නිශ්මං රණසිංහ ඔක්තෝබර් 27, කොළඹ LNW:
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නිමාවට පත්වන්නේ සුපුරුදු පරිදි ඉන්දියාවට සූරතාවය අත් කර දෙමින්.එහෙත් ඉන්දියාව තැති ගැන්මට ලක් කරමින්.ඉන්දියාවේ රන් පදක්කම් සංඛ්‍යාව 20 ක් වෙද්දි,ශ්‍රී ලංකාව පිරිමි අංශයෙන් සහ කාන්තා අංශයෙන් රන් පදක්කම් 8 බැඟින් රන් පදක්කම් 16 ක් එකතු කර ගන්න සමත් වෙනවා.

ඒ අතරින් ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම් 16 න් තුනකට දායක වෙන්නට සාෆියා යාමින් සමත් වෙනවා.මධුෂානි හේරත් දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දෙනවා.කාලිංග කුමාරගේ මීටර් 400 සහ 400 පිරිමි සහට දිවීමේ රන් පදක්කම් දෙකටම හිමිකම් කියන අතර ඔහුට මීටර් 400 මිශ්‍ර සහය තරගයේ රිදී පදක්කමට ද දායකත්වය තිබෙනවා.

තරගාවලියේ පිරිමි අංශයේ දක්ෂතම මලල ක්‍රීඩකයා බවට පත්වන්නේ රුමේෂ් තරංගයි.ඔහු හෙල්ල වීසි කිරීමේ ඉසව්වේදී දක්වන මීටර් 84.29 සඳහා ලකුණු 1260 ක ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවා.කාන්තා අංශයේදී මීටර් 100 ඉසව්වට සාෆියා දක්වන තත්පර 10.53 සඳහා ලකුණු 1087 ක් හිමි වුණත්,කාන්තා මීටර් 5000 ඉසව්ව ජයගත් සංජනා සිං වාර්තා කළ විනාඩි 15:38.70 ක කාලයට ලකුණු 1090 ක් හිමි වීම නිසා දක්ෂතම ක්‍රීඩිකාව වීමේ අවස්ථාව සාෆියාට අහිමිව සංජනාට හිමි වෙනවා.

තරගාවලියේ අවසාන දිනයේ ශ්‍රී ලංකාව පළමු දින දෙක තුළ ලබා සිටි රන් පදක්කම් 8 ට තවත් රන් පදක්කම් 8 ක් එකතු කරන්නට සමත්වීම කැපී පෙනෙනවා.ඒ අවසාන දිනය තුළ පැවති අවසාන තරග 16 න් හරි අඩකදීම රන්චි මොරබාඩි ක්‍රීඩාංගණයේ ඉහළට සිංහ ධජය එසැවෙන්නට මඟ සකසා,‘ශ්‍රී ලංකා මාතා‘ ගුවනට මුසු වෙන්නට සළසමින්.

තව දුරටත් මේ තරගාවලිය සම්බන්ධයෙන් අවසාන තේරිම පමා කළානම් හෝ තේරීම සදහා කරන ලද සළකා බැලීම් විධිමත් කළා නම් ප්‍රතිපලය තවත් සුබදායක වන්නට තිබුණා.එහෙත් ආසන්න මොහොතක ක්‍රීඩකයන්ගේ උපරිමය බලා තේරීම් කරන සංස්කෘතිය යන්න දින 21 ට පෙර සියළුම වීසා සඳහා වන තොරතුරු ක්‍රීඩා අමාත්‍යංශයට ලබා දීම දක්වා සකස් කරන්නට නව නිති පැනවී තිබෙනවා.ක්‍රීඩකයෙකු සිය උපරිමයට ළගා වීම සහ එය කළමණාකරණය කර ගනිමින් රඳවා ගැනීම වැනි කාරණා මින් පසුව මලල ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මේ කාල සීමාව ඇතුළේ සකසා ගැනීමට අපහසුනම් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අසා දැන ගත යුතු අතර,එසේ නැත්නම් ඒ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න හෝ ඇමතිවරුන් ගණනාවක් යටතේ ජාතික තේරීම් ක්‍රියාවලියට සහ උපදේශනයට සම්බන්ධ වෙමින් වැඩ කරන ශ්‍රියානි කුලවංශ හරහා අමාත්‍යවරයාගෙන් ඒ ගැන අසා දැන ගැනීමට හැකියාව තිබෙනවා.

කෙසේ වුව ද මේ සියළු අනපණත් අද වන විට මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටත් මෙම තරගාවලියට නිවැරදි ලෙස වීසා ලබා දෙන්නට හැකියාව ලැබුණේ නැහැ.අවසාන මොහොතේදීත් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් කොටස් වශයෙන් තරගාවලියට එකතු කරන්නට සිඳු වුණා.මේ ගැන සැළකිල්ල යොමු කර මුට්ටිය බේරා ගැනීමට එළුළුාගේ බෙල්ල කැපුවා වැනි තීරණයකට එළඹ,මාස තුනකට පෙර කණ්ඩායම නම් කර වීසා සඳහා යැවීමට එවන ලෙස වැනි විහිළු තීරණයක් ගැනීමට වුවත් අමාත්‍යවරයා කටයුතු කළ හැකියි.ජාත්‍යන්තර තානාපති සබඳතා තහවුරු කරන ඉක්මන් යාන්ත්‍රණයක් විදේශ කටයුතු අමාත්‍යංශයද සම්බන්ධ කර ගනිමින් විසා ලබා ගැනීමට තිබෙන සංකීරණ තත්ත්වයන් නිරවුල් කර ගැනීමේ ක්‍රියාවලියක් සකස් කර ගැනීමේ අවශ්‍යයතාවය අමාත්‍යවරයාට පෙන්වා දුන්න ද,ඔහු පැවසුවේ ඔහු සියල්ල කරනා හැටි දැනගෙන අමාත්‍ය ධූරය භාරගෙන සිටින බවයි.

එසේම මෙම තේරීම්වල ඇති සාධාරණ තත්ත්වය ගැන ද යළි අවධානය යොමු කළ හැකියි.යම් අවස්ථාවක ක්‍රීඩකයා තේරිමේදී දක්ෂයාම සළකා බලන්නට සහ දක්ෂයාම යොදන්නට හැකි ක්‍රමයක් තිබෙනවාද යන්න වෙනුවට,ඇතැම් බලධාරීන් ක්‍රීඩාව ඉක්මවා යමින් වෙනත් පෞද්ගලික රුචිකත්වයන් සළකා බලක්කේදැයි යන සැකය මෙම තරගාවලිය තුළ දී තන දුරටත් පළල් වුණා.එහිදී හර්ෂ කරුණාරත්න මෙම තරගාවලියට සහභාගි කරවිම වැළක්වීමට හිටපු මලල බලධාරීන් දැක් වූ උවමනාව,ඔහු සහභාගි කරවීමටනම් කළ සිතා බැලිය යුතු කොන්දේසි ආදිය විශාල වශයෙන් ඉවත් කරමින් තර්කයන් නිර්මාණය කළා.එහිදී හර්ෂගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු තරුශි කරුණාරත්නනම් වූ හර්ෂගේ නැගණියට සිටම මලල ක්‍රීඩා සංගමය කළ කෙණහිලිකම් ගැන චෝදනා කළා.ඒ සියල්ලට ප්‍රති උත්තර දෙමින් හර්ෂ කරුණාරත්න පිටියට බැසිම වැළක්වීම ඔවුන්ගේ උත්සාහය වූ අතර පිටියට බැසීමට ඉඩ ලැබුණ මොහොතේ ඔහු එයට දක්ෂතාවලින් පිළිතුරු ලබා දුන්නා.
එසේම රට තුළ ඇතැම් ඉසව් ප්‍රවර්ධනය නොවන්නට හේතුව ඒවාට ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමට ලබා දෙන අවස්ථා අඩු විමයි.ඒ නිසාම රිට පැනීම කාන්තා ඉසව්වේ ජාතික සූරිය රට අතහැර ගොස් විදේශයක ගෘහ සේවයේ යෙදෙන තත්ත්වයට පත් වුණා.දුර පැනිමේ ජාතික වාර්තාලාභියා සම්බන්ධ කතාවත් ඒ ආකාරයෙන්මයි.තරගකාරිත්වය තුළ ක්‍රීඩාව වර්ධනය වන බවට ඒ ආකාරයටම අඩු අවධානයක් යොමුව තිබූ මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේදී දසුනි කෞශල්‍යා සහ අරලියා සත්සරණි පැහැදිළි කළා.ඒ එම ඉසව්වේ රන් සහ රිදී යන පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට දිනා දෙමින්.වත්මන් ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටු සභාපතිණිය ඔලිම්පික් උළෙලේදී පවා දස්කම් දක්වන ලද ඉන්දියාව බොහෝ විට ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටි ඉසව්වක් වන කාන්තා මිටර් 400 ඉසව්වේ දී කෞශල්‍යා සහ අරලියා දක්වන ලද මේ දක්ඹතාවයන් සුළුවෙන් තැකිය නොහැකියි.
ඒ වගේම රසාරා විජේසූරිය ශ්‍රී ලංකාවට දිනා දුන් මීටර් 10000 රන් පදක්කමද දිනා ගැනීමට දුෂ්කර පදක්කමක්.ඇයට ශ්‍රී ලංකාවට මීටර් 5000 ඉසව්වේ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ලැබුණේ නැහැ.එය තරග උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව තීරණය කළ ඉසව්වයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනෙන් වැඩිම ලකුණු ලැබුණ ක්‍රීඩිකාව ලෙස 18 හැවිරිදි සංජනා සිං දක්ෂතා දැක් වූ එවැනි ඉසව් වැඩියෙන් නියෝජනයට රසාරාට ලැබෙන අවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ තත්ත්වය ඉහළට යනු ඇති බව බලධාරීන් කල්පනා කළ යුතුයි.පදක්කම් ගේන්න පුළුවන් යන නිර්වචනය අත හැර පදක්කම් සඳහා ප්‍රවර්ධනය කර ගත යුතු ඉසව් ද හඳුනාගත යුතුව තිබෙන බව පැහැදිළියි.
එසේ සිතන විට පහළ අඩියක තිබෙන සහ දියුණුවීමේ ලක්ෂණ පෙන්වන රිටි පැනීම වැනි ඉසව්වකට කළාපයේ ඉඩ අඩු වුවත්,වෙනත් සුළු ජාත්‍යන්තර ඉසව්වලදී එම ඉසව්ව නියෝජනයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවිය හැකියි.විශේෂයෙන් අසල්වැසි රටවලින් ලැබෙන ආරාධනා අනුව සූරතාවලි සඳහා ක්‍රීඩකයින් සහභාගි කරවීමේදී ඒ අවධානය අඩු ඉසව්වලට අවස්ථාව දී එම ඉසව් සංවර්ධනය කරන්නට පියවර ගත හැකියි.
මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ජාතික වැඩ පිළිවෙලක් නැහැ.එයට පත්වන බලධාරීන්ගේ රුචිකත්වය රටේ මලල ක්‍රීඩාවේ ගමන් මාර්ගය වෙනවා.පත්වන බලධාරියා තමන්ට හිතවත් අය දකින විදිහට සහ ඔවුන්ට අවශ්‍යය විදිහට තීරණ ගනු ලබනවා.පසුගිය කාලයේ සිඳු වුණේ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ රුචි අරුචිකම් මත මලල ක්‍රීඩාවේ ගමන් මාර්ගය සකස්වීමයි.එහිදී ඔහු තනිව මේ දේ කළ බව කියන්නට නොහැකියි.සංවාදයකින් තොරව ඊට එකඟ වන ඒකත්පස්ව සිටින අනුගාමික නඩය ද එහි වගඋත්තරකරුවන් විය යුතුයි.මන්ද ඔහු පෞද්ගලිකව තමන් කැමති මලල ක්‍රීඩාව වෙනුවෙන් කළ දායාද පරිත්‍යාග තිබෙනවා.එහෙත් ඒවා සියල්ල විශිෂ්ඨ ජාතික වටිනාකම් නොවී ඔහුගේ රුචි වටිනාකම් වීමේ අගෞරවය සහ හානිය ඔහුට තනියෙන් පැවරිය යුතු නොවේ.
මේ වන විට අමාත්‍යංශයෙන් මලල ක්‍රීඩාව පාලනය වන විකෘතිය ද ඒ ආකාරයට ක්‍රීඩාව තමන්ගේ අභිමානයට සරිලන පරිදි සකස් කර ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් උත්සාහයක ප්‍රතිපලයක්.අමාත්‍යවරයාට උපදෙස් දෙන හෝ තීරණ ගැනීමට සහය වන කිසිවෙකුත් පාලිත ප්‍රනාන්දුට විරුද්ධ නොවුණා සේම අමාත්‍යවරයාගේ උවමනාවන්ට එකඟවීම තමයි අර්බූදය.ඉහළම තනතුරුවල ඉන්න කොට පහළ පෙනෙන්නේ අඩුවෙන් වන අතර එය පෙන්වන්නට සිටින පිරිස, ඉහළම සිට නිවැරදිව නොපෙනෙන දේ ගැන පවසන සියල්ල ඒකමතිකව අනුමත කිරීම ලංකාවේ තිබෙන විශාලම අවුලයි.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට තමන්ගේ වෘත්තීය,වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ වැනි තලයේ තබාගෙන මෙතෙක් නොතිබි ආකාරයට එම වෘත්තිකයන්ට වසර 10 ක පළපුරුද්ධ ඇත්නම් ක්‍රීඩා නොකළත් තනතුරුවලට ආ හැකි බවට භෞතීස්ම කිරීම හරහා මලල ක්‍රීඩාවේ තනතුරකට අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ වෛද්‍යවරයෙක් කළ විරෝධයක් නිසා මලල ක්‍රීඩා නිලවරණය නවතා දැන් එය අමාත්‍යංශය භාරයේ තබා ගන්නට වී තිබෙනවා.
