ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර ඝාතනයට ලක්ව අදට තිස්හත් වසරකි. සැමියාගේ ඝාතනයෙන් දින හයකට පසුව, එනම් 1989.11.19 වැනි දින යුද හමුදා මූලස්ථානයේදී ගත් මෙම සේයාරුව දකිමින්, වන්නකුවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මාතාව වෙත මෙසේ ලියමි.
වැඩිමල් සහෝදරයාගේ බලකිරීමට අවනතව වයස අවුරුදු විසිතුනේදීම දේශපාලනික සටන්කාමියෙකු සමඟ විවාහ වූ මොරටුව විල්ලෝරවත්තේ යුවතිය තවදුරටත් මේ ඡායාරූපය තුළ නොදකිමි. තැන් තැන්වලම ලැග, මී පුප් අතැර පණ මෙන් රැකි පස් දරු සම්පතද කුසෙහි තවත් දරුවකුද දරා සිටින ආදරණීය මවක් දකිමි. දුෂ්කර සහ වෙහෙසකර කෙටි හා දිගු නවාතැන් කිහිපයකින් ගෙවී ගිය ජීවිත පරිච්ඡේදයට උලපනේ සාන්ත මේරි වතුයායෙන් විරාමය තබන විපත්තියෙන් පලා යන්නියක දකිමි. ජීවිතයේ පළමු සිපිරි ගෙය කඩා බිඳ වැටුණු පසුව දෙවැනි සිපිරි ගෙය නම් කරනතුරු බලා සිටින විඩාපත් ගැහැනියක දකිමි. චිත්‍රාංගනී, ඔබට එකල “කුවේණි” වේදිකා නාට්‍යය නරඹන්නට ඉස්පාසුවක් තිබිණිද?
“ස්වාමිනී, මැය දෙස බලන්න;
සුන්ව ගිය ප්‍රේමයක ගිනි ඇත
සුන්ව ගිය ජීවයක ගිනි ඇත
අනාගතයක සුන් වූ ගිනි ඇත
අතීතයකින් උපන් ගිනි ඇත”
චිත්‍රාංගනී, 2015 නොවැම්බර් 13 වැනි දින Daily FT පුවත්පතේ පළ වූ, මාධ්‍යවේදිනී ශානිකා ශ්‍රියානන්ද සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී, ඔබව බලහත්කාරයෙන් විවාහ කරදුන් තම වැඩිමහල් සොහොයුරු චන්ද්‍රා ප්‍රනාන්දු යනු මේ මිහිමත වඩාත්ම ආත්මාර්ථකාමී පුද්ගලයා බව ඔබ බලවත් චිත්ත පීඩාවෙන් ප්‍රකාශ කළාය. උලපනේදී රෝහණ විජේවීර හසු වූවාට පසුව දේශපාලන සරණාගතයින් ලෙස කවර හෝ තානාපති කාර්යාලයකින් රැකවරණය නොඉල්ලා මෙලෙස රජයේ හමුදා වෙත භාර වීමට ගත් තීරණය පිළිබඳව තවමත් පසුතැවෙන බවද ප්‍රකාශ කළාය. මේ ඉතිහාසගත සේයාරුවට පසුදින ඔබව මුණගැසුණු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා, ‘සර්ප පැටවුන් මතු යම් දිනෙක සර්පයින් වන බැවින් විජේවීරගේ පවුලේ සාමාජිකයින්ද මරා දමන ලෙස’ තමාට ඇමතුම් දහස් ගණනක් ලැබෙන බව පැවසූ අයුරුද සිහිපත් කළාය. ජනාධිපතිවරයා එසේ පවසන විට ‘මරනවා’ යන වචනය තේරුම් ගත හැකි වයසක සිටි වැඩිමහල් දසුන් ඊෂා සහ සුපුන් චාගා දියණියන් බියවැදී ඔබ පසුපස සැඟවුණු බවද සිහි කළාය. මේ සියලු වධ වේදනා මැද ඔබ කුරුළු පැටවුන් සියල්ලට ආරක්ෂාව සලසන උණුසුම් පියාපතක් බවට පත් වූවාය.
