දේශපාලන ජනවහර තුල පොදු මහජනතාව යෝධයෙකුට සමාන කෙරෙයි. යුග ගනන් තිස්සේ නිදාගනිමින් සිටින මේ යෝධයා ඉතිහාසයේ අර්බූදකාරී තැන්වලදී අවදිවෙයි. එහිදී ගැඹුරු විපර්යාස කීපයක් සිදුකිරීමෙන් අනතුරුව මේ යෝධයා නැවතත් ඉතිහාස නිද්‍රාවට අනුගත වෙයි.
පසුගිය සමය තුල ලාංකීය මහජන යෝධයා අවදිවෙනු අපි දුටුවෙමු. අනතුරුව ඉතාම සුළු කාලපරාසයක් තුල නැවතත් නින්දට ප්‍රවේශවනුද දුටුවෙමු. ලාංකීය දේශපාලන බූමිය තුල මේ යෝධයාගේ අවදිවීමට බලපෑ හේතු සහ කෙටි ක්‍රියාකාරිත්වයකින් අනතුරුව නැවත නිද්‍රාවට පත්වීමට බලපෑ හේතු අපි මෙතැන් සිට විශ්ලේෂණය කරමු.
අරගලයේ ආරම්භක පන්තිය.
මේ යුගයේ ආකර්ෂණීය මත සහ රැළි නිර්මාණය කිරීමේ විබවය ඇත්තේ මධ්‍යම පන්තියටය. ඒ අනුව මෙකී මහජන නැගිටීමටද අවශ්‍ය මූලික පසුබිම සකස්කර දුන්නේ ලාංකීය නාගරික මධ්‍යම පන්තිය විසිනි.
නිසොල්මනේ ගලාගෙන ගිය ඔවුන්ගේ ජීවිත හිටිහැටියේ ඇතිවූ අර්බූදය තුල සෙලවීමකට හසුවීම ඔවුන්ගේ මේ ක්ෂනික ප්‍රවේශයට හේතුවූවා විය හැකිය.
කුණුවී ඕජස් ගලන පාර්ලිමේන්තුව නියෝජනය කල සහ නොකල සියළු දේශපාලන දහරාවන් මේ මධ්‍යම පාන්තික අරගලකරුවන් ගේ විවේචනයට ලක් උනි.
ඔවුන්ගේ අරගලයේ දර්ශනය බොහෝ විට අපැහැදිලි වුවද ඒ තුල දියුණු ලිබරල් ලක්ෂන පැහැදිලිව පෙනෙන්නට තිබින.
වාමාංශිකයන් විසින් අරගල වලදී මියගිය ඔවුන්ගේ ශිෂ්‍ය නායකයන්ගේ හා ඔවුන්ගේ දකුණේ වීරයන්ගේ ඡායාරූප අඩංගු කටවුට් ආඩම්බරෙන් ඔසවාගෙන පැමිණියා මිසක උතුරේ අරගලයේදී කෘර ලෙස මරා දැමුන සහෝදර මිනිසුන්ගේ ඡායාරූප කටවුට් ගෙන අවේ නැත. අවම වශයෙන් වාමාංශිකයන් දමිළ අරගල කරුවන් ගැන කතාකලේ හෝ නැත. බොහෝදුරට වම තුල තිබුනේද දෙමළ ජාතිය යනු මනුශ්‍යයන් නොවන කකුල් දෙකේ කොටි විශේෂයක් ලෙස දකින දකුණේ සාමාන්‍ය ජනමනෝබාවයමය.
නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්පාක්ෂික ගෝල්ෆේස් අරගල පිටිය තුල දකුණේ මෙන්ම උතුරේද කෘර ලෙස මරා දැමුණු මිනිසුන්ගේ ඡායාරූප කටවුට් ප්‍රසිද්දියේ පෙනෙන්නට තිබින. ඉසිප්‍රියා, සිවරාම් සහ දකුණේ සිට ඔවුන් වෙනුවෙන් හඬ නැගූ වරදට මරා දැමුණු එක්නැලිගොඩලාගේ චායාරූපද පෙනෙන්නට තිබින.
දකුණේ රැඩිකල් වාමාංශිකයන් අවුරුදු ගානක් තිස්සේ පෙනී සිටියේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙනි. මේ ඒකීය රාජ්‍ය වෙන අන් කවර එකීය රාජ්‍යයක්වත් නොව සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයයි. උතුරේ අරගලය ගැන වාමාංශිකයන්ගේ අදහස වී තිබුනේ එහි ජනවාර්ගික ප්‍රශ්නක් නැත ඇත්තේ බෙදුම්වාදී ත්‍රස්තවාදයක් පමණයි යන්නය. නමුත් ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට “එක්සත් ශ්‍රී ලංකාවක්” යනුවෙන් ලේසර් බීම් හරහා ජනපති මැදුරේ පියස්ස මතම සටහන් කිරීමට ගෝල්ෆේස් නිර්පාක්ෂික අරගල කරුවන් ඓතිහාසික ලෙස එඩිතර විය.
එසේම ඒ අරගලය තුල වාමාංශික අරගලවල මෙන් සාගිනි සෝගිනි වැරහැලි එහි තිබුනේ නැත. අවශ්‍ය අවම හෝ ආහාර කුඩාරම් සහ අනෙකුත් පහසුකම් එහි තිබින.”ගෝඨා ගෝ හෝම්” මිසක කපා කපා කෑලි කපා වැනි වෛරී ප්‍රකාශ එහි තිබුනේ නැත. ඇත්තෙන්ම එය මධ්‍යම පන්තියේ ආදරයේ අරගලයක්ම විය.
ගෝල්ෆේස් අරගල බිම තුල වික්ටෝරියානු සදාචාරවාදය බිඳගෙන පෙරට පැමිනි කොට කලිසම් හැඳගත් වමට වඩා සියවසක් ඉදිරියෙන් සිටි මොඩන් කාන්තා නියෝජනයක්ද තිබින.
වාමාංශික ව්‍යාපාරවල බොහෝ කාන්තාවන් යනු ලිංගිකත්වයට බිය ගැමි සංකෘතියක් තුල ජීවත්වන්නවුන් ය.
නායකයන් දෙන සටන් පාඨ කටපාඩමින් කියන මොවුන් පරමාදර්ශ ලෙස රකින්නේ වැඩවසම් හරපද්දතීන් ය.
මොනයම් හෝ හේතුවකට ඒ අරගලයේ නායකයන් ලෙස රැට්ටා වැනි අත්දැකීම් නැති අදේශපාලනික චරිත තෝරා ගැනුනන අතර වමේ නායකත්වය පිළුණුවූවක් ලෙස සලකා සපුරා ප්‍රතිකේෂ්ප කෙරින.
බොහෝවිට සුවිශාල පොදු මහජන නැගිටීමට හේතුවුයේ එයට මග පෙන්වූ මේ මධ්‍යමපන්තියේ ආකර්ෂණීය ඇවතුම් පැවතුම්ද විය හැකිය.
කෙසේ නමුත් මේ අරගලයේ ආරම්බක පන්තිය වූ ලිබරල් මධ්‍යම පන්තිය සතුව වාමාංශිකයන් මෙන් කාගෙන හපාගෙන මග මැරුණත් එකදිගට සටන අල්ලාගෙන සිටින අරගල ආකෘතිය තිබුනේ නැත. මන්ද ඔවුන් නිදහස් මිනිසුන් ප්‍රවර්ගයක් වන නිසාය.
ඒ හේතුවෙන් අප්‍රේල් නිවාඩුව අවසන් වීමත් සමඟ ටිකෙන් ටික ඔවුන් ගෝල්ෆේස් බූමිය අතහැර යන්නට විය.
අරගලයේ වමේ භූමිකාව.
අරගලයට පෙර රාජපක්ෂ විරෝධය මූලික වශයෙන් ගොනුව තිබූ එක් පෙරමුණක් වූයේ ජා.ජ.බ.යයි. නමුත් අරගලයත් සමඟ තත්වය වෙනස්විය.
ජා.ජ.බ.යේ අරගල ආකෘතියද ප්‍රචන්ඩත්වයකට නොයන ගෝල්ෆේස් මධ්‍යම පාන්තික අරගල ආකෘතියට යම් දුරකට සමානවුවද ගෝල්ෆේස් මධ්‍යම පන්තිය සිටියේ ජා ජ.බ.යට වඩා බොහෝ ඉදිරියෙනි.
ගෝල්ෆේස් අරගල කරුවන්ගේ “පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහම එපා” සටන් පාඨය නිසාත් අරගලය සඳහා ජා.ජ.බ නායකත්වය අරගල කරුවන් ප්‍රතිකේෂ්ප කල නිසාත් මුල සිටම ජා.ජ.බ.ය සිටියේ අරගලය ඇලජික් ස්තාවරයකය.
තත්වය මෙසේ පවතිද්දී එකුදු පාර්ලිමේන්තු අසුනක්වත් නොමැතිව සිටි පෙරටුගාමී පක්ෂයට “දෙසීය විසිපහම එපා ” සටන් පාඨයට මුවාවී ලද අවස්තාවෙන් ගෝල්ෆේස් බිමට රිංගා ගැනීමට හැකිවිය.
ක්‍රමයෙන් නාගරික මධ්‍යම පන්තිය අතහැර යමින් තිබූ ගෝල්ෆේස් බිමට බැරියර් පෙරලගෙන පෙරටුගාමී අන්තරය ඇතුල් විය.
එහිදී කපා කපා කෑලි කපා සටන් පාඨ නොරිස්සූ ඉතිරි මධ්‍යම පාන්තික අරගල කරුවන් කීප දෙනාද අරගල බිම අතහැර දමා ගියේය.
එතැන් සිට ඉසිප්‍රියාලගේ ශිවරාම්ලගේ කටවුට් එහි තිබුනද ඒවාට කිසිදු නෛතික පදනමක් නැතිවිය.
ඊළඟට “එක්සත් ශ්‍රීලංකාවක්” වැකියට පරම සතුරු ඒකීය ශ්‍රීලංකාව නියෝජනය කරමින් ෆොන්සේකාද ඒ මදිවට පාඨලීගේ සේනාංකයද අරගල බිම තුල උත්කෘෂ්ඨයකට නැංවින. එතැන් සිට නිර්පාක්ෂික අරගලය එක් එක් දේශපාලන බලවේගවල ඇජෙන්ඩාවක් බවට පත්විය.
ගෝඨාගේ භූමිකාව.
රට මෙවන් අර්බූදයකට ක්ෂනිකව ඇදවැටීම සඳහා ගෝඨාබයගේ අත්දැකීම් රහිත සහ දේශපාලන විඥානයක් නොමැති දුර්වල චරිත ලක්ෂන ඝෘජුවම බලපෑවේය. ඒ හේතුවෙන්ම ඔහු තුල ඇතිවූ වික්ෂිප්ත බාවය නිසාම අරගලයට ගෝඨාබය දැක්වූයේ ඉතාම නිවට බියගුලු ප්‍රතිචාරයකි.
එහිදී ගෝඨාබයගේ මේ බියගුළු ප්‍රතිචාරය නිසාම අරගල කරුවන් මොහොතින් මොහොත ධෛර්යමත් විය.
අසංවිධානාත්මක මහජන අරගල යනු රාජ්‍යයේ දුර්වල තැන් දුටුවිට වැල නොකැඩී පහරදීමට පැමිනෙන සහ මිල්ටේරියේ බිහිසුනු අවි පුපුරනු ඇසුන සැනින් ඊටත්වඩා වේගයෙන් පලායන ප්‍රපන්චයකි.
ඇත්තෙන්ම අරගලයට මෙතරම් ජයග්‍රාහී තැනකට යාමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ ගෝඨාබයගේ බියසුළු උදාසීන බව විසිනි.
රනිල්ගේ ආගමනය.
රනිල්ගේ ආගමනය නිසා අරගලය නන්නත්තාර වූවාසේ මතුපිටින් පෙනෙන්නට ඇතත් අරගලය නන්නත්තාර වීමට බලපෑ මූලික හේතුව එය නොවේ.
අරගලය නන්නත්තාර වීමට බලපෑ ප්‍රධානම හේතුව නම් තමන් ඇරඹූ සංස්කෘතික අරගලයේ අවකාශයට කල් යල් බලා වාම ප්‍රචන්ඩකාරීන් රිංගූබව අවබොධ කරගත් නාගරික මධ්‍යම පන්තිය සම්පූර්ණයෙන්ම ඉන් ඉවත්වීමයි.
අනතුරුව ඔවුන් අරගලයට සැපයූ මතවාදී සහ සම්පත් දායකත්වය අත් හිටුවීය. එහිදී වාම ප්‍රචන්ඩත්වය රට තිබුනාටත් වඩා අඳුරු බිංගෙයකට රැගෙන යතැයි ඔවුන් බියවිය.
මේවන විට අරගලය ඇරඹූ ලිබරල් මධ්‍යම පන්තියේ පුළුටක්වත් එහි නැත..දැන් අරගලය සුළුතර දේශපාලන ඇජෙන්ඩාවල බලපොරයක් බවට ඌනනය වී ඇත.ගැඹුරු සටන් පාඨ් දැන් එහි ඇසෙන්නේ නැත. දැන් එහි ඇසෙන්නේ පැරණි සාම්ප්‍රදායික ස්ටාලින්වාදී වාම ගෝසාව පමණි.
යෝධයා නැවතත් නින්දකට අවතීර්ණව ඇත…..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN