සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

Date:

හයිතම් සහ නදීකා හට කිසිදා සිතාගත නොහැකි අන්දමේ සිද්ධියකට මුහුණ දීමට සිදු විය.එනම් තම ජීවිතය රැකගන්න ඔවුන්ට රටක් රටක් ගානේ ගමන් කරන්නට සිදු වෙතැයි ඔවුන් කිසි විටෙකත් සිතුවේ නැත.

ඔවුන්ගේ කතාව ආරම්භ වූයේ වසර ගණනාවකට පෙර 2001 දී සුඩානයේ තරුණයෙකු වන හයිතම් ශ්‍රී ලාංකික කාන්තාවක් වන නදීකාව ලෙබනනයේදී මුණගැසීමත් සමගය. දෙදෙනාම එහි රැකියාවට ගොස් හොඳ අනාගතයක් ගොඩනඟා ගත්හ. ආදරය ඔවුන් එකට එක් කළ අතර 2004 දී ඔවුන් විවාහ විය. වසර දෙකකට පසු ඔවුන් තම පවුල ආරම්භ කිරීම සඳහා සුඩානයට ගියහ.

කාර්ටූම් හි ජීවිතය ඉතා සරල නොවුන නමුත් ආදරයෙන් පිරී තිබුණි. හයිතම් කුඩා ඉංජිනේරු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර නදීකා ඔවුන්ගේ නිවස සහ දරුවන් හතර දෙනා රැකබලා ගත්තාය. ඔවුන්ගේ දින වෙලාවල් සිනහවෙන්, අසල්වැසියන්ගේ කතා බහෙන් සහ වෙළඳපොළේ කාර්යබහුල ශබ්දවලින් පිරී තිබුණි.

නමුත් 2023 අප්‍රේල් මාසයේදී සියල්ල වෙනස් විය. සුඩානයේ සටන් ඇති විය. ආරක්ෂාවක් සෙවීමට ඔවුන්ට පළමුව අල් ජසීරා ප්‍රාන්තයට පලා යාමට සිදු වු අතර පසුව තවත් තර්ජනයන් හේතුවෙන් ඔවුන්ට පෝර්ට් සුඩානයට යාමට සිදු විය.සෑම පියවරක්ම හුදෙක් අවිනිශ්චිතතාවයෙන් සහ බලාපොරොත්තු රහිත බවින් පිරී ගියේය.

දිගු සහ දුෂ්කර වු වසරකට පසු ඔවුන් අවසානයේ නදීකාගේ නිජබිම වන ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් ආරක්ෂිතව සිටියද ඔවුන්ගේ නිවස,දේපළ සහ ඔවුන් ගොඩනඟා ගත් ජීවිතය යන සියල්ල ඔවුන්ට අහිමිවිය.

ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් විය. එහි සහායක ස්වේච්ඡා නැවත පැමිණීම සහ නැවත ඒකාබද්ධ කිරීම (AVRR) වැඩසටහන හරහා IOM ඔවුන්ගේ නිවසට නැවත යන ගමනට සහාය වූ අතර ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ජීවිත නැවත ආරම්භ කිරීමට ඔවුන්ට උදව් කළේය.

මුලදී දේවල් දුෂ්කර විය. “අපි ආරක්ෂිතව සිටීම ගැන මම සතුටු වුණා” නදීකා පැවසුවාය. “නමුත් සන්තකව කිසිවක් නොමැතිව නැවත ජීවිතය ආරම්භ කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැහැ.”

IOM හි සහාය ඇතිව හයිතම් ටුක්-ටුක් රථයක් මිලදී ගෙන රියදුරෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. “ඇත්තටම මෙය මට නිදහසක් ලබා දෙයනවා.” ඔහු ආඩම්බරයෙන් පැවසුවේය.මැහුම් වලට සැමවිටම ආදරය කළ නදීකා ඇගේ මවගේ දිරිගැන්වීමෙන් සහ උපකාරයෙන් නිවසේ සිට කුඩා මැහුම් ව්‍යාපාරයක් ආරම්භ කළාය.

ඔවුන්ගේ ලොකුම සිහිනය වූයේ තම දරුවන් නැවත පාසලට ඇතුළත් කර ගැනීමයි. පාසල් ගාස්තු, නිල ඇඳුම් සහ පොත්පත් සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) මගින් ලබා දුන් උපකාර නිසා දරුවන් හතර දෙනාටම තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට හැකි විය. ඔවුන් ඉක්මනින් එම පරිසරයට හැඩගැසී නව මිතුරන් ඇති කර ගත් අතර පන්තියේ හොඳින් ඉගෙනුම් කටයුතු කිරීමට පටන් ගත්හ. අමනි බැංකුකරුවෙකු වීමට සිහින දකියි.සාමි ඉංජිනේරුවෙකු වීමට කැමතියි.අම්රු ව්‍යාපාරිකයෙකු වීමට බලාපොරොත්තු වන අතර කුඩා නූර් වෛද්‍යවරයෙකු වීමට සිහින දකියි.

පවුල සෙමෙන් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟමින් සිටියි.ඔවුන් සිංහල ඉගෙන ගෙන ප්‍රජා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී නව මිතුරන් ඇති කර ගනිමින් සිටියි. “භාෂාව අමාරුයි. නමුත් සෑම වචනයක්ම අපි මෙහෙට අයිති බව දැනීමට උපකාරී කරනවා.”හයිතම් සිනහ වෙමින් පැවසුවේය.

සුඩානයේ දී ඔවුන්ට බොහෝ දේ අහිමි වුවද ඔවුන් එකිනෙකා තුළ තිබු ශක්තිය සහ ආත්ම විශ්වාසය දැනගැනීමට එය හේතු විය. ඔවුන්ගේ කතාව අහිමිවීම් අතරින් නැවත නැගිටීමේ හැකියාව රටටම පෙන්වන ආදර්ශමත් කතාවක් වේ.

“එක් දවසක මගේ දරුවන් නැවත පෝර්ට් සුඩානයට ගෙන ගිහිල්ල ඔවුන්ට අපේ මුල් ස්ථානය පෙන්වීමට මම කැමතියි. මන්ද අපේ අතීතය සැමවිටම අපෙන් කොටසක් වනු ඇත. නමුත් මෙහි අපි අපේ අනාගතය ගොඩනගනවා.”හයිතම් එසේ පැවසුවේ කාට කාටත් මෙවැනි අභියෝගවලට මුහුණදීමට ආත්ම ශක්තියක් තිබෙනවා යැයි පසක් කර දෙමිනි.

ඕවින්දි විෂ්මිකා

(“From Sudan to Sri Lanka, A Family’s Journey to a Fresh Start” නම් ලිපිය ඇසුරිණි.)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...