නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ආණ්ඩුවේ තීරණය අදූරදර්ශියි,අමනෝඥයි – URF

Date:

කොළඹ LNW: නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීමේ ප්‍රයත්නය වහාම අත්හිටුවන ලෙස එක්සත් ජනරජ පෙරමුණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නුවරඑලිය තැපැල් කාර්යාලය හා එහි පරිශ්‍රය වහාම ක්‍රියාත්මකවන පරිදි සංචාරක හෝටලයක් තැනීම සඳහා නියෝග කිරීම අදූරදර්ශි හා අමනෝඥ ක්‍රියාවක් බවයි එම පෙරමුණ පවසන්නේ.

උපුටා ගැනීම,
”සාකච්ඡාවට බඳුන්වී ඇති තැපැල් කාර්යාලය 1894 වර්ෂයේදී ටියුඩර්-එඩ්වර්ඩ් සම්ප්‍රදාය අනුව තනනු ලැබ, පුරාවිද්‍යා ආරක්ෂක පනත යටතේ 2007 වසරේදී ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද, සුවිශේෂී ගොඩනැගිල්ලකි. පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථාන පාලකයන්ගේ හෝ වෙනත් අයගේ හිතුමනාපයට, තම තමන්ට රිසි අරමුණු සඳහා අවභාවිතා කිරීම එක්සත් ජනරජ පෙරමුණ කිසිවිටකත් අනුමත නොකරයි. මෙම ස්ථානය පුද්ගලික අංශයට පවරා එය සංචාරක හෝටලයක් බවට පත්කොට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියැයි සිතීම සරළ,බොළඳ සිතුවිල්ලකි. ලොව නවීනතම සංචාරක හා පුරාවිද්‍යා සංකල්ප අනුව මෙවන් ස්ථාන සංවර්ධනය කළ යුත්තේ එය “ජීවමාන උරුමයක්’ (Living Heritage) ලෙස සංරක්ෂණය කිරීමෙනි. මෙහිදී මෙම පරිශ්‍රය පෞරාණික තැපැල් කාර්යාලයක් ලෙසම ආරක්ෂා කිරීම තුළින් එයට හා එම නගරයට ලැබෙන සංචාරක ආකර්ෂණය වැඩිවේ. මෙවන් නවීන සංකල්ප ගැන අබ ඇටයක පමණ දැනුමක් නැතිව, තමන්ගේ සිතිවිලි මත පමණක් පදනම්ව අවිද්‍යාත්මක තීරණ ගැනීම පාලකයන් විසින් නොකළ යුතුය.

එසේම මෙම සිද්ධිය පසුපස ශ්‍රී ලංකාවේ තැපැල් සේවය බිඳ දමා සෙමින් පුද්ගලීකරණය කිරීමේ අදහසක සේයාවක්ද පෙනෙයි. පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය වන්නේ ශ්‍රී ලංකාවේ තැපැල් සේවය පුද්ගලීකරණය නොකළයුතු බවයි. ලංකාවේ ගම් දනව් සිසාරා විහිදෙමින් ජනතාව වෙතට පණිවිඩ රැගෙන යන සේවයක් ලෙස ශ්‍රී ලංකාවේ තැපල් සේවාව ඉටුකරන මෙහෙවර විශිෂ්ඨය. එහි ආදායම වැඩි කිරීමට කළ යුත්තේ නවීන ලෝකයට ගැළපෙන පරිදි එහි කළමනාකරණ විධික්‍රම නවීකරණය කොට,යල්පැනගිය සේවාවන් වෙනුවට එය නව සේවා සපයන ආයතනයක් බවට පත්කිරීමයි. මෙහිදී අද සිඝ්‍රයෙන් වැඩෙමින් පවතින අන්තර්ජාල වෙළඳාමට එක්ව එහි භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා බවට ශ්‍රී ලංකා තැපැල් සේවය පත්කිරීම අපගේ රජයක මූලිකම කර්තව්‍යය වනු ඇත. මෙයට සියවසකටත් ප්‍රථම 1907 වසරේදී ගෙන එනු ලැබූ යල්පැනගිය තැපැල් ආඥා පනත වෙනුවට අදට ගැළපෙන තැපැල් පනතක් ගෙන ඒම එයට ඉවහල් වනු ඇත. මෙවන් ඉදිරිගාමී ක්‍රියාවක් තුළින් වැඩිදුරටත් තැපැල් සේවය රජයට බරක් වීම වළකිනු ඇත. අනවබෝධයකින් යුතුව,සියලු දේ පුද්ගලීකරණය කිරීමට කැස කවන්නන් නොදන්නා කරුණක් වන්නේ ධනවාදයේ මුදුන් මල්කඩ ලෙස ඔවුන් සලකන එක්සත් ජනපදයේ පවා තැපැල් සේවය විධායකය යටතේ පාලනයවන රාජ්‍ය සේවයක් බවය.”

උපුටාගැනීම අවසන්.

කුමන හෝ යටි අරමුණක් මත පදනම්ව මෙවැනි ආයතන සහ ගොඩනැගිලි, හුදෙක් විකුණා දැමීමට පමණක් කැසකැවීම තුළ පෙනෙන්නේ රජයට සහ එය කරවන දේශපාලකයන්ට, ආයතනයක් දියුණු කිරීමට ඇවැසි කිසිදු කුසලතාවයක්, නිපුනතාවයක් හෝ නිර්මාණාත්මක හැකියාවක් නොමැති බව යැයි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රකාශ කරයි.

අපේ රට දියුණු කිරීම නවීන අදහස් මත පදනම්ව,සංස්කෘතික උරුමයන් සුරකිමින් සිදු කළයුතුයැයි තරයේ විශ්වාස කරන එක්සත් ජනරජ පෙරමුණ, නුවරඑළියේ තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීම වහා අත්හිටුවන ලෙස රජයට බලකර සිටින බවද වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...