සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

Date:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC සමාගම TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම සඳහා SINGER හි ඇති කැපවීම පෙන්නුම් කරයි.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් SINGER (Sri Lanka) PLC හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. “අනාගත ගමනාගමනය ප්‍රයෝජනවත්, පරිසරය හිතකාමී සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි විය යුතු බව SINGER අපි විශ්වාස කරනවා. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළඳ නාමයක් වන TAILG සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර හා නව්‍ය ගමනාගමන විකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක්.”

TAILG හි ආසියානු අලෙවි අධ්‍යක්ෂ ලින් පෙන්ග් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, “අපි වගේම SINGER Sri Lanka සමාගම ද පිරිසිදු හා පරිසර හිතකාමී ලෝකයකට සහාය වීමට කැමති බැවින් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව තුළ SINGER සතු ශක්තිමත් පැවැත්ම සහ ඉලෙක්ට්‍රික් ගමනාගමන විසඳුම් පිළිබඳ TAILG සතු ගෝලීය අත්දැකීම් එකට මුසු කළ මෙම හවුල්කාරිත්වය හුදෙක් ව්‍යාපාරික අරමුණු සඳහා පමණක් නොව, එය ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් හරිත අනාගතයක් ගොඩනැගීම උදෙසා වූ පොදු කැපවීමකි.” යනුවෙනි.

2004 වසරේ දී ආරම්භ කරන ලද TAILG, අද වන විට රටවල් 90කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරන ගෝලීය නිෂ්පාදකයෙකු ලෙස වර්ධනය වී ඇත. සමාගමේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඒවායේ ධාවන පරාසය, ශක්තිමත් ක්‍රියාකාරිත්වය සහ උසස් තත්ත්වයේ නිර්මාණ ප්‍රමිතීන් නිසා ලොවපුරා පිළිගැනීමට ලක්ව ඇත. SINGER හි දීපව්‍යාප්ත අලෙවි හා සේවා ජාලය සහ TAILG හි උසස් තාක්‍ෂණය එකට ඒකාබද්ධ කරන මෙම හවුල්කාරිත්වය මගින්, ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි මිලදී ගැනීමේ හැකියාව මෙන්ම ශ්‍රී ලංකාව තුළ අලෙවියෙන් පසු සේවාවන් ද නිසි ලෙස ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව TAILG මාදිලි පෙළට F71, F55 සහ F72 ඇතුළත් වන අතර ඒවා මෙරට පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා වලට සරිලන ලෙස ලෙස නිර්මාණය කර ඇත. 1500W මෝටරයක් ​​සහ 72V 38Ah බැටරියකින් සමන්විත TAILG F71 යතුරුපැදිය පැයට කිලෝමීටර 55ක උපරිම වේගයකින් කිලෝමීටර 100ක් දක්වා ගමන් කළ හැකිය. 2000W මෝටරයක් ​​සහ ඒ හා සමාන 72V 38Ah ධාරිතාවයකින් යුත් බැටරියකින් සමන්විත F55 යතුරුපැදිය, පැයට කිලෝමීටර 65ක උපරිම වේගයකින් කිලෝමීටර 100ක් ගමන් කළ හැකි ලෙස නිපදවා ඇත. තවද 96V 52Ah බැටරියක් සහ 3000W මෝටරයකින් සමන්විත ප්‍රමුඛ පෙළේ F72 යතුරුපැදිය පැයට කිලෝමීටර 60ක උපරිම වේගයකින් කිලෝමීටර 200ක් දක්වා ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තයි. මෙම සියලුම යතුරුපැදි මාදිලි අඟල් 12 ටයර්, ඉදිරිපස සහ පසුපස තැටි තිරිංග සහ උසස් බැටරි කළමනාකරණ පද්ධති වලින් සමන්විත වන අතර රතු, අළු, කොළ සහ සුදු වර්ණවලින් ලබා ගත හැකිය.

TAILG සිය ගෝලීය තේමාව වන “Long Range Electric Vehicles” ට අනුකූලව, බලශක්ති කාර්යක්ෂමතාව උපරිම කිරීම සහ නඩත්තු අවශ්‍යතා අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ඉලෙක්ට්‍රික් යතුරුපැදි, ඉන්ධන මගින් බල ගැන්වෙන වාහනවලට සාපේක්ෂව පරිසරයට නිකුත් කරන අහිතකර වායූන් ප්‍රමාණය ශුන්‍ය වන අතර ධාවනයේදී බෙහෙවින් අඩු පිරිවැයක් දරයි. එබැවින් මේවා නගරාශිත ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින්ට, බෙදාහැරීමේ යතුරුපැදිකරුවන්ට සහ දිනපතා යතුරුපැදි භාවිතා කරන ඕනෑම කෙනෙකුට වඩාත් සුදුසු වේ.

මෙම අවස්ථාව සැමරීම උදෙසා, SINGER විසින් ආකර්ෂණීය මූල්‍යමය පහසුකම්, නොමිලේ සේවා වාර දෙකක් සහ තවත් බොහෝ දේ ඇතුළත් විශේෂ හඳුන්වා දීමේ පැකේජයක් පිරිනමන අතර එමඟින් ශ්‍රී ලාංකිකයින්ට TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට මිලදී ගැනීමට අවස්ථාව උදාවේ.

SINGER සතු පාරිභෝගික ජාලය සහ අලෙවියෙන් පසු සේවා හැකියාවත් TAILG සමඟ එක්ව කටයුතු කිරීමත් නිසා, ඉලෙක්ට්‍රික් යතුරුපැදි භාවිතා කරන්නන්ට අවශ්‍ය දිගුකාලීන මෙහෙයුම් සහය, සේවා පහසුකම් මෙන්ම විශ්වාසදායක නිෂ්පාදන ලැබෙන බව සහතික කෙරේ. මෙම හඳුන්වාදීමත් සමඟ, SINGER (Sri Lanka) PLC සිය නවෝත්පාදන සහ පාරිභෝගිකයින් මූලික කරගත් ප්‍රවේශය අඛණ්ඩව පවත්වාගෙන යමින් නිවෙස්වල සිට මාර්ග දක්වා ඔවුන්ගේ විශ්වාසනීය සේවාව පුළුල් කරයි.

TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිවයින පුරා පිහිටි SINGER ප්‍රදර්ශනාගාරවලින් සහ වෙළඳ නියෝජිතයින් වෙතින් දැන් මිලදී ගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා හෝ සම්පූර්ණ නිෂ්පාදන මාදිලි පිළිබඳ විස්තර සඳහා පාරිභෝගිකයින්ට www.singer.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා–තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ ඉදිරි බලාපොරොත්තු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා...

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...