රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ බව වාර්තා වේ.
ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීය.
ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන්ද අද අධිකරණයේ පෙනී සිටි බව පැවසේ.
ඉන් අනතුරුව විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාල නඩුව යළි දෙසැම්බර් මස 10 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළ බව පැවසේ.
