කොරියානු රූපලාවණ්‍ය නිෂ්පාදන, නොඑසේ නම් “K-beauty” නිෂ්පාදන ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි.
නමුත්, පසුගිය වසරේ දකුණු කොරියානු අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 10.3ක් ලෙස සටහන් වුව ද, ඇතැම් රටවල රූපලාවණ්‍ය සමාගම් කොරියානු නිෂ්පාදන නොවන ඔවුන්ගේ ම K-beauty නිෂ්පාදන හඳුන්වා දී ඇත.
K-beauty යන්නෙහි අර්ථදැක්වීම අපැහැදිලි වීම ගැන අප අවධානය යොමු කළ යුතු ද?
K-beauty නිෂ්පාදන ප්‍රථම වරට ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ 2010 දශකයේ වන අතර එය K-pop සහ K-drama වැනි අනෙකුත් කොරියානු අපනයන රැල්ලක කොටසක් ලෙස ප්‍රචලිත විය.
K-beauty නිෂ්පාදන භාවිතයෙන් සමේ යහපැවැත්ම පවත්වා ගැනීම ඉතා සංකීර්ණ වේ. එය පියවර 10ක පමණ කාර්යයක් වන අතර ඒ සෑම එකක් සඳහා ම වෙනස් නිෂ්පාදනයක් අවශ්‍ය වේ. මෙය ලොව පුරා සිටින ජනතාව අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ අතර අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, දකුණු කොරියාවේ වාර්ෂික අපනයන 2011දී ඇමෙරිකානු ඩොලර් මිලියන 650 සිට 2017දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසර හයක් තුළ හය ගුණයක වැඩි වීමකි.
ඉල්ලුම සම්බන්ධයෙන් සිදුවූ දැවැන්ත ඉහළ යාම හඳුනා ගනිමින්, දකුණු කොරියානු අගනුවර නමින් නම් කරන ලද ‘Seoul Ceuticals’ නම් රූපලාවණ්‍ය සන්නාමය 2017දී හඳුන්වා දුන්නනේ ය.
“එක්සත් ජනපදයේ සිදු වුණ නැගීම අපි හරියට ම දැක්කා ම K-beauty කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වීම අපි දැක්කා, ඒ ඉල්ලුම සපුරන්න ස්කින්කෙයා සන්නාමයක් ගොඩනගන්න පටන් ගත්තා… ,” සෝල් සියුටිකල්ට්ස් සමාගමේ සිල්ලර වෙළෙඳ අංශයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ඈන් මැජෙස්කි පවසයි.
“එය අතිශයින් ම සාර්ථක වී තිබෙනවා. 2025දී අපි ඩොලර් මිලියන 14කට වඩා අලෙවියක් කිරීමට අපේක්ෂා කරනවා. K-beauty නිෂ්පාදන සඳහා ගෝලීය පිළිගැනීමක් ඇති වෙලා තියෙන ආකාරය සහ ඉල්ලුම අපි දැක්කා. අපි ඉන්දියාව, ලතින් ඇමෙරිකාව, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව යන රටවල අලෙවිය ආරම්භ කර තිබෙනවා.”
නමුත් සෝල් සියුටිකල් යනු කොරියානු සමාගමක් නොවේ. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති අතර, එහි සියලු ම නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබන්නේ ද එහිදී ය.
මෙම ව්‍යාපාරය කොරියානු යැයි නොපැවසුව ද, එය “සැබෑ කොරියානු රූපලාවණ්‍ය” නිෂ්පාදන නිපදවන බව පවසයි.
එහි පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබුණත්, සමාගම පවසන්නේ එය එසේ නොවන බවත් ඒ, ඔවුන් අමුද්‍රව්‍ය දකුණු කොරියාවෙන් ලබා ගන්නා නිසා නොවන බවත් ය.
“අපි මුලින් ම පටන් ගන්නකොට ඒ ගැන ටිකක් සංවේදී වුණා කියලා මම හිතනවා, මොක ද මේ නිෂ්පාදන ඇමෙරිකාවේ නිපදවන බවට අපිට ඉතා විනිවිදභාවයෙන් යුතුව කියන්න ඕන වුණා,” මැජෙස්කි පවසයි.
“[නමුත්] අපි අපේ අමුද්‍රව්‍ය ලබා ගන්නේ කොරියාවෙන්… අපිට අවශ්‍ය වුණේ අපි K-beauty සන්නාමයක් කියලා නීත්‍යනුකූලව කියන්න.”
නමුත් සෑම කෙනෙක් ම මේ හා එකඟ නොවෙති.

“මේවා නිෂ්පාදනය කරන්නේ කොරියානු නිෂ්පාදකයෙක් වෙන්න ඕනෙ,” K-beauty රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන හ්වාරංපුම්හි (Hwarangpoom) සම-නිර්මාතෘ සියුං ගු කිම් පවසයි.
ඔහු තම බිරිඳ එලිසා අහොන්පා-කිම් සමග ව්‍යාපාරය පවත්වාගෙන යයි. ඔවුන් ෆින්ලන්තයේ පදිංචිව සිටිය ද, එලිසා හැර ඔවුන්ගේ කණ්ඩායමේ අනෙක් සියල්ලන් ම කොරියානු ජාතිකයන් වන අතර, ඔවුන්ගේ සියලු ම නිෂ්පාදන දකුණු කොරියාවේ නිෂ්පාදිත ය.
“අපි දෙදෙනා ම සම්පූර්ණයෙන් ම එකඟ වන වැදගත් ම දේ තමයි, සන්නාමය එහි සංකල්පය, අදහස් සහ නිෂ්පාදන කොරියානු දෘෂ්ටිකෝණයකින් කළ යුතු යි කියන එක,” කිම් පවසයි.
“ඒක අමුද්‍රව්‍යවලින්, නිර්මාණයෙන්. නැත්නම් සංස්කෘතික අංගවලින්, මූලික වශයෙන් කොරියාවේ වෙළෙඳ නාමවලට පැහැදිලිව සම්බන්ධ වන ඕනෑ ම දෙයක් හෝ අවම වශයෙන් කොරියානු බලපෑම පිළිබිඹු කරන ඕනෑ ම දෙයක් තුළින් මතු විය හැකි යි.”
කෙසේ වෙතත්, K-beauty යන්නෙහි අර්ථ දැක්වීම තවමත් සංකීර්ණ බව මෙම දෙදෙනා පිළිගනිති.
“මම හිතන්නේ ඒක හරි ම අපැහැදිලි සංකල්පයක්, මොක ද වෙළෙඳපොලේ ඔබට විදේශයන්හි ජීවත් වන කොරියානුවන් විසින් නිෂ්පාදනය කරන ලද වෙළෙඳ නාම රාශියක් සොයා ගන්න පුළුවන්,” අහොන්පා-කිම් පවසයි.
“එතනින් එහාට ගියා ම, Lancôme සහ Clinique වැනි වෙළෙඳ නාම කොරියාවේ සහ ජපානයේ ඔවුන්ගේ නිෂ්පාදන නිපදවනවා, නමුත් ඒ වෙළෙඳ නාම ජපන් සහ කොරියානු බවට පත් වෙන්නේ නැහැ.”
K-beauty සඳහා දැනට පිළිගත් නිර්වචනයක් නොමැත. ෂැම්පේන් හෝ පර්මිජියානෝ රෙජියානෝ චීස්වලට මෙන්, එය ආරක්ෂා කිරීම සඳහා නීතිමය බැඳීමක් නොමැත.
දකුණු කොරියානු රජය විසින් නිල වශයෙන් අනුමත කරන ලද එක ම K-beauty වෙළෙඳ සංවිධානය වන K-beauty කර්මාන්ත සංගමයට අනුව, එවැන්නක් හඳුන්වා දීමේ සැලසුමක් නොමැත.
“අපි දැනට වැඩි අවධානයක් යොමු කරන්නේ K-beauty ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහායි,” සංවිධානයේ සභාපති චෙං නම් චං පවසයි.
“ආසියාවේ මෙම රැල්ල හොඳින් ස්ථාපනය වී තිබුණත්, ඒක යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ දැන් තමයි පටන් ගන්නේ. ඒ වගේ ම ඔවුන්ට සම්බාධක පනවලා මේ වර්ධනය අඩාළ කරන්න අපට අවශ්‍ය නැහැ.”
කෙසේ වෙතත්, සංගමයේ සාමාජිකයින් සඳහා නීති තිබේ. ඒවා දකුණු කොරියාවේ ලියාපදිංචි සමාගම් විය යුතු අතර, ඔවුන්ගේ නිෂ්පාදන කොරියානු ආහාර සහ ඖෂධ පරිපාලනය (Korea Food & Drug Administration) විසින් නිල වශයෙන් පරීක්ෂා කර අනුමත කරනු ලැබිය යුතු ය.
“කොරියාවේ දේශගුණයට සහ පරිසරයට ගැලපෙන ආකාරයෙන් නිෂ්පාදනයක් නිර්මාණය කරලා තියෙනවා නම් සහ කොරියානු වෙළඳපොළේ ශක්‍ය නිෂ්පාදනයක් ලෙස පිළිගනු ගන්නවා නම්, අපි ඒක K-beauty නිෂ්පාදනයක් විදිහට පිළිගන්නවා,” චං පවසයි.
හ්වාරංපුම් මෙම නිර්වචනය සමග එකඟ වන අතර, ඔවුන් KFDA වෙතින් අනුමැතිය ලබා ඇත. තව ද සියෝල් සියුටිකල්ට්ස් සමාගම තම නිෂ්පාදන කොරියානු පාරිභෝගිකයින් වෙත ගෙන ඒම සඳහා KFDA අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
2024දී දකුණු කොරියාවේ K-beauty අපනයනය 2023ට වඩා 20%කින් ඉහළ යාමත් සමග, සමාගම් දේශීයව එම නිෂ්පාදන නිපදවූවත් නැතත්, මෙම අංශයෙන් විශාල මුදලක් උපයා ගැනීමේ ඉඩ ලැබී තිබේ.
සත්‍ය වශයෙන් ම, දකුණු කොරියාව දැන් ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට පසු විශාලතම රූපලාවණය නිෂ්පාදන අපනයනය කරන රට යි.
කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය ව්‍යාජ නිෂ්පාදන නිපදවන්නන් බිහි කර ඇත.
මාර්ක් ලී යනු, සමාගම්වලට ව්‍යාජ නිෂ්පාදන හඳුනාගෙන ඒවා අලෙවියෙන් ඉවත් කිරීමට උපකාර කරන ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් ව්‍යාපාරයක් වන MarqVisionහි ප්‍රධාන විධායක නිලධාරියා වේ.
“මට නම හෙළි කරන්න බැහැ, අපි. මෑතකදි ප්‍රමුඛ පෙළේ කොරියානු රූපලාවණ්‍ය සන්නාමයක් සඳහා, ප්‍රධාන එක්සත් ජනපද වෙළෙඳපොළවල් හරහා පරීක්ෂණ කිරීමේ අරමුණින් මිල දී ගැනීම් 29ක් සිදු කළා,” ඔහු පවසයි.
2024දී සමස්තයක් ලෙස ගත් කල, මාර්ක්විෂන් (MarqVision) විසින් ඇමෙරිකානු වෙළෙඳපොළෙ පමණක් ඩොලර් මිලියන 280ක් වටිනා ව්‍යාජ K-beauty නිෂ්පාදන හඳුනා ගන්නා ලදී.
එවැනි ව්‍යාජ නිෂ්පාදන ඉහළ සංඛ්‍යාවක් තිබීම K-beauty රසිකාවියක වන ග්‍රේසි ටූලියෝ බෙහෙවින් කලකිරීමට පත් කළේ ය. “ඔන්ලයින් වේදිකාවලින් K-beauty නිෂ්පාදන මිල දී ගන්න එක ඇත්තට ම භයානක අත්දැකීමක් වුණා.”

මෙය 2019දී ලන්ඩනයේ පදිංචි ටූලියෝට PureSeoul හඳුන්වා දීමට හේතු විය. එය කොරියානු නිෂ්පාදකයින්ගෙන් ඍජුව ම ලබා ගත් අව්‍යාජ නිෂ්පාදන අලෙවි කරන K-beauty සිල්ලර ව්‍යාපාරයකි.
සැකසහිත ව්‍යාජ නිෂ්පාදන රැගෙන තම වෙළෙඳසලට පැමිණෙන ගනුදෙනුකරුවන් ඒවා සැබෑ ඒවා දැයි පරීක්ෂා කිරීමට ඇයගෙන් උපකාර ලබා ගන්නා බව ඇය පවසයි.
“Even our customers can be sometimes tempted by the lower price [of online fakes]. It’s so tempting for them just to give it a go and see, and nine times out of 10, it’s not real,” she says.
“අපේ ගනුදෙනුකරුවන් පවා සමහර විට [ඉන්ටර්නෙට් එකේ තියෙන ව්‍යාජ] අඩු මිලට අහුවෙන්න පුළුවන්. ඒක ඒ අයව ඒ දේ කරලා බලන්න ම හිතෙන තරම් පෙළඹවීමක්. ඒ වගේ ම 10න් 9ක් ගත්තොත් ඒවා සැබෑ ඒවා නෙවෙයි,” ඇය පවසයි.
බීබීසී සිංහල
