ඕවින්දි විෂ්මිකා
ඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව හා නීති ක්‍රියාත්මක කිරීමේ ඉතිහාසය තුළ විශාලතම පූර්වාදර්ශී තීන්දුවක දී කොළඹ මහාධිකරණය සැප්තැම්බර් මාසයේදී වනජීවී අපරාධ සඳහා වූ ඉතිහාසයේ දරුණුතම දඬුවම් වලින් එකක් ලබා දෙමින් පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයට සහ නීති ක්ෂේත්‍රයට අලුත් අර්ථයක් ලබා දී ඇත.
ඒ උසාවිය විසින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ප්‍රනාන්දු එනම් “අලි රෝෂාන්” ලෙස හැඳින්වෙන පුද්ගලයා හට, වනයෙන් අල්ලාගෙන ඇති අලියෙකු නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටීම සඳහා දෝෂියෙකු ලෙස ප්‍රකාශ කරමින් අවුරුදු 15ක දැඩි සිර දඬුවමක් හා රුපියල් මිලියන 20.6ක (ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ) දඩයක් ද නියම කරමින්ය.
නීතිගත බලපත්‍රයක් තිබෙන බවට පෙන්වාගත් අයුරින් ලියාපදිංචි නොකළ අලියෙකු නීති විරෝධී ලෙස නඩත්තු කිරීම සම්බන්ධයෙන් රොෂාන් වරදකරු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. නඩුවේ කේන්ද්‍රස්ථානය වූ සිඟිති නම් ගැහැණු අලියාව රාජ්‍ය අයිතියට ලබා දෙන ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) යටතට භාර දෙන ලෙසත් නියෝගයක්ද නිකුත් විය. 
“මෙය සැබවින්ම ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක්” ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පැවසූ අතර ඔහු තවදුරටත් කියා සිටියේ “2015 දී වනයෙන් අල්ලාගෙන තිබේ යැයි සැක වූ අලි ඇතුන් 39 දෙනා සම්බන්ධයෙන් පවතින නඩු සඳහා මෙය පැහැදිලි පූර්වාදර්ශයක් ස්ථාපිත කරයි. හඬක් නැති වින්දිතයින් වෙනුවෙන්ම යුක්තිය ඉටු වූ දුර්ලභ මොහොතක්”බවයි.
“නිහඬ පීඩිතයින්” වෙනුවෙන් නීතිය
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර නඩුවේ සංකේතාත්මක වැදගත්කම අවධාරණය කරමින් ඇප ලබා දීමට විරුද්ධ විය. “සාක්ෂි දිය හැකි මිනිස් වින්දිතයින් මෙන් නොව අලි ඇතුන්ට ඔවුන් විඳි හානිය ගැන කතා කළ නොහැක. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමු. මෙවැනි අපරාධ නීතියේ ආධිපත්‍යය අඩපණ කරන අතර උපරිම දැඩි දඬුවම් ලබා දිය යුතුය” ඔහු අධිකරණයට පැවසීය.
මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් දිගු කලක් තිස්සේ සුළු පරිපාලන උල්ලංඝනයන් ලෙස සලකනු ලැබූ වනජීවී අපරාධ වල බරපතලකම සහතික කිරීම පටන් ගෙන ඇති බවට ප්‍රබල සංඥාවක් ලෙස සැලකේ.
දශකයක් දිවෙන නඩු සටන
මෙම නඩුව අවුරුදු දහයකට අධික කාලයක් පැවති නීතිමය සටනක අවසන් පියවර වේ. 2009 සිට 2015 අතර කාලය තුළ රොෂාන් සහ ඔහුගේ සහචරයින් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි ලියාපදිංචි පද්ධතිය ව්‍යාජව වෙනස් කරමින් වනයේ සිට අල්ලාගත් අලි පැටවුන්ට වහල්භාවයේ උපන් අලි ඇතුන් ලෙස “විශුද්ධීකරණය” කළ බවත් එමඟින් ඔවුන්ගේ පෞද්ගලික අයිතිය ඵලදායී ලෙස නීත්‍යානුකූල කළ බවත් නඩු පවරන්නන් ඔප්පු කළහ.
නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම සහ ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනා දෙකකට රොෂාන් වරදකරු වූ අතර DWC හි හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු ඇතුළු සම-චූදිතයින් තිදෙනෙකු ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.
ගුණවර්ධන මහතා සදහන් කළේ මෙම නඩුව දිගු කාලසීමාවට හේතුව නම් පරිසර අපරාධ නඩු සම්බන්ධයෙන් වූ නීතිමය ක්‍රියාවලි හා සාක්ෂි එකතු කිරීමේ අපහසුතා බවයි. “වනජීවී නඩු බොහෝ විට රඳා පවතින්නේ තාක්ෂණික විස්තර මතය. එනම් වයස් ඇස්තමේන්තුව, DNA සාක්ෂි, ලේඛන විෂමතා වැනි කරුණු මත. නමුත් මේවාට අවශ්‍ය විද්‍යාත්මක සහාය සෑමවිටම ලැබෙන්නේ නැත” ඔහු පැහැදිලි කළේය.
සම්ප්‍රදායෙන් ජාවාරමට
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ ඉතිහාසය අති මහත් සංස්කෘතික ගෞරවයකට අයත් වුවත් ඒ සමඟම නීතිවිරෝධී අල්ලා ගැනීම්වල ඉතිහාසයක්ද අන්තර්ගත වේ.හීලෑ කිරීම සඳහා වන සතුන් අල්ලා ගැනීම සියවස් ගණනාවක් පැරණි වන අතර 1950 වර්ෂයේ දී පනාමුරේ ක්‍රාල් සිද්ධියේදී ඇතෙකු මරා දැමීම සම්බන්ධයෙන් වූ දැඩි මහජන විරෝධයෙන් පසුව නිල වශයෙන් එය නතර විය.
එතැන් සිට පින්නවල අලි අනාථාගාරය නීත්‍යානුකූලව වහල්භාවයේ උපත ලැබූ අලි ඇතුන්ගේ ප්‍රධාන මූලාශ්‍රය වී ඇති අතර සමහර විට පන්සල් සහ සංස්කෘතික උත්සව සඳහා සතුන් සපයයි. එහෙත් 2000 දශකයේ මුල් භාගය වන විට තරුණ අලි ඇතුන් පැහැදිලි ලියකියවිලි නොමැතිව පෞද්ගලික අයිතියේ තබා ගන්නට පටන් ගැනීමත් සමඟ සැකයන් මතු විය.
2013 දී පරිසර ක්‍රියාකාරික සජීව චාමිකර විසින් නිකුත් කළ පර්යේෂණ ලේඛනයකින් හෙළිදරව් වුයේ අවම වශයෙන් පැටවුන් 51 ක් පමණ වනයෙන් අල්ලා ඇති බවත් ඉන් අලීන් 39 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා යටතේ වංචනික ලෙස ලියාපදිංචි කර ඇති බවත්ය. “මෙම නඩුව එක් මිනිසෙකු ගැන පමණක් නොවේ; එය නීතිමය හිඩැස්, නිල අනුග්‍රහය සහ සමාජ ඉල්ලුම ගසාකන ජාලයක් ගැනයි” චාමිකර මොන්ගාබේ වෙත පැවසීය.
කීර්තිය, ආගම සහ ඉල්ලුම
මහනුවර ඇසළ පෙරහැර වැනි ආගමික පෙරහැරවල පූජනීය ධාතුන් රැගෙන යන අලංකාරවත් ලෙස සරසන ලද අලි ඇතුන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තිය ඔවුන්ගේ භූමිකාව පවත්වා ගැනීමට තත්ව සංකේත ලෙස ගෘහාශ්‍රිත අලි ඇතුන් යොදා ගනියි.එහි ප්‍රතිඵලයක් ලෙස අලි ඇතුන් සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතී.

“අලියෙකු බලය සහ කීර්තිය නියෝජනය කරයි.පින්නවල වැනි නීත්‍යානුකූල ප්‍රභවයන්ගෙන් ලැබෙන සීමිත සැපයුම නීති විරෝධී විකල්ප සෙවීමට මිනිසුන් යොමු කළා.”ජෛව විවිධත්ව සංරක්ෂණ සහ පර්යේෂණ කවයේ සුපුන් ලහිරු ප්‍රකාශ් කියා සිටියේය. 
සංස්කෘතික භාරකරුවන් තර්ක කරන්නේ පන්සල් සම්ප්‍රදායන් අලි සංචිතයක් නඩත්තු කිරීම මත රඳා පවතින බවයි.එහෙත් චමිකර මහතා අවධාරණය කළේ “සංස්කෘතිය හා ආගම ආරක්ෂා කළ යුතු වුවත් සත්ත්ව පීඩනයට සහ අනීතික ක්‍රියා සඳහා එය සාධාරණ හේතුවක් විය නොහැක” යන්නයි.
කලාපීය ගැටලුවක්
ශ්‍රී ලංකාවේ මෙම අලි ජාවාරම් අර්බුදය දකුණු සහ අග්නිදිග ආසියාව පුරා එනම් මියන්මාරය සහ තායිලන්තය සිට ලාඕසය වැනි රටවල්වලද ප්‍රවණතා පිළිබිඹු කරන වන අලි අල්ලා ගැනීම් හා ව්‍යාජ ලේඛන මගින් වෙළඳාමට ලක් කිරීමේ ගැටලුන් සමඟ සමාන වේ.
ප්‍රකාශ් මහතාගේ 2020 අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ 2008 වසරේ සිට 2018 අතර කාලය පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ CID විසින් ගොනු කළ නඩු 39ක් තුළ පද්ධතිමය දූෂණය පැවති බවයි.එනම් ව්‍යාජ ඡායාරූප,කල් ඉකුත් වූ බලපත්‍ර සහ ව්‍යාජ හිමිකාරිත්ව සහතික එහි ඇතුළත් වු බවයි.
“මෙම විනිශ්චය සංකේතමය තීන්දුවක් පමණක් නොවිය යුතුය” යි ප්‍රකාශ් මහතා කීවේය. “එය පද්ධතිමය ප්‍රතිසංස්කරණයක් දිරිමත් කළ යුතුය.වඩා හොඳ වාර්තා තබා ගැනීම, විශ්වාසදායක DNA පරීක්ෂණ සහ ආයතනික වගවීම.එසේ නොවුවහොත් ජාවාරම්කරුවන් මේ සූරාකෑම දිගටම කරගෙන යනු ඇත.”
නීතියේ බලය යථාර්ථය කරා
අලි රොෂාන් තීන්දුව දැන් ශ්‍රී ලංකාවේ පාරිසරික නීති විද්‍යාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.වනජීවී අපරාධ තවදුරටත් බරපතල නොවන වරදක් ලෙස සැලකිය නොහැකි බවට සංඥා කරයි. එහෙත් එහි තිරසාර ප්‍රගතිය රඳා පවතින්නේ ආයතනික අඛණ්ඩතාව සහ නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට ඇති දේශපාලන කැමැත්ත මත බව විශේෂඥයින් අනතුරු අඟවයි.
“නිහඬ සත්ත්වයන්ට සාධාරණය ලබා දීම යනු අවසානයේදී අපගේම සමාජයට සාධාරණය කිරීමක් වේ” යැයි ගුණවර්ධන මහතා අවසන් වශයෙන් පැවසීය. “ඔවුන්ව ආරක්ෂා කිරීමට අප අසමත් වුණොත් නීතියේ ආධිපත්‍යය පවා අප විසින් අහිමි කරගන්නවා.”
