රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :
ජාතික පද්ධති මෙහෙයුම්කරු සමාගම (National System Operator Company) විසින් පසුගිය 17 වනදා සිදු වූ දිවයින පුරා විදුලි බලය බිඳවැටීම සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන වාර්තාව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කර ඇත.
එම වාර්තාවට අනුව සිදුවීමේ සංක්ෂිප්ත තොරතුරු මෙසේය.
- ආරම්භක හේතුව: ලක්ෂපාන විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ විදුලි උත්පාදනය මිලිස තත්පර 450ක් ඇතුළත මෙගාවොට් 187 සිට මෙගාවොට් 5 දක්වා ශීඝ්රයෙන් පහත වැටී ඇත.
- ජාලයේ වාරගණන (Frequency) පහත වැටීම: මෙහි ප්රතිඵලයක් ලෙස ජාතික විදුලි බලපද්ධතියේ වාරගණන තත්පර 2ක් ඇතුළත හර්ට්ස් (Hz) 49.906 සිට 48.75 දක්වා පහත වැටී ඇත.
- ආරක්ෂණ පද්ධති ක්රියාත්මක වීම: මෙම තත්ත්වය හේතුවෙන් විදුලි බලපද්ධතිය ආරක්ෂා කිරීම සඳහා සකසා ඇති වාරගණන අඩුවීමේදී ක්රියාත්මක වන භාර කපාහැරීමේ (Under-Frequency Load Shedding – UFLS) අදියර 5ම සක්රිය වී මුළු විදුලි භාරයෙන් 39.6%ක් විසන්ධි වී ඇත.
- පද්ධතිය අක්රිය වීම: බලාගාරවල විදුලි උත්පාදනය නතර වී පෙ.ව. 11:43 ට පමණ දිවයින පුරා පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීම ආරම්භ විය.
විසන්ධි වූ ප්රධාන බලාගාර: විවිධ පද්ධති ආරක්ෂණ ක්රමවේද හේතුවෙන් පහත සඳහන් බලාගාරවල ජනන යන්ත්ර ඉබේම ක්රියා විරහිත (Trip) වී ඇත:
- ලක්ෂපාන බලාගාරයේ ජනන යන්ත්ර කිහිපයක්
- නව ලක්ෂපාන බලාගාරය
- පොල්පිටිය බලාගාරය
- වික්ටෝරියා බලාගාරය
- සමනලවැව බලාගාරය
- පැරණි ලක්ෂපාන බලාගාරය
- ඉහළ කොත්මලේ බලාගාරය
- කුකුළේගඟ බලාගාරය
පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කිරීම: පද්ධති බිඳවැටීමෙන් පසු ප්රධාන අනුපද්ධති ජාල 4ක් ඔස්සේ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී:
- මහවැලි විදුලි බල පද්ධතිය
- ලක්ෂපාන විදුලි බල පද්ධතිය
- සමනල සහ දකුණු විදුලි බල පද්ධතිය
- කොළඹ විදුලි බල පද්ධතිය
පළමු විදුලි අනුස්ථානය (Substation) ප.ව. 12:37 ට බලගැන්වුණු අතර, ප.ව. 4:58 වන විට අවසන් අනුස්ථානයද සාර්ථකව යථා තත්ත්වයට පත් කෙරිණි. මුළු ජාතික ප්රේෂණ ජාලය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය 5යි මිනිත්තු 15ක කාලයක් ගතවී ඇත.
ප්රමාදයට හේතු වූ තාක්ෂණික ගැටලු: විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේදී ඇතැම් බලාගාර නැවත ජාලයට සම්බන්ධ කිරීම සඳහා පහත තාක්ෂණික ගැටලු නිසා අමතර කාලයක් ගත විය:
- යුගදනවි බලාගාරයේ Turning Gear හි ඇති වූ දෝෂය
- සොබාදනවි බලාගාරය නැවත ආරම්භ කිරීමේ (Start-up) ක්රියාවලියේ පැවති ගැටලු
- නැප්තා මගින් ක්රියාත්මක වන කැලණිතිස්ස සංයුක්ත චක්ර බලාගාරයේ අතිරේක ඩීසල් ජනන යන්ත්රවල පැවති දෝෂ
- ඩීසල් මගින් ක්රියාත්මක වන කැලණිතිස්ස සංයුක්ත චක්ර බලාගාරයේ පද්ධතිය නැවත යථා තත්ත්වයට ගැනීමට අමතර කාලයක් ගතවීම
විදුලි පද්ධතියේ සංඛ්යාතය (grid frequency) පහත වැටෙන විට, විදුලි ඉල්ලුම පාලනය කිරීම මගින් සමස්ත පද්ධතියම ආරක්ෂා කර ගැනීම සඳහා ‘අඩු සංඛ්යාතයේදී විදුලි සැපයුම විසන්ධි කිරීමේ යාන්ත්රණය’ (Under-Frequency Load Shedding mechanism) ස්වයංක්රීයව ක්රියාත්මක වේ. මෙම සිදුවීම අතරතුර එම ආරක්ෂක යාන්ත්රණයේ අදියර පහම ක්රියාත්මක වූ බවත්, එමගින් සමස්ත විදුලි භාරයෙන් (electricity load) 39.6%ක් විසන්ධි වූ බවත් වාර්තාවේ සඳහන් වේ.


