නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW:
ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන් වී ඇති මුදල අගය කළ යුතු ය.එහෙත් එයින් ක්‍රීඩාවට අගයක් ලැබෙන්නේ එම මුදලින් ප්‍රතිලාභ ක්‍රීඩාවට ලැබෙන හැටියට ය.මේවන විටත් ජාතිවාදී දේශපාලනයෙන් යැපෙන පිරිස් උතුරු නැගෙනහිරට ලැබෙන මුදල සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් සිටියි.
ඒ විරෝධය නැගෙන්නේ ක්‍රීඩාවට ආදරය නිසා නොවන බව පැහැදිලිය.එහි ඇත්තේ තමන් විසින් වපුරන ලද විෂ දේශපාලනය වළඳන මිනිසුන්ගේ ඔලුව කුරුවල්කර බලය ලබාගැනීමට පොතක් පාදා ගැනීමේ උවමනාවය.
එහෙත් ඇත්ත කාරණය උතුරු නැගෙනහිර පළාත්වලට ක්‍රීඩාව සඳහා වෙන් කර ඇති මුදල් වැඩිපුර ම යොදන්නට නියමිත ව ඇත්තේ කලින් ආණ්ඩු නිසි ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකිරීම්වල පිළිසකර කිරීම් සඳහාය.
එහෙත් අපේ මතයට අනුව වැදගත් ම දේ වන්නේ උතුරු නැගෙනහිර එක් ක්‍රීඩා පිටියක් හෝ මීටර් හාරසීය කෘතිම ධාවන පදයක් සහිතව ඉදිකිරීමය.කෘතිම ධාවන පතයන්ගේ අඩුව මලල ක්‍රීඩාවට පමණක් බලපාන දෙයක් නොවේ ය. මීටර් 400කින් ධාවන පථයක් ඇති ක්‍රීඩා පිටියක තවත් ක්‍රීඩා වන්ට අවස්ථාවක් තිබීම සාමාන්‍ය තත්ත්වයකි.
කාලයක පටන් බොහෝ දෙනකු කතා කරන්නේ මේ මොහොතේ මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වන වැඩි පිරිසක් සිටින මධ්‍යම පළාතේ නුවරඑළියේ කෘතිම ධාවන පතයක් එළීමේ වැදගත්කම ගැනය.එය දුෂ්කර නම් මේ මොහොතේ වැඩි ප්‍රතිඵල පෙන්වන දිගන පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ධාවන පථය තෝරාගැනීම වැදගත් ය.
තවද ජාතික මහා ක්‍රීඩා උළෙල මෙන්ම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලද,කාලයෙන් කෙටි වන සහ විශිෂ්ටත්වයෙන් උසස් වන තැනකට ගෙන යා හැක. ඌව දකුණ සහ සබරගමුව එක කලාපයකට ද,මධ්‍යම වයඹ සහ බස්නාහිර තවත් කලාපයකට ද,ඉතිරි කලාපයට උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත ද ඇතුළත් කරන්නේ නම් හොඳ කලාප ක්‍රීඩා උළෙලකින් පසුව එම කලාපය නියෝජනය කරන දක්ෂයන්ගේ එකතුවකින් ජාතික ක්‍රීඩා උළෙලේ විශිෂ්ටත්වය උසස් කළ හැකිය. එම කලාප ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ගේ අනුග්‍රහය ලබා ගැනීමේ හැකියාව ද එහි දී සලකා බැලිය යුතු ය.
එසේම ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් ක්‍රීඩා සංස්කෘතියක් වෙනුවෙන් වැය කරන බව පෙන්වා ඇත.එය කෙසේ ද යන්න පැහැදිලි කර නැත. කලාව සාහිත්‍යය එසේම ව්‍යාපාර ආදිය ද ක්‍රීඩාව හා සම්බන්ධය.
ජාතික චිත්‍රපට ද සංස්ථාව සමග එකමුතුව අඩුම තරමේ ක්‍රීඩාව හා සබඳතා ඇති ක්‍රීඩකයන් නිලධාරීන් සහ පුහුණුකරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා සිනමා නිර්මාණ විඳින්නට අවස්ථාවක් සලසා දිය යුතු ය.ක්‍රීඩා සාහිත්‍ය සම්බන්ධ නිර්මාණාත්මක ප්‍රබන්ධ මෙන්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණ වූ සාහිත්‍ය කෘති ද පරිශීලනයට සමාජය සහ ක්‍රීඩාවට සෘජු ව සම්බන්ධ අය ද පාඨකයන් හැටියට සමෝධානය වන වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේය.
එසේම ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි,ගෙන්වීම සහ බෙදා හැරීම කෙරෙහි මෙන්ම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනය කෙරෙහි යොමුව ඇති පිරිස් දිරිගැන්වීමටත්,එවැනි ව්‍යාපාරික ප්‍රජාවක් විධිමත් ව පුළුල් ලෙස වර්ධනය කළ හැකි ක්‍රියාමාර්ගත් අවධානයට ගත යුතු ය.
විශේෂයෙන් ක්‍රීඩාවට ජාත්‍යන්තර වටිනාකමක් ලබා දෙමින් රටේ පුරවැසියන් එක මිටකට ගෙන ඒම සඳහා රටේ දේශපාලන නායකත්වය කෙතරම් නිර්මාණශීලී විය යුතු ද යන්නත් කෙතරම් නිර්මාණශීලී විය යුතු ද යන්නත්, ඉවසීමකින් වැඩ කළ යුතු ද යන්නත් දකුණු අප්‍රිකාවට රගර් ලෝක කුසලාන තරගාවලියේ සංවිධානය ගෙන ඒමටත්,එය ජයග්‍රහණය කිරීමටත් නෙල්සන් මැන්ඩෙලා ක්‍රියාත්මක වූ හැටි උදාහරණයට ගත හැකිය. Invictus සිනමා පටය ගැන පහසුවෙන් ඉගෙන ගැනීමට මාර්ගයකි.
තමන් දක්වන අදහස් වලින් ඇලපිල්ලක හෝ පාපිල්ලක හෝ වෙනසක් දැක්වීම ද්රෝහිකමක් යැයි සිතන දේශපාලකයන් සිටින සංස්කෘතියකින් නම් එවැනි දේ බලාපොරොත්තු වීම අපහසුය.
එසේම දැනට පවතින දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ වට කර තිබෙන හිස් තාප්පවලට ඇති වානිජමය වටිනාකම් ප්‍රයෝජනයට ගන්නේ නම් එම මුදල් එහි නඩත්තුව නිසි පරිදි පවත්වා ගෙන යාමට හේතුවක් වනු ඇත.
මේ සියල්ල වසර ගණනක සිට කියන දේ ය. එහෙත් පාලකයන්ට වත්,වෙනස් වෙන පාලනය අනුව වෙනස් වී එකම උපදේශය දෙන උපදේශකයන්ට වත් මේ කිසිවක් අදාළ නොවනු ඇත. ඒ නිසා විවිධ නම් සමග එකම වැඩ පිළිවෙළවල් එනු සහ යනු ඇත. එයින් ව්‍යාපාරිකයන්ට ලැබෙන ලාභය වැඩි වෙනු ඇත. එසේ නොවන්නට මේ මහා ධනයෙන් මහා වැඩක් කරන්නට ආණ්ඩුවට මොළේ පෑදෙනවානම් අය වැය හරහා ක්‍රීඩාවට වෙන් කළ මුදලේ සැබෑ වටිනාකම රටට ලැබෙනු ඇත.
