වාවන්නෑ ට්‍රම්පච්චී! රිපබ්ලිකන් නායකගේ 2024 ජනපති සිහිනය කුඩුපට්ටම් වෙයි!

Date:

ඊයේ (08) දින එක්සත් ජනපදයේ පැවති මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකානුවන්ගේ යළි අවදි වීමක් පෙන්නුම් කෙරෙනු ඇති බවට බොහෝ විශ්ලේෂක මත පළවී තිබුණද, සියල්ල උඩුයටිකුරු කරමින් මැතිවරණ ප්‍රතිඵල මිශ්‍ර සහගත ලෙස ප්‍රකාශයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

මෙම මොහොත තමා 2024 වර්ෂයේදී යළි බලයට එන බවට දහ අතේ දිව්රමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ට විජයග්‍රාහී මොහොතක් වනු ඇති බවට ඔහු බලා සිටියද, මැතිවරණ ප්‍රතිඵල හමුවේ ඒ සියල්ල වෙනස්ව තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

තම පක්ෂයට දැවැන්ත ජයක් හිමිවන බවට සපථ කරමින් මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල නැරඹීම සඳහා ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා දින රාත්‍රියේ ෆ්ලොරිඩාවේ මාර්-අ-ලාගෝ හි පිහිටි තම නිවසේ සාදයක් පවත්වා තිබුණා. එහිදී මැතිවරණ ප්‍රතිඵලවල රිපබ්ලිකානු රතු පින්තාරුවේ ආක්‍රමණයක් සනිටුහන් නොවන බවට පසක් වීම නිසා සමස්ත සාදයම අවුල්ජාලයක් බවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානු මැතිවරණ ප්‍රතිඵලවල කරට කර තත්ත්වයක් මතුව ඇති අතර, ට්‍රම්ප් බලාපොරොත්තු වූ අන්දමේ ජයක් රිපබ්ලිකානුවන්ට හිමිව නැහැ.

තෙවන වරටත් ධවල මන්දිරය අත්පත්කර කරගෙන එක්සත් ජනපදයේ නායකයා වන බවට පෙන්වමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට සියල්ල සූදානම් කරගෙන හිටපු ට්‍රම්ප්ට, තමාගේ නායකත්වය යටතේ සෙනෙට් සභාවට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තරඟ වැදීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට කොංග්‍රසයේ ආසන අහිමි වීම බලවත් නොසතුටට හේතුවන්නට ඇත.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝන් ෆෙටර්මන් රිපබ්ලිකානු අපේක්ෂක මෙහ්මත් ඔස් පරාජය කර සෙනෙට් ආසනය දිනාගෙන ඇති අතර, එහි ආණ්ඩුකාරධුරයට තරඟවැදි ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝෂ් ෂපිරෝ, රිපබ්ලිකන් අපෙක්ෂක ඩග් මස්ට්‍රියානෝ පරදවමින් ජය ලබා තිබෙනවා.

ඇරිසෝනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් අපේක්ෂකයන් වූ කැරී ලේක් සහ බ්ලේක් මාස්ටර්ස් ද එම ප්‍රාන්තයෙන් ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් අපේක්ෂකයන් හමුවේ පරාජයට පත්ව තිබෙනවා. කෙසේවෙතත්, සාම්ප්‍රදායික අන්ත දක්ෂිණාංශික කුළුණක් වන ඔහයෝ ප්‍රාන්තයේ රිපබ්ලිකන් අපේක්ෂක ජේ.ඩී. වාන්ස් සෙනෙට් සභාවට තරඟ වැද ජයග්‍රණය කර තිබෙනවා.

අපේ ඈයන්ගේ මහින්ද සුළඟ මෙන් ඇමරිකාවේ රිපබ්ලිකානුවන් අතර ද ට්‍රම්ප් සුළඟක් තිබෙනවා. මේ රිපබ්ලිකානු රතු සුළඟ සමඟ නැඟිටින්න බොහෝ රිපබ්ලිකානුවන් බලා සිටියා. නමුත් මෙය නිසැකවම රිපබ්ලිකානුවන්ගේ පසුබැසීමක් බව රිපබ්ලිකානුවන්ම පිළිගන්නා තත්ත්වයකට පත්ව ඇති බව දැන් වාර්තා වනවා.

එය පසක් කරමින්, රිපබ්ලිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පාපොච්ඡාරණය කරන ස්වභාවයෙන් එන්බීසී පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ මෙය නිසැකවම රිපබ්ලිකානු රැල්ලක නැඟිටීමක් ලෙස පිළිගත නොහැකි බවයි.

ඇමරිකානු මධ්‍යවාර මැතිවරණය තුළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකානුවන් පෙරුම් පුරමින් බලා සිටි ට්‍රම්ප් සුළඟ හැමීමක් සිදු නොවූ නිසා ට්‍රම්ප්ට යළි පියවරක් පසුපසට ගැනීමට සිදුවන බව දැන් පැහැදිලියි, තම 2024 ජනපති සිහිනය බොඳවන බව පැහැදිලියි. මේ සියල්ල අතරේ රිපබ්ලිකානු අපේක්ෂකයන්ගේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකලාපය මත ඇතැම් පුද්ගලයන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.

ඡායාරූප: ඇසෝසියේටඩ් ප්‍රෙස් / බීබීසී

ප්‍රමෝද් චින්තක පීරිස්_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...