සටහන – පුලී
ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ විශිෂ්ටතම නාමයක් වන කුමාර් සංගක්කාර සහ යුරෝපයේ ප්රසිද්ධ ගුවන් සේවයක් වන රයන්එයාර් (Ryanair) අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. ඒ, අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන් තොටුපළේදී ගුවන් සමාගමේ ගේට්ටු කාර්ය මණ්ඩලය සමඟ ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සංගක්කාර සිය දැඩි අප්රසාදය පළ කරමින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට වෙනස්කොට සැලකූ බවත්, තර්ජනාත්මක ආකාරයෙන් හැසිරුණු බවත් චෝදනා කර තිබිණි.
බදාදා පස්වරුවේ X සමාජ මාධ්ය ජාලය ඔස්සේ අදහස් දක්වමින් ඔහු, “ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ වෙනස්කොට සලකන ගේට්ටු කාර්ය මණ්ඩලයට මුහුණ දුන් වෙනත් අය සිටිනවාද?” යනුවෙන් ප්රශ්න කර තිබුණේ මෙම සිදුවීම පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමු කරමිනි.
කෙසේ වෙතත්, සංගක්කාරගේ චෝදනාවලට ප්රතිචාර දක්වමින් රයන්එයාර් ගුවන් සමාගම පවසා ඇත්තේ, අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවන් සිදුකරන අවස්ථාවේදී අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කරන ලෙස ගේට්ටු නිලධාරියෙකු ඉල්ලා සිටියද, සංගක්කාර එම ලේඛන ලබාදීම ප්රතික්ෂේප කළ බවයි.
මාධ්ය වෙත නිකුත් කළ ප්රකාශයකින් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අවශ්ය පරීක්ෂාවන් සහ අදාළ මගියාගේ ගමන් කිරීමට ඇති සුදුසුකම් තහවුරු කිරීමෙන් අනතුරුව ඔහු ඔක්තෝබර් 28 වැනිදා ඩබ්ලින් සිට බ්රිස්ටල් දක්වා වූ නියමිත ගුවන් ගමනට එක් වූ බවයි.
මේ අනුව, ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් සංගක්කාරගේ චෝදනා සහ රයන්එයාර් සමාගමේ ප්රතිචාරය මේ වන විට ජාත්යන්තර ක්රීඩා හා සමාජ මාධ්ය අවධානය දිනාගෙන තිබේ.

