එකම දේ නැවත නැවත කියන එකේ ලොකු තේරුමක් නැතත් සමහර තත්ත්වයන් යටතේ වෙනස් ආකාර වලින් එකම දේ නැවත නැවත කියන්න වෙනවා. ලංකාව කියා කියන්නේ ලෝකයේ රටවල් අතරින් රටේ ජාතික ආදායමට සාපේක්ෂව අඩුම බදු ප්‍රමාණයක් එකතු කර ගන්නා රටක්. රජයේ බදු ආදායම් කියා කියන්නේ ඇස්තමේන්තු කළ යුතු දෙයක් නෙමෙයි. හරියටම සතේටම ගිණුම් වල තියෙන දෙයක්. අයවැයෙන් ඉදිරිපත් කරන්නේනම් ඇස්තමේන්තු. ඒ ගණන් බොහෝ විට නිවැරදි නැහැ. හැබැයි අවුරුද්දක් ඉවර වෙද්දී ලැබුණු ආදායම හරියටම බලාගන්න පුළුවන්.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා.
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා රේගුව
- සුරාබදු දෙපාර්තමේන්තුව
පහත තියෙන්නේ මේ ආයතන තුන විසින්ම 2021 වසරේදී එකතු කරගත් බදු ප්‍රමාණය. (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව).
ආදායම් බදු – රුපියල් මිලියන 302,115
වැට් බදු – රුපියල් මිලියන 308,213
නිෂ්පාදන/සුරා බදු – රුපියල් මිලියන 306,801
ආනයන මත බදු – රුපියල් මිලියන 64,339
අනෙකුත් බදු – රුපියල් මිලියන 316,490
එකතුව – රුපියල් මිලියන 1,298,019
මෙම ප්‍රමාණය රටේ ජාතික ආදායමෙන් 7.7%ක් පමණයි.
ඉහත රජයේ බදු ආදායම් වලින් වැඩිම කොටස, එනම් 43.43%ක්ම එකතු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එම බදු ආදායම අන්තිම රුපියලට ගණන් බැලු විට රුපියල් 632,830,585,186ක්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ගන්නා ප්‍රධානම බදු වර්ග දෙක ආදායම් බද්ද හා වැට් බද්දයි. ආදායම් බදු වලින් වැඩි කොටසක් අය කරන්නේ සමාගම් වලින්. පුද්ගල ආදායම් බදු ප්‍රමාණය මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 16%ක් පමණයි. ස්කැන්ඩිනේවියන් රටවල වෙන්නේ එහි අනෙක් පැත්තයි.
පුද්ගල ආදායම් බදු – රුපියල් 48,713,743,993යි
සමාගම් බදු – රුපියල් 251,830,847,280යි
එකතුව – රුපියල් 300,544,591,27යි
වැට් බදු ආදායමත් ආසන්නව ආදායම් බදු ආදායමට කිට්ටුයි. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු ප්‍රමාණය වගේම වැට් බදු ආදායමද 1.8%ක් පමණයි. පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ඉතා විශාල ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියන් රටවල වැට් බදු ආදායමද එම රටවල ජාතික ආදායමෙන් 11% සිට 15% පමණ දක්වා කොටසක්. ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ සුළු පිරිසක් වන පරිදිම, වැට් බදු ගෙවන ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණයද ඉතා සීමිත වීමත්, බොහෝ භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස්ව තිබීමත් මෙයට ප්‍රධාන හේතුවයි. වැට් බදු ගෙවන ආයතන ප්‍රමාණය 9,316ක් පමණයි (මූලාශ්‍රය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාව)
රටේ නිපදවූ භාණ්ඩ මත අය කර ඇති වැට් බදු ප්‍රමාණය මුළු වැට් බදු ආදායමෙන් 12.86%ක් පමණයි. ආදායමෙන් 47.31%ක්ම ඇවිත් තිබෙන්නේ සේවා අංශ වලින්. ඉතිරි 39.83% ආනයනික භාණ්ඩ වලින්.
