Friday, December 1, 2023
spot_img

Latest Posts

මලල ක්‍රීඩකයින් මිලියනපතියන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අමිල මැදිහත්විම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ආසියානු ක්‍රීඩා උළෙලේ වසර 17 ට පසුව කිසිඳු පදක්කමක් නැතිව සිටි මලල ක්‍රීඩාව පදන්නම් සටහනට එක් කළේ නදීශා දිල්හානි ලේකම්ගේ ය.ඉනික්බිති නදීශා එසේ පදක්කම් සටහනට එක් කළ රිදී පැහැය වසර 21 ට පසුව ආසියානු ඉතිහාසයේ ස්වර්ණමය සළකුණක් බවට පෙරළන්නට සමත් වූයේ තරුෂි කරුණාරත්නය.තරුෂි මීටර් 800 න් ද ලේකම්ගේ හෙල්ල වීසි කිරීමෙන් ද එම පදක්කම් දිනා දෙන්නට සමත් විය.ඉනික්බිති තවත් ලෝකඩ පදක්කම් දෙකකි.ඒ මීටර් 400 සහය දිවීම කාන්තා සහ පිරිමි තරග දෙකටය.ආසියානු ක්‍රීඩා උළෙලේ එම පදක්කම් සටහනට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් සටහනට එකතු වූ ඉතිරි පදක්කම ද රිදී ය.ඒ කාන්තා ක්‍රිකට් වෙනුවෙන්ය.


රිදි පාට වුණ ක්‍රිකට් ආර්ථික වශයෙන් ගත් විට ලංකාවේ අන් ක්‍රීඩා හා සසදද්දී රන් පාටය.කාන්තා ක්‍රිකට් සිය පැහැය වැඩි කර ගනිමින් ඔපවත් කර ගනිමින් සිටියි.පිරිමි කණ්ඩායම ගැන දැන් ක්‍රිකට් ගැන යන විවාද වල පැහැය අඩු වැඩි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළ දේ ද,ක්‍රීඩා අමාත්‍යංශය කළ දේ ද එළියට දමා මිනිස්සු බර කිරමින් සිටිති.නමුත් කාන්තා ක්‍රිකට්වලට අයිතිය කියන්නට මේ සටහනෙන් පසුව හිත රිදුණ කෙනෙක් ආවොත් මිස,මේ දක්වා තිබෙන ප්‍රගතියට වෙනත් කෝකීන් නැත.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අත පෙවීම්වලින් තොර කාන්තා ක්‍රිකට් තබා ඇති තැන ද පාර්ලිමේන්තු විවාදයන්හී සාකච්ඡාවට ගත යුතුය.චමරිලාගේ ක්‍රිකට් ගැන අලුතෙන් එන හර්ෂිකා මෘධවී,කවීශා දිල්හාරී මෙන්ම විශ්මි ගුණරත්න වැනි බිහිවෙමින් තිබෙන අනාගත පෞරුෂයන්ද සමාජයේ බලවත් පිරිමි චින්තනය තුළ යට ගසා දමා ඇතත් ඒවා රට ජාත්‍යන්තරයට ගෙනියමින් ඇත.එ අතරින් චමරි ලෝකයේ අංක එකය.ඒවා උපයා ගැනිීම වෙනුවෙන් ද,උපයා ගන්නට දිරි දීම වෙනුවෙන් ද අද වන නිට කාන්තා ක්‍රීඩිකාවන් සිටින්නේ ද තරග ගෙවීම්වලදී සමාන මට්ටමකය.


එහෙත් මේ සියල්ල අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බූදයට යමින් තිබියදී පිරිමි ඔළුවල අර්බූදයෙන් පිරිමි විතරක් ක්‍රිකට් හැටියට මනිමින් අසාර්ථක බව උළුප්පා තිබියදී කාන්තා ක්‍රිකට් දිනූ රිදී පදක්කමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ඇමෙරිකානු ඩොලර් 50000 ක් සූදානම් කර ඇත.එය එසේ තිබියදී ඊටත් ප්‍රථාම රන් රිදී සහ ලෝකඩ ගෙනා මලල ක්‍රීඩා ජීවිතවල අව පැහැය වර්ණවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අක පොවන්නේ තෙතැති සිතින්ය.පෙමැති හදවතින්ය.බොහෝ ක්‍රීඩාවල පළමු පඩියේ දී හමුවන්නේ මලල ක්‍රීඩාමය හැකියාවන් බව නොකියා බැරිය.ක්‍රිකට් වෘත්තිමය තත්ත්වයක පවතින රටක,හමුදාවකට හේත්තු වී යාන්තමට ක්‍රීඩාව නඩත්තු කරගෙන හුස්ම ගන්නට සිඳු වී තියෙන මලල ක්‍රීඩාව රටට ඔලිම්පික් මට්ටමේ පදක්කම් ගෙනත් දුන් ක්‍රීඩාවක් වුණත් එයට වෘත්තීය මට්ටමක් නැත.ඒ පදක්කම්වල තත්ත්වය පඩික්කම්වලට ඔබා අඩුම තරමේ මිත්‍රශීලීව,සුහදශිලීව ආමන්ත්‍රණයක්වත් නොලබන තරමට මලල ක්‍රීඩාවේ ඇත්ත රූපය දුප්පත්ය.


මේ රූපයට සළු පිළි ඇන්දීමත්, තමන්ගේම ජාතික අනන්‍යතාවයක් කර සළකන්නට ආසියානු ජයග්‍රහණවල දීප්තිය පැහැබර කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සිතූ සිතුවිල්ල පළල් කරන්නට හවුල්කාරත්වය දරන්නට LNW වෙබ් අඩවියට හැකිවීම සතුටක්ය.තරුශි රටේම සිත් දිනා ගනිද්දී ක්‍රිකට් ආයතන විධායකයේ හිත් ද සපුරා දිනා ගෙන තිබිණ.එහි වටිනාකම රුපියල් මිල්යන දහයකි.එතැන දී අපේ අකුරු එය ඇගයීමටත් තවත් ඇගයීමට ඇති දේ කියා පෑමටත් පෙරට ආහ.එහි පලය ලෙස සුහදශීලී කතාබහකට පෙරැළුණු LNW අකුරු තවත් රපියල් මිලියන 18 ක පරිත්‍යාග දක්වා පළල් විය.ඒ රන් රිදී දිනූ පුහුණුකරුවන් දෙදෙනාද අගයමින් සහ සියලුම පදක්කම්ලාභි ක්‍රීඩකයන්ට ඇගයීම් ලබා දෙමින්ය.අවසන මුළු වටිනාකම ලක්ෂ සියය ලක්ෂ 280 දක්වා පළල් විය.
පෞද්ගලිකව රාවයේ පිටු අතර මගේ අකුරු අමුණමින් ඇරඹු මාධ්‍ය දිවියේ ඒ අකුරු ඔස්සේ ආදරය දිනාගෙන තමන්ගේ ජීවිත ශක්තිමත් කරගත් ඇතැම් හූ අද ඉහළ පුටුවලට පිට්ටනියෙන් ගොඩ වී සිටිති.ලත්බිම හරහා ද එසේමය.ඇතැම්හූ නිවිාස ලැබුවෝය.ඇතැම්හූ ඉඩම් ලැබුවෝය.තවත් අය විවිධ අනුග්‍රාහ සහ සමහර විට එවකට සිටි කුලී නිවසෙ බෙදා ගත්තෝය.ඒ ගෞරවයන් මගේ අකුරු අමුණන්නට ඉඩ ලැබුණු ඉඩට මුලීකව ලැබෙනවා සේ ම ඒවා පිටුපස සිටි සියලු දෙනාට ද හිමි විය යුතු සේ ම,මේ සතුට ද LNW සැමට පොදුවේ හිමිකාරීත්වය අයිති විය යුතු ජයකි.ඒ අපේ පම්පෝරියෙන් ඉනික්බිති ක්‍රිකට් හි මැදිහක්වීමේ වටිනාකම මිල කළ නොහැකි ආදරයකි.රැකවරණයකි.
“මට මෙච්චර වටිනාකමක් ලැබුණමයි”


ඔලිම්පික් දක්වා නියෝජනයට වලල තිඹිරිගෙය කර උපන් මලල ක්‍රීඩා ජිවිත ඇත.දකුණු ආසියානු,ආසියානු මට්ටමේ පදක්කම් යොවුන්,කණිෂ්ඨ සිටම එම විද්‍යාලීය ඉතිහාසයට මුල් කළ සුසන්ත ප්‍රනාන්දු පවසන මේ වචන අස්සේ පේන්නේ ක්‍රිකට් නොවන ලංකාවේ ක්‍රීඩාවේ හැඩය බව අමතක කරන්නට නොහැකිය.


“මට ආයෙ දුවන්න හිතෙනවා”
ශ්‍රී ලංකාව දිනා තිබෙන ඔල්මිපික් පදක්කම් දෙකක හිමිකාරිය සුසන්තිකා ජයසිංහ සභාව ඉදිරියේ පැවසුවේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව වෙනුවෙන් ලැබුණ මේ ආදරණීය තිළිණ ගැන උදම් අනමින්ය.දක්ෂතා අගයන්නට නිසි වැඩ සටහනක් නැති රටක ක්‍රිකට් නිසා අද තමන්ට රැකියාවක් ඇති බවත්,පවුල නඩත්තු කරමින් සතුටින් ඉන්න හැකියාව ලබා දී ඇත්තේ ක්‍රිකට් සහ එහි සභාපති ශම්මි සිල්වා ක්‍රීඩාවට දක්වන ආදරය නිසා බවත් සුසන්තිකා පවසන්නීය.


“මට වඩා ඔලිම්පික් ජයග්‍රහණ ගේන්න”
ක්‍රිකට් ආශිර්වාදයේ දිග පළල විසල් කර ජයග්‍රහණයන්ගේ වර්ගපලය වැඩි කරන්නට හැකියාව වැඩේවