට ද වාර්තා අලුත් නොකරන පිමි නො’පනින තුෂේන් ඊයේ නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 4.90 දක්වා ඉදිරි උසකට රැඟෙන යන්නට සමත් විය.සෙන්ටි මීටර් 90 ක උසක් ඔහු තනිව තරණය කරමින් ඒ උස දක්වා ගමන් කිරීම කැපී පෙණින.දෙවැන්නා ඉක්ම වූ උස මීටර් 4.00 ක් පමණි.වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ තරගකාරීත්වය වැඩි තරග බිම් තුෂේන්ට සොයා දීම සහ ඔහුව අනුග්‍රාහකත්වයක් යටතේ අනාගතයට රැක ගැනීමය.දැන්වත් ඇහැට පරාළවලින් ඇන ඇන තුෂේන් මතු කරන මේ වගකීම බලධාරීන්ගේ ඇස් පිල්ලම්වල වැදී ඉවතට වීසි වෙමින් තිබීම අපේ රටේ අනාගත මලල ක්‍රීඩාවේ අභාග්‍යයකි.අඩුම තරමේ මේ රිටි පනිනන් ජයග්‍රහණ පොකුරු පිටින් වාර්තා කරන සනත් ගුණරත්නගේ පර්චස් 30 ක නිවසත් රැදුණ ගෙබිම බලන්නට ගොස් එහි අටවාගෙන තිබෙන විකල්ප උපකරණ දෙස බලා අඩුම තරමේ කඹයකින්වත් ආධාරයක් කර නැති රටේ ක්‍රීඩා ප්‍රධානීහු යම් යම් ජයග්‍රහණවල එල්ලී කරන ප්‍රකාශ හාසස්‍යොත්පාදකය.

ඇතැම් විට ජයග්‍රහණවලින් අනතුරුව චක්‍රලේඛණවලට යටත්ව දෙන යම් යම් වරප්‍රසාද ඒ බලධාරින්ගේ දානමය පුන්‍යකර්ම ලෙස ගෙන රැවටෙන ක්‍රීඩා පුහුණුකරුවන් ද හිඟ නැත.මන්ද බර සාර දුර කියවීමක් නැති ඔවුන්ට,තනිව දුෂ්කරතා මැද පැමිණි ගමන්මඟේ ආධාර උපකාර හුරු නැත.ඔවුන්ට හිමි දේ ලැබී නැත.එය නොදි බැරි තැනකට ආ විට ලැබෙන විට ද ඔවුන්ට හිතෙන්නේ ඒවා මහා දානපති මැදිහත්වීම් ලෙසය.එවා හරියට පොළව මත කියවා ගැනීමට අවශ්‍යය දේශපාලන සමාජමය සහ ආර්ථිකමය කියවා ගැනීමක් නැති තැන බොහෝ විට හැදෙන පුහුණුකරුවන් සහ ඒ යටතේ හැඳෙන ක්‍රීඩකයන් ද අසාමාන්‍යය කොදු නාරටි නමණීයත්වයෙන් යුක්තව තමන්ට හිමි දේ දෙන විටත් දෙන අයට ගෙදරින් ගෙනත් දෙන සේ ගෞරව කරන්නෝ වීම ශරීරය ශක්තිමත් තරමට මනස පෝෂණය වීමේ ඌනතාවය පෙන්වන්නකි.