දැන් ක්‍රීඩාවට ආදරයෙන් සිටින සියල්ල සිටින්නේ සතුටින්.ගොසිප්කරුවන් විවිධ විවිධත්වයන් ජනතාවගේ ආකර්ශණයට නතු කරමින් මේ මොහොතේ තමන්ගේ පිටුවට අදාළ ප්‍රෙක්ෂකයින් වැඩි කර ගන්නට උත්සාහ කරමින් සිටිනවා.ඇත්තටම මේ මොහොතේ මලල ක්‍රීඩාව තිබෙන හැටියට මේ ජයග්‍රහණය අති විශිෂ්ඨයි.එහි විවාදයක් නැහැ.එහෙත් මේ තිබෙන හැටියට ලැබෙන විශිෂ්ඨත්වය හරි හැටියටම තිබෙනවනම් ඊටත් වඩා විශිස්ඨ විය හැකියි යන්න අප අමතක කළ යුතු නැහැ.එ නිසා චූන් වුණාට කමක් නැහැ.ඒත් මේ චූන් එක තාවකාලික ප්‍රතිපලයක් නොවී ස්ථාවරව පවත්වා ගෙන යන්නට ඉහළින් පොළවට බැස එහි පය ගසා නිවැරදිව තත්ත්වය නිරීක්ෂණය කළ යුතුයි.
පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්,රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකා නාම ලේඛණයයි.ප්‍රධාන ඡායාරූපයේ ඇත්තේ තරගාවලියේ අවසාන දිනයේ රන් පදක්කම් දිනා දුන් අට දෙනායි.
රන් පදක්කම් – 16
- චමෝද් යෝධසිංහ – පිරිමි 100m
- ෂාෆියා යාමික් – කාන්තා 100m
- පසිදු මල්ෂාන් – පිරිමි තුන්පිම්ම
- මදුෂානි හේරත් – කාන්තා තුන්පිම්ම
- කාලිංග කුමාරගේ – පිරිමි 400m
- තරිදු දසුන් – පිරිමි උස පැනීම
- චමෝද් යෝධසිංහ/ සදුන් දියලවත්ත/ ප්‍රමුදිත් සිල්වා/ ඉදුසර විදුෂාන් – පිරිමි 4*100m
- ධනංජනා ප්‍රනාන්දු/ අමාශා සිල්වා/ ෂාෆියා යාමික්/ රුමේශිකා රත්නායක – කාන්තා 4*100m
- දසුනි කෞශල්‍යා – කාන්තා 400m කඩුලු පැනීම
- රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම පිරිමි
- හර්ෂ කරුණාරත්න – පිරිමි 800m
- දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම කාන්තා
- මදුෂානි හේරත් – දුර පැනීම කාන්තා
- ෂාෆියා යාමික් – කාන්තා 200m
- රසාරා විජේසූරිය – කාන්තා 10000m
- කාලිංග කුමාරගේ/ කල්හාර ඉදූප/ ඔමෙල් ශශින්ත/ අයෝමාල් අකලංක – පිරිමි 4*400m
රිදී පදක්කම් – 14
- වක්ෂාන් වික්නරාජ් – 5000m
- තනූජි අමාශා – කාන්තා 100m
- කාලිංග කුමාරගේ/ නදීශා රාමනායක/ කල්හාර ඉදූප/ සයුරි මෙන්ඩිස් – 4*400m මිශ්‍ර
- රොශාන් රණතුංග – පිරිමි 110mකඩුලු පැනීම
- රුසිරු චතුරංග – පිරිමි 1500m
- නිමාලි ලියනාරච්චි – කාන්තා 1500m
- අයෝමාල් අකලංක – පිරිමි 400m කඩුලු පැනීම
- අරලියා සත්සරණී – කාන්තා 400m කඩුලු පැනීම
- තක්ෂිමා නුහන්සා – කාන්තා 800m
- පෙහන්සා ගමගේ – උස පැනීම කාන්තා
- ඉදුසර විදුශාන් – පිරිමි 200m
- සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම
- විශ්මිත කුමාර – පිරිමි දුර පැනීම
ලෝකඩ පදක්කම් – 10
- මිතුන් රාජ් – පිරිමි යගුලිය විසිකිරීම
- ඔවිනි චන්ද්‍රසේකර – කාන්තා යගුලිය විසිකිරීම
- ශෂිනි උපේක්ෂා – කාන්තා තුන්පිම්ම
- ලක්ෂිකා සුගන්ධි – කාන්තා 110mකඩුලු පැනීම
- විනෝදනී ලක්මාලි – කවපෙත්ත විසි කිරීම කාන්තා
- කල්හාර ඉදූප – පිරිමි 400m
- සයුරි මෙන්ඩිස් – කාන්තා 400m
- මිලන්ත සම්පත් – කවපෙත්ත විසි කිරීම පිරිමි
- මොහ්මදු නිෆ්‍රාස් – පිරිමි 1500m
- දමිත් ධර්මසේන – මිටිය විසිකිරීම පිරිමි

