2026 නොවැම්බර් 10 වන දින පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC Sri Lanka) මාධ්‍ය කමිටුවේ හිටපු සභාපතිවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ, ඉඟි කිරීම් සහ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, ඉහත සඳහන් මාධ්‍ය හමුවේදී සිදු කරන ලද අසත්‍ය, පදනම් විරහිත, නොමඟ යවන සුළු සහ ද්වේෂසහගත චෝදනා, විශේෂයෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන නිලධාරීන් වංචාවක හෝ මූල්‍ය විෂමාචාරයක නිරත වී ඇති බවට හැඟවෙන පරිදි එල්ල කරන ලද චෝදනා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තරයේ සහ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කර සිටී.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තුළ විනිවිදභාවය සහ යහපාලනය යළි තහවුරු කිරීමට කැපවී අධිෂ්ඨානශීලීව කටයුතු කරන ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුගේ කීර්තිනාමයට සහ හොඳ හිතට හානි කිරීමේ යටි අරමුණකින් හෝ වෙනත් අරමුණකින් මෙම චෝදනා එල්ල කර ඇති බව ඉතා පැහැදිලිය.
සාධාරණ හේතු නොමැතිව මෙවැනි පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් ඔලිම්පික් ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන අදාළ ආයතනයේ (එනම් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ) විශ්වසනීයත්වයට බරපතල බලපෑම් අහිතකර ප්‍රතිවිපාක ඇති වන බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව කණගාටුව පළකරයි.
එබැවින්, සිය කටයුතු ස්ථාපිත පාලන, මූල්‍ය කළමනාකරණ සහ වගවීමේ රාමු තුළ ඉතාමත් විශ්වාසනීය සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරෙන බවට ජාතික ක්‍රීඩා සංගම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මහජනතාව වැනි සිය පාර්ශ්වකරුවන්ට සහතික වීමේ අරමුණින් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පෙන්වා දෙයි..
ඉහත මාධ්‍ය හමුවේදී මතු කරන ලද කරුණ සංවිධානයේ අදාළ පාලන සහ නියාමන ව්‍යුහයන් විසින් ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කර සමාලෝචනය කර ඇත.
විධායක මණ්ඩලය, ප්‍රසම්පාදන කමිටුව සහ මූල්‍ය කමිටුව විසින් අදාළ ගනුදෙනු සහ ක්‍රියාවලීන් ස්වාධීනව සමාලෝචනය කර ඇති අතර, සලකා බලනු ලබන කරුණ සම්බන්ධයෙන් කිසිදු වංචාවක්, මූල්‍ය විෂමාචාරයක් හෝ වැරදි ක්‍රියාවක් සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කොන්දේසි විරහිතව තහවුරු කර තිබේ.
ප්‍රශ්නගත අදාළ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට තීරණය කිරීමේදී, කළමනාකාරීත්වය විසින් අනාගත සැපයුම්කරුවන් 7 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අවම මිල ගණන් සලකා බැලීමට අමතරව, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ලබා දී ඇති තීරණාත්මක ණය පහසුකම් මෙන්ම නියමිත වේලාවට ගමන් කිරීම, නවාතැන් පහසුකම් සහ අවම ගුවන් තොටුපළ රැඳී සිටීමේ කාලයන් (lay-over times) සහිත හොඳම ගුවන් සේවා හවුල්කරුවන් පිළිබඳව ද සලකා බලා ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
පැහැදිලිවම වගකීම්, අභ්‍යන්තර පාලනයන් සහ විධායක මණ්ඩලයට අධීක්ෂණය, සෝදිසි කිරීම් සහ නිර්දේශ ලබා දෙන ස්වාධීන කමිටු සහිත ස්ථාපිත පාලන ක්‍රමවේදයක් මත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සෑම විටම ක්‍රියාත්මක වන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
විධායක මණ්ඩලයේ තීරණ සහ ක්‍රියාකාරකම් නිරන්තර සමාලෝචනයට ලක් කෙරෙන අතර, ඔලිම්පික් ප්රඥප්තියේ මූලධර්ම සහ ජාත්‍යන්තර යහපත් පිළිවෙත්වලට අනුකූලව විනිවිදභාවය, වගවීම සහ ආයතනික අඛණ්ඩතාව ශක්තිමත් කිරීමට සංවිධානය කැපවී සිටී.
ඉහත සඳහන් කරුණු හමුවේ, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් ප්‍රධාන නිලධාරීන්ගේ අඛණ්ඩතාව සහ අවංකභාවය පිළිබඳව මහජනතාව තුළ සැකයක් ඇති කිරීමේ පැහැදිලි උත්සාහයක් ලෙස අදාළ මාධ්‍ය හමුවේදී එල්ල කරන ලද පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා නිෂ්ප්‍රභ කරයි.
සිය වගකීම්, ආයතනික ස්වාධීනත්වය සහ සියල්ලටම වඩා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් තමන් ස්ථිරසාරව කැපවී සිටින බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මෙයින් යළිත් තහවුරු කර සිටී.
සිය වගකීම ඉටු කිරීම, සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම කෙරෙහි කමිටුවේ අවධානය නිරන්තරයෙන් යොමු වනු ඇත.
පෞද්ගලික අවශ්‍යතාවලට වඩා අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා සහ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතය සැමවිටම ප්රමුඛ වනු ඇත.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව


