හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ. මෙම සටහන ඒ වෙනුවෙනි …
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වන්නේ තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කළ නායකයා වශයෙනි. ඇත්තෙන්ම යුද්ධය නිමා කරමින් රටේ ඉතිහාසය වෙනස් කරන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ වෙනස් වුණු ඉතිහාසයේ ප්‍රතිඵල අද රටටත් ඔහුටත් භුක්ති විඳින්නට සිදුව තිබේ.
යුද්ධය පිළිබඳ සලකා බැලීමේදී මුලින්ම සිහිපත් කළ යුත්තේ මහින්ද රාජපක්ෂ යනු උතුරේ ප්‍රශ්නයට යුධමය විසඳුමක් ලබාදෙන බව පවසමින් බලයට පත්වූවෙකු නොවන බවයි. 2004 වනවිටත් මහින්ද පෙනී සිටියේ ගෞරවනීය සාමයක් වෙනුවෙනි. යුද්ධය තමන්ගේ ක්‍රමය නොවන බව ඔහු ඒ දිනවල ප්‍රසිද්ධියේම පැවසුවේ ය. වෙනෙකක් තබා 2005 ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළේත් LTTE සංවිධානය සමග ඇතිකරගත් එකඟතාවයක් මත ය. එදා LTTE ය උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නා නම් මහින්දට ජනාධිපති වීමට හැකිවන්නේ නැත.
ජනාධිපති ධුරයට පත්වූ පසුව මහින්ද උත්සාහ කළේ ඊට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේත් ඉදිරියට ගිය සාම ක්‍රියාදාමය ඔස්සේම ගමන් කරන්නට ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණත් ජාතික හෙළ උරුමයත් ඒ මොහොත වනවිට එකිනෙකා පරයමින් තරගයට ජාතිවාදය සහ යුධවාදය දකුණේ පතුරුවමින් සිටි අතර LTTE ය ද ඒ මොහොතේ යළි යුද්ධයකට තල්ලු වෙමින් ඓතිහාසික වරදක් කර ගත්තේය.
2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එතෙක් ලොව වටා විවිධ රටවල නිදහස් සටන්කාමීන් වශයෙන් හැඳින්වුණු සංවිධාන සියල්ලම පාහේ එක රැයින් ත්‍රස්තවාදී සංවිධාන වශයෙන් නම් කෙරිණි. ලෝක පර්යාය තුළ සිදුවුණු මේ වෙනස තේරුම් ගැනීමට තරම් LTTE නායකත්වය පරිණත වී සිටියේ නැත. තුවක්කුවෙන් යා හැකි දුර තමන් පැමිණ ඇති බවත් ඉන් ඉදිරියට යා හැක්කේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළින් බවත් ඔවුන්ට නොවැටහුණි. ඇත්තෙන්ම එවන් ගමනක් සඳහා අගනා අවස්ථාවක් ද එයින් මාස කිහිපයක් තුළ 2002 වසරේදී සාම ක්‍රියාදාමයෙන් ඔවුන්ට ලැබිණි. එහෙත් ඔවුන් එය ප්‍රයෝජනයට ගත්තේ නැත.
මහින්දගේ දේශපාලන දර්ශනය වූයේ අවස්ථාවාදයයි. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේම ප්‍රතිපත්තියක් නැතිකම ය. දකුණ විසින් යුද්ධයම ඉල්ලා සිටින මොහොත ඔහුගේ පාලන සමය තුළ උදා වූ අතර ඔහු ඊට නායකත්වය දුන්නේය. LTTE ය පුම්බාගෙන සිටි බැලුමේ සුළං බැස්ස අතර වසර තුන හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කෙරිණි.
ඒ යුධ ජයග්‍රහණයම දේශපාලනික වශයෙන් ආයෝජනය කරගනිමින් ඊළඟ ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් ජයග්‍රහණය කිරීමටත් පාර්ලිමේන්තුව තුළ අතිවිශාල බලයක් තහවුරු කරගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා සමත් වූයේය. ඔහුගේ ඇදවැටීමට අවශ්‍ය සියලු සාධකත් ඒ තුළම සම්පූර්ණ විය.
මහින්ද රාජපක්ෂ යනු දියුණු දේශපාලන දැක්මක් සහිත නායකයකු නොවේ. දේශපාලනයේදී ඔහු දක්ෂ වීදි සටන්කරුවෙකි. මෑත ඉතිහාසයෙහි බිහිවුණු දක්ෂතම වීදි සටන්කරුවා වශයෙන් ද ඔහුව හැඳින්විය හැක. එමෙන්ම ශ්‍රී ලංකාවට මෙතෙක් බිහිවූ ජනමූල නායකයින් දෙදෙනා අතරින් ඔහු එක් අයෙකි. ( අනෙක් ජනමූල නායකයා වූයේ රණසිංහ ප්‍රේමදාස මහතා ය. ) ජනමූල නායකයකු වශයෙන් ඔහු සතු අසමාන ජනප්‍රියත්වයත් ජනතාව විසින්ම සිය ඡන්දයෙන් ඔහුට ලබාදුන් අතිවිශාල බලයත් විසින් ඔහුව අතිවිශාල අවුල් ජාලයකට ඇද දමන ලද අතර තියන තියන සෑම පියවරක් පාසාම වැරදි කරන මට්ටමකට තල්ලු කෙරිණි.
ඒ ගමන තුළ අද වනවිට මහින්ද රාජපක්ෂ පැමිණ ඇත්තේ දූෂණ, භීෂණ, වංචා පිළිබඳ දැවැන්ත චෝදනා මල්ලක් ද සමගින් ජනතාව විසින් පහරදී පන්නා දැමුණු හිටපු අගමැතිවරයකුගේ තත්වයට ය. එසේවෙතත් කිවයුතු එක දෙයක් තිබේ. ඒ, මහින්ද රාජපක්ෂ යනු බහත්කාරයෙන් රාජ්‍යය අල්ලාගත් පාලකයකු නොව මේ ජනතාව විසින්ම අතිවිශාල බලයක් පවරා දුන් නායකයකුය යන්න ය.
මහින්ද රාජපක්ෂ යනු ඉතිහාසයේ ඇනවුමක් අනුව අපේ රටට නිශ්චිත මොහොතක ලැබුණු, අපේ රටේ ජනතාවගේම කොපියකි. ඔහුගේ නැඟීම සහ ඇදවැටීම සම්බන්ධ සියලු සාධක සලකා බැලීමේදී පෙනී යන්නේ ඒ දෙකටම ඔහු සතුව තිබුණු එඩිතරකම, මුරණ්ඩුකම, මෝඩකම, තණ්හාධිකකම, කපටිකම, සුහදකම, පෞරුෂය, ජනප්‍රියත්වය යනාදී සියලු දෑ බලපෑ බවයි. මේ සියල්ලම සමස්තයක් ලෙස අපේ රටේ ජනතාව සතු ගුණාංගයන් ය. ඒ අනුව මහින්ද යනු අපිම ය. ඔහුගේ ඉරණමත් අපේ ඉරණමත් අවියෝජනීය ලෙස බැඳී ඇත.
මහින්දගේ පැත්තෙන් ගත් කල මේ මොහොතේ ඔහුට කළ හැකි හොඳම දෙය නම් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ය. එහෙත් ඔහුට එවන් වුවමනාවක් පහළ වුවත් එය ඉටුකර ගැනීම අපහසු වනු ඇත්තේ ජනමූල නායකයකු වීමේ අවාසිය ඔහු සතු බැවිනි. ඔහුගේ දේශපාලන කඳවුර ඔහුවම ඉල්ලා සිටිනු නියත ය. එසේම මහින්ද රැස් කරගත් දේශපාලන බලයේ දේශපාලන ප්රතිලාභ ඔහුගේ මුණුපුරු කේසර රාජපක්ෂ පවා භුක්ති විඳීම ද අපේ රටේදී නියතයක් වනු ඇත.
ඉතිහාසයෙහි දැවැන්තම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ එහි වගකීම රාජපක්ෂලාට පවරමින් බැනවැදීම හුදෙක් හිත හදාගැනීමට මිස වෙනත් තේරුමක් ඇති ක්‍රියාවක් නම් නොවේ. රාජපක්ෂලා ඔවුන් වැපිරූ අස්වැන්න නෙළමින් සිටින අතර රාජපක්ෂලාව වැපිරූ ශ්‍රී ලංකාවේ ජනතාවටත් ඊට අදාළ අස්වැන්න ලැබී තිබේ …
~ දර්ශන වීරසිංහ