මීට හේතුව තවමත් කොතැනකවත් ක්‍රීඩාව උගන්නන තැනක නිවැරදිව ක්‍රීඩා ආර්ථිකය සහ දේශපාලනය සහිත සමාජයක් මෙන්ම ක්‍රීඩාවේ විශිෂ්ඨ චරිත සම්බන්ධ කලාව හෝ සාහිත්‍යය ද උගන්වන්නේ නැතිකමය.ඇගට පමණක් සැප දෙන ක්‍රියාවලියකින් රටක කිසි වැඩක් ගොඩ දැමිය නොහැකි ආකාරයෙන්ම ක්‍රීඩාවද ගොඩ දැමීමට නොහැකිය.මසැති මිස මනසැති ක්‍රියාවන් සහ පෙළඹීම් නොමැති අලුත් වීම් අඩුවෙන් තැනෙන රටක, ක්‍රීඩාව ද ඒ අඩු තැන් හරියට කියවා නොගැනීම නිසා සුවිශේෂී මානව හැකියාවන් මතු වන තෙක්ම ඉවසා සිටිනු විනා ලෝකයට අභියෝග කළ හැකි මානව හැකියාවන් පුළුල් ලෙස නිර්මාණය කිරීමේ සමාජයක් අපට අහිමිය.සමස්ත ලංකා පාසල් එසේත් නැතිනම් ජාතික ක්‍රීඩා උළෙල ජයග්‍රහණ කියන සිමාවෙන් ඔබ්බට අපේ ක්‍රීඩාවන් ගමන් නොකිරීමට දක්ෂතා සංවර්ධනය කිරීමේ චින්තනමය දුර්වලතාවය ප්‍රධාන වශයෙන් බලපාන නිසාය.ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වන්නේ විෂයානුබද්ධව සිතීමට පෙළඹවීමේ මාර්ගයක් වෙනුවට උඩින් පාත්වන දේශපාලකයෙකුගේ මනස්ගාතවලට “යර්ස්” කියන නිලධාරි පැලන්තියකගේ කොදු නමණීයත්වය විසින් දියත් කරන සැළසුම්ය.

පාසල් ක්‍රීඩා විෂයට ක්‍රීඩා සිනමාව ඇතුළත් නැත.ක්‍රීඩා සාහිත්‍යය ඇතුළත් නැත.ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය නැත.ක්‍රීඩාවෙන් විවිධ මාර්ග හරහා ඉදිරියට ආ චරිත ගැන දැණුමක් නැත.ක්‍රිඩා ගුරුවරයා එය ඉගෙනගෙන නැත.විෂය නිර්දේශ සකසන අයද ඉගෙන නැත.මිනිස්සුන්ට අලුතින් හිතන්නට ඊ ළඟ පරපුරට ඒ අවස්ථාව දිය යුතුය යන හැඟීමක් හෝ ක්‍රියාවලියක් එකතු වන්නේ ද නැත.එවැනි වටපිටාවක හැදෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලක නිර්මාණය වන ශරීරවල විශේෂ දක්ෂතා මසටම ඇලුණු ඒවාය.ඒවා පළල් අර්ථයකින් පෙරට ගෙන යාමේ අවශ්‍යයතාවය රටටය.ඒ නිසා පාසලේ ක්‍රිඩාවෙන් ලැබෙන හික්මීම ගන්නට හැක්කේ කය සවිමත් අයට පමණි.ලෝකයේ වෙනත් ක්‍රීඩාව හා සබැඳි මාවත්වල නිපුනයෝ බිහි නොවෙති.

තුෂේන් ද අයත්වන්නේ මේ පොළවටය.කය පමණක් වඩවන තැනක නැවතී තිබෙන ක්‍රිඩාවේ අනාගතය කියවා ගැනීම පවතින වාර්තාවන් ඉක්මවා යමෙන් පමණක් සිඳුවන්නේ ද එබැවින්ය.ඒ ඉක්මවා යාම් සමඟ සිදුවන චූන් කිරීම්වලට එහාට හිතන්න පරිසරයක් ඔවුන්ටද රටට ද නැත.

තවත් වාර්තාවක් නොවුණත් අවධානය යොමු විය යුතු ක්‍රිඩිකාවක් මෙවර මේ ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කමට හිමිකම් කීවාය.එහි වාර්තාවක් නැත.ඉතිං බැබලෙන්නේද නැත.16 න් පහළ කවපෙත්ත දිනූ 15 හැවිරිදි මහනුවර මහමායාවේ මහේෂි කුලසේකර සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක වීසි කිරීම් ඉසව්වක දකින්නට ලැබෙන ශරීරයක් නොවන්නේය.ඒ නිසාම ශරීර ගැන කතා කරන්නත් මනස යොමු වෙන වැඩ සටහනක් නැති වපසරියක මහේෂීගේ ජාත්‍යන්තර සිරුර සොයා ගැනීමේ සහ මෙහෙයවීමේ වගකීම ගත් පුහුණුකරුත් සමඟ අවධානයෙන් රැකෙන්නට වැඩ පිළිවෙලක් අවැසි නොවේද? ඇය අඩි හයකට වඩා උස,එහෙත් තරබාරුවෙන් තොර ක්‍රියාශීලී සිරුරක් හිමි ගැටවරියක්ය.

තෙවන දිනයේ වෙනස් වූ නව වාර්තා අතරට යගුලිය දැමීමේදී අවුරුදු 14 න් පහළ බාලක ඉසව්ව ජයගත් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ දොන් මයෝන් චිරාත්ගේ නම ද එක් විය.ඔහු මීටර් 15.13 ක දක්ෂතාවයක් දැක්වීය.හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ අවුරුදු 20 න් පහළ බාලක කණ්ඩායම මීටර් 100 සහය දීවීමේ වාර්තාව තමන් සතු කර ගත්තේ තත්පර 41.62 ක දක්ෂතාවයක් දක්වමින්ය.

දුර පැනීමෙන් නව වාර්තාවක් තබා සිටි වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිල්නි නෙත්සලා රාජපක්ෂ තෙවන දිනයේ යළිත් සිය නම වාර්තා පොත් අතර රැදෙව්වේ අවුරුදු 14 න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන්ය.ඇය මිටර් 1.55 ක දක්ෂතාවයක් දැක් වූවාය.ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඊයේ වන විට වාර්තා යුගලයක හිමිකාරීත්වය දරන්නියක් තවත් බිහි විය.ඒ අවුරුදු 16 න් පහළ මීටර් 100 ජයගෙන සිටි ධනංජනා ප්‍රනාන්දු ය.ඇය තෙවන දිනයේ දී මීටර් 200 ඉසව්වද වාර්තාවක් සමඟින් නිම කළාය.කාලය තත්පර 25.44 කි.

එසේම බාලිකා අංශයේ වත්තල ලයිසියම් දක්ෂතා තව දුරටත් කැපී පෙණුනේ මීටර් 100 අවුරුදු 18 න් පහළ සහය දීවීමේ තරගයේදී ය.ඔවුන් එම ඉසව්ව තත්පර 49.08 න් ජය ගෙන නව උළෙල වාර්තාවකට හිමිකම් කීවාය.

ශ්‍රී ලංකාවේ අනාගත දුර පැනීමේ ක්‍රීඩාවේ සුවිශේෂී බලාපොරොත්තුවක් හැටියට වැඩෙමින් සිටින මොණරාගල නාන්නපුරාව විද්‍යාලයේ නෙත්මිකා මධුශානි දැක් වූ මීටර් 6.22 විශිෂ්ඨ දක්ෂතාවය කැපී පෙණින.ඇය අවුරුදු 20 න් පහළ දුර පැනීමේ වාර්තාව තමන් සතු කර ගත්තේ ජාතික මට්ටමේ ද පහසුවෙන් ස්ථානයක් හිමිවන දුරක් පනිමින්ය.ඒ නිසාම ඇය ජාතියට වටිනාකමක් සහිත පනින්නියක් බව යළි යළිත් අවධාරණය කරමින් සිටින්නීය.නමුත් ඇයට ත්‍රිවිධ හමුදාවක රැකියා අනුග්‍රහවක් මිස දීර්ඝකාලීනව වගකීමක් සමඟ බැඳෙන අත්දීමක් ඉන් ඔබ්බට ලැබේද යන්න සැක සහිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...