කොළඹ LNW: Kuala Lumpur හි පැවති චීන-ඇමරිකා වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (30) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.
චීන සහ ඇමරිකානු වෙළඳ කණ්ඩායම් සාකච්ඡා හරහා එළඹි ප්‍රධාන එකඟතාවයන් පිළිබඳ එහිදී පැහැදිලි කෙරුණා.
පළමුව, ඇමරිකාව චීනයේ භාණ්ඩ සඳහා (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව) පනවා ඇති 10% ක “Fentanyl තීරුබදු” ඉවත් කිරීමට එකඟත්වය පළ වී තිබෙනවා. එමෙන්ම චීනයේ භාණ්ඩ සඳහා පනවා ඇති 24% ක තීරුබදු (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව) තවත් වසරකට අත්හිටුවනු ලැබුවා. ඇමරිකාව විසින් පනවන ලද මෙම තීරුබදුවලට එරෙහිව චීනය සිය ප්‍රති-පියවර සකස් කළ බව ද චීන පාර්ශ්වය සඳහන් කළා.
දෙවනුව, සැප්තැම්බර් මාසයේ 29වැනිදා, ඇමරිකාව නිවේදනය කළේ ඇමරිකාවේ “ආයතන ලැයිස්තුවට” ඇතුළත් කර ඇති සමාගම්වල අනුබද්ධිත සමාගම් තම කොටස් වලින් 50% කට වඩා හිමිකර ගන්නේ නම්, එම සමාගම් ස්වයංක්‍රීයව අදාළ අපනයන පාලනයන්ට යටත් වන බවයි. නමුත් මෙම පියවර වසරකට අත්හිටුවීමට ද චීනය එකඟ වී තිබෙනවා.
තෙවනුව, චීනයේ සමුද්‍රීය, සැපයුම් ද්‍රව්‍ය සහ නැව් ඉදිකිරීමේ කර්මාන්තවලට එරෙහිව ක්‍රියාත්මක 301 වන වගන්තියේ විමර්ශන වසරකට අත්හිටුවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඇමරිකාව සිය අදාළ පියවර අත්හිටුවීමෙන් පසු, චීනය ද සිය ප්‍රති-පියවර වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
එමෙන්ම, TikTok සම්බන්ධ ගැටලු නිසි ලෙස විසඳීම සඳහා චීනය සහ ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද සඳහන් වුණා.
මේ අතර, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian මහත්මිය ඊයේ (30) පැවසුවේ Kuala Lumpur හි වෙළඳ සාකච්ඡාවේ ප්‍රතිඵල දුෂ්කර උත්සාහයකින් දිනාගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඇමරිකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
දිනූෂි ධීරසිංහ