නිෂ්පාදන මත අය කළ වැට් බදු – රුපියල් 39,635,391,764යි
සේවා මත අය කළ වැට් බදු – රුපියල් 145,826,777,746යි
ආනයන මත අය කළ වැට් බදු – රුපියල් 122,750,875,084යි
එකතුව – රුපියල් 308,213,044,594යි
පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 632.8ක්. එයින්, රුපියල් බිලියන 610.3ක්ම, එනම් 96.4%ක්ම, ආදායම් බදු හා වැට් බදු. තවත් විවිධ බදු වර්ග 15ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇතත්, ඒ සියල්ලෙන්ම ලබාගෙන ඇති ආදායම රුපියල් බිලියන 22.5ක් පමණයි. (විස්තර පහත වගුවක තිබෙනවා)
වාහන ආනයන බදු තිබෙන්නේ ඉහත උඩින්ම තිබෙන මහ බැංකු දත්ත අතර ඇති, රුපියල් බිලියන 306.8ක් වන, “නිෂ්පාදන/සුරා බදු” කාණ්ඩය ඇතුළේ. එම කාණ්ඩයද, එකතුව සැලකූ විට, ආදායම් බදු හා වැට් බදු මෙන්ම ජාතික ආදායමෙන් 1.8%ක් පමණයි. එයින් වාහන ආනයන බදු ප්‍රමාණය රුපියල් බිලියන 18.1ක් පමණයි. 2019දී මෙම ආදායම රුපියල් බිලියන 130.4ක් වුවත්, ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ වාහන ආනයනය තහනම් කිරීම නිසා එමගින් රජයට ලැබුණු ආදායම්ද විශාල ලෙස අහිමි වී තිබෙනවා. ඉතිරි කොටසින් රුපියල් බිලියන 88.5ක් සිගරැට් හා දුම්කොළ මත අය කළ බදු. රුපියල් බිලියන 138.6ක් මත්පැන් මත අය කළ බදු.
රජයට ආදායම් ලැබෙන්නේ බදු වලින් පමණද?
නැහැ. රජයට වෙනත් ආදායම්ද ලැබෙනවා. නමුත් මෙම ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ජාතික ආදායමෙන් 0.9%ක් පමණයි.
බදු ආදායම – රුපියල් මිලියන 1,298,019යි
වෙනත් ආදායම් – රුපියල් මිලියන 159,052යි
එකතුව – රුපියල් මිලියන 1,457,051යි
බදු ආදායම් විශාල ලෙස වැඩි කර ගන්නේ නැතිව, වියදම් කැපීමෙන් පමණක් අයවැය තුලනය කරගන්න පුළුවන්ද? එසේ කළ හැක්කේ මවාගත් බුබුළු ඇතුළේ ජීවත් වන අයට පමණයි. පුළුවන් විදිහක් තියෙනවානම් අපටත් කියන්න.
රජයට ලැබුණු ඉහත ආදායම වැය කළේ කොහොමද?
ආදායමෙන් ලොකුම කොටස යන්නේ නිදහස ලබා ගත් කාලයේ සිටම ආදායම ඉක්මවා වියදම් කරමින් රජය විසින් ලබාගත් දේශීය හා විදේශීය ණය කන්දරාව වෙනුවෙන් පොලී ගෙවන්නයි. මතක තියාගන්න මේ කතා කරන්නේ ණය ආපසු ගෙවන එක ගැන නෙමෙයි. ණය එලෙසම තියෙද්දී පොලී පමණක් ගෙවන එක ගැන.
දේශීය ණය වල පොලිය – රුපියල් මිලියන 794,633යි
විදේශීය ණය වල පොලිය – රුපියල් මිලියන 253,750යි
එකතුව – රුපියල් මිලියන 1,048,382යි
ණය පොලී කියන්නේ කිසිසේත්ම කපන්න පුළුවන් වියදමක් නෙමෙයි. මේ වියදම අඩු කර ගත හැකි එකම ක්‍රමය පොලී ගෙවීම පැහැර හරින එක පමණයි. විදේශ ණය හා අදාළව දැනටමත් ඒ වැඩේ කරලයි තියෙන්නේ. දේශීය ණය වල පොලියත් නොගෙවා ඉන්න පුළුවන්ද?
දේශීය ණය වල පොලිය නොගෙවා ඉන්නවා කියන්නේ රටේ බැංකු ටික කඩා වැටෙනවා කියන එක. රටේ බැංකු වල සල්ලි වලින් විශාල කොටසක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් පොලී නිසි පරිදි නොලැබුණොත් බැංකු වල තියෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැ. බැංකුත් ඉවරයි. ව්‍යපාරික ආයතන සියල්ලමත් ඉවරයි. මිනිස්සුත් ඉවරයි. රටත් ඉවරයි.