චිත්‍රාංගනී, ඔබට දැන්වත් ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද විසින් “මනරම් හිරු දහසක්” නමින් සිංහලයට නැගූ කාලිඩ් හොසේනිගේ ‘A Thousand Splendid Suns’ නම් නවකතාව කියවන්නටත්, ඔබ තුළින් එහි එන මාරියම්ගේ පිළිරුව දකින්නටත් ඉස්පාසුවක් තිබේද?
“මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු කිහිපයකින්, මේ පුංචි දැරිය ජීවිතයේ සුළු අයිතීන් ඉල්ලන, අනික් අයට කිසිදාක බරක් නොවන, තමාටත් බලාපොරොත්තු කඩවීම්, සංතාපයන්, අනික් අයගේ සිනහවට ලක්වූ සිහින තිබූ බව කිසිදාක හෙළි නොකරන ගැහැනියක බවට පත්වනු ඇත. අවලාද නොකියා දුක විඳ දරාගන්නා, ගං පතුලක ඇති ගලක් බඳු ගැහැනියක්. ඈ නහවා ගලා යන ප්රචණ්ඩ ජලධාරාවෙන් ඇගේ සිරියාව තවත් හැඩ ගැසෙනවා මිස කැළැල් වන්නේ නැත.”
තමන්ගේම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස පවා අහිමි වූ ඔබ, සියලු චිත්ත පීඩාවන් මධ්‍යයේ දරුවන් සය දෙනකුගේ ජීවිත වෙනුවෙන් නොසැලී සිටියාය. වැඩිමල් සොහොයුරාගේ වුවමනාවට විවාහ වන යුවතිය, සැමියාගේ වුවමනාවට තැන් තැන්වල සැඟව ජීවත් වන බිරිඳක් බවට පත්ව අවසානයේ රජයේ වුවමනාවට හමුදා කඳවුරු භාරයේ දිවි ගෙවන මවක් බවට පත් වූවාය. චිත්‍රාංගනී, මාල වළලු නොතිත් ගැහැනු සිත අමතක කර දශක ගණනාවක ස්වයං දණ්ඩනයක් විඳ දරාගන්නා තරමට සිත දැඩි වූ ආකාරය ඔබ අපට කිව යුතුමය. මේ මිහිමත බිම් අඟලක් අහිමි, කඳවුරෙන් එළියට බැස යන්නට දිශාවක් අහිමි, දන්නා කාලයේ සිටම සොහොයුරා, සැමියා සහ රජය විසින් ජීවිතය උදුරාගත් ගැහැනියක, තමන් වෙත පැටවුණු සියලු පීඩාවන් මැද දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට තරම් චිත්ත සමාධියක් උදා කරගත් ආකාරය ඔබ අපට කිව යුතුමය. විප්ලවවාදියෙකුගේ වදන මැෂිමක් බවට පත්ව ජීවිත සාරය පත්ලටම සිඳී ගිය පසුවද කිරලියක බිජු රකින්නා සේ දරුවන් මතුයෙහිම ජීවත් වන්නට තරම් උදාර සිතක් මෙහෙයවූ ආකාරය ඔබ අපට කිව යුතුමය.
තිස්හත් වසරක් ගිය තැන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මාතාව වෙත හදවතින් නැගෙන ආදරය පුදමින් මෙසේ පවසමි.
විප්ලවය! විජේවීර එය ඉදිරියේ පරාජය වන විට ඔබ එය අර්ථවත් කළාය.
දශක ගණනාවකට පෙර පරාක්‍රම කොඩිතුවක්කු කවියා සමස්ත සමාජයටම කස පහරක් එල්ල කළේ කුඩාව ගම්මානයේ සිට ගව් හතරක් පයින් ඇවිද මහා විද්‍යාලයට එන කුසුමාවතීට ගවුම් දෙකක් පමණක් වෙන් කළ වරදට දඬුවමක් ලෙසිනි.
චිත්‍රාංගනී,
තිස්හත් වසරක් තිස්සේ චිත්‍රාංගනී විජේවීර නම් සය දරු මව නමින් එක මලක් හෝ නොපිපුණු වරදට සියලුම රතු මල් උදුරා දමන්නැයි නියම කරමි!
~ සහන් කසීර වික්‍රමසිංහ


