අශෝක ජයතුංග
වොෂින්ටන් DC (LNW): 2006 වසරේදී ඉන්දුනීසියානු භූ තලයේ ඇතිවූ තෙරපීම තුළ මුහුද අභ්‍යන්තරයේ හටගත් රික්ටර් මාපක 09 ක භූ කම්පනයක් නිසා, ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියානු කලාපයට ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් විශාල ජීවිත හා දේපොළ රැසක් විනාශ විය.
ඉන් ශ්‍රී ලංකාවේ ද 50,000 කට ආසන්න පිරිසක් හා විශාල දේපොළ ප්‍රමාණයක් අහිමි විය.
සුනාමියේ වැඩිම හානිය ශ්‍රී ලංකාවේ නැගෙනහිරට හා අනතුරුව දකුණු මුහුදු තීරයට එල්ල විය. සුනාමියෙන් පසු ලංකාවට ලෝක ආධාර විශාල ලෙස ලැබුණු අතර ඉන් සමහරක් හොර පාරේ ගසාකෑ බවට ද චෝදනා එල්ල වූහ.
සුනාමි එනවිට ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් මහතා සිටියේ ගාල්ල තල්පේ පැරගන් හෝටලයේය. එය ගාල්ල මහින්ද ආදිසිසු නන්දසිරි සමරරත්න ට අයත් විය.දැනට ඇමෙරිකාවේ පදිංචි ඔහු සමඟ කෝල් මහතා එදා සුනාමි විනාශය දැකගැනීමට ගාල්ල අවට සැරිසුරුවේය.
එහිදී විනාශවූ මහමෝදර රෝහල දැකීමෙන් කෝල් මහතා දැඩි කම්පනයට පත්වූවා පමණක් නොව තම පදනමේ මුදලින් ගාල්ලට රෝහලක් ඉඳිකර දීමට තීන්දු කළේය.
තට්ටු 07 කින් හා ඇඳන් 600 කින් යුතු දකුණු ආසියාවේ විශාලම මාතෘ රෝහල ඉදිකිරීමේ පසුබිම සැකසුනේ එසේය.
සුළු කලෙකට පසුව කරාපිටිය රෝහල අසල වාරිමාර්ගයට අයත්ව තිබූ අක්කර 04 ක එම රෝහල ඉදිකිරීම ඇරඹීණ. කෝල් පදනමෙන් ලැබුණු රු මිලි 900 ක මුදල රෝහලේ අත්තිවාරමටම වැයකල බව කියවුණේ ඒ යටින් විශාල දියපහරක් යන බවට ද කරුණු කියමිනි.
එහෙත් එම ප්‍රදේශය යටින් එවන් දිය පහරක් නැති බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. මෙම කටයුත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය තුළ සොනෙක් නම් ජාත්‍යන්තර සමාගම ඉදිකිරීම් බාරව කටයුතු කළේය.
එවකට ඇමති නිමල් සිරිපාල මහතා ය.
වසර 02 කදී ඉදිකිරීම් නැවතී ඉඩම වල් වැදුනේ සියලු මුදල් හමාර බව පවසමිනි.
එහෙත් රෝහලේ කටයුතු ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව ගැන වෛද්‍ය රමේශ් පතිරණ හා විජයපාල හෙට්ටිආරච්චි මහත්වරුන්ද උනන්දු වූහ.
තවද ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන මහින්ද ආදිශිෂ්‍ය නිශ්ශංක ඈපාලියන මහතා ද රෝහල ගැන උනන්දු වූයේ ඔහු ජර්මනිය සමග සබදතා තිබූ අයෙකු මෙන්ම කරාපිටියේ ඉදිවූ රටේ විශාලතම ලමා දැඩි සත්කාර ඒකකය ජර්මන් සහාය මත ඉදිකිරීමට මූලිකවූ අයෙකු ලෙසය.
ඈපාලියන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලියොන් බෙරෙන්ජර් සමග 2011 දී කෝල් රෝහල මඟ නතරවීම ගැන ලිපියක් පළකළේය.
එය දුටු මෙරට ජර්මන් තානාපති කාර්යාල ප්‍රධානීන් දෙදෙනෙකු ගාල්ලට පැමිණ ඈපාලියන හා වෛද්‍ය කපිලානි විතානාච්චි සමග එකතුව කරුණු අධ්‍යනය කලහ.
මුලදී එම ඉඩමට ඇතුල්වීමට පවා ඔවුන්ට ඉඩ දුන්නේ නැත.
තානාපති නිලධාරීන් මහාචාර්ය මලික් ගුණවර්ධන හා එවකට මහමෝදර රෝහල් අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර ද හමුවී විස්තර ලබා ගත්හ.
ජර්මන් තානාපති අංශ කල දැනුවත් කිරීම් මත ජර්මනිය රෝහලේ ඉතිරි කටයුතු සදහා යුරෝ මිලි 28 ක ණයක් ලබා දුන්නේය.
2018 දී එරට විපක්ෂයේ පිරිසක් ද පැමිණ රෝහලේ ඉදිකිරීමේ ප්‍රගතිය ගැන සොයා වාර්තාවක් ඉදිරිපත් කලහ. ඒ මත පදනම්ව එම ණය මුදල ආධාරයක් බවට පරිවර්ථනය විය.
ඉබි ගමනෙන් පැමිණියද මේ වනවිට රෝහලේ ඉදිකිරීම් නිමවී තිබේ.
බොහෝ උපකරණ ද ලැබී තිබේ.අවශ්‍ය පුහුණු සේවක පිරිස ද සිටිතැයි කරාපිටිය රෝහල් බලධාරීන් පවසති.
එහෙත් අවශ්‍ය ඇදන් සංඛ්‍යාව තවම ලැබී නැතත් ලබන ජනවාරියේ මෙය ජනතා අයිතියට පත්කල හැකි බවට විශ්වාසය පළවේ.
වෛද්‍ය රමේශ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමතිවීම තුළ වසර 17 ක් පුරා බඩගාමින් පැමිණි “ගාල්ල හෙල්මුට් කෝල් මාතෘ රෝහල” ළඟදීම ජනතාවට සුවසෙත සදනා යථාර්ථයක් වනු ඇති බව ගාල්ල පුමුඛ සමස්ත ජනතා ප්‍රාර්ථනයයි.