මතක තියා ගන්න ඔය පොලී වියදම් ගියේ 2021දී. ඒ වෙද්දී පොලී අනුපාතික දැන් වගේ වැඩි වෙලා තිබුණේ නැහැ. ගොඩක් පහළ මට්ටමකයි තිබුණේ. ඔය වියදම ගියේ එහෙම තියෙද්දී.
හරි. දැන් ආදායම රුපියල් මිලියන 1,457,051යි. පොලී වියදම පමණක් රුපියල් මිලියන 1,048,382යි. එතකොට තව ඉතුරු කීයද?
තව ඉතුරු රුපියල් මිලියන 408,669ක් පමණයි. හැම වියදමක්ම කරන්න වෙන්නේ ඔය සල්ලි ටිකෙන්. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පමණක් රුපියල් මිලියන 1,115,507ක්. ඒ කියන්නේ ඔය ඉතිරි වන මුදල මෙන් තුන් ගුණයකට කිට්ටුයි. විශ්‍රාම වැටුප් කොටස රුපියල් මිලියන 269,827ක්. ඒ කොටස ගෙවුවොත් දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් පමණයි. නමුත් වැටුප් වියදම ඒ වගේ හය ගුණයක්. ඒ කියන්නේ බදු ආදායම් වැඩි කර නොගෙන, විශ්‍රාම වැටුප් ටික බේරලා, රාජ්‍ය සේවක වැටුප් විතරක් පියවන්න වුනත් දැන් ඉන්න සෑම රාජ්‍ය සේවකයින් හය දෙනෙක්ගෙන් පස් දෙනෙකුවම වන්දියක්වත් නොගෙවා ගෙදර යවන්න වෙනවා.
ඕකම තවත් විදිහකට විස්තර කරන්නත් පුළුවන්. පොලී ගෙවුවට පස්සේ ආදායමෙන් ඉතිරි වූ කොටස රුපියල් මිලියන 408,669යිනේ. රටේ ගොඩක් දෙනෙකුට අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන වියදම් නොකැපිය යුතුයි. දෙන දේවල් ටිකත් මදි කියන එකනේ බොහෝ දෙනෙකුගේ අදහස. ආරක්ෂක වියදම් වගේ දේවල් පැත්තකින් තියමුකෝ. ඒ වියදම් අඩු කළ යුතුයි කියා යම් ජනමතයක් තියෙනවනේ. පහත තියෙන්නේ පසුගිය වසරේදී අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කළ මුදල.
අධ්‍යාපනය – රුපියල් මිලියන 310,613යි
සෞඛ්‍යය – රුපියල් මිලියන 387,121යි
එකතුව – රුපියල් මිලියන 697,735යි
පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ටික ගෙවුවට පස්සේ ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් බව කලින් කිවුවනේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ගිය වියදම විතරක් ගත්තත් ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ, පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ගෙවලා ආදායම පිරිමහගන්නනම්, අනෙක් සියලුම වියදම් 100%ක්ම කපලා, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා යන වියදම් වලිනුත් 80%ක්ම කපන්න වෙනවා.
ඔය තරම්ම පැහැදිලි කළාට පස්සෙත්, තියෙන ප්‍රශ්නය බදු වැඩි නොකර, වියදම් කැපීමෙන් පමණක් විසඳන්න පුළුවන් එකක් කියා කවුරු හරි හිතනවනම් ඒ ගැන අනුකම්පා කරනවා මිස වෙන කරන්න දෙයක් නැහැ.
ඔය කියපු ගණන් ඇත්තම ගණන්. මේ අවුරුද්ද තවම අවසන් නැති නිසා මේ අවුරුද්දේ ඇත්ත ආදායම් හා වියදම් ගැන කතා කරන්න බැරි බව ඉතාම පැහැදිලියිනේ. ඒ නිසා මේ අවුරුද්ද ගැන කතා කරන්න වෙන්නේ අයවැය ඇස්තමේන්තු මත පදනම්වයි.
එය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු …
~ ඉකොනොමැට්ටා
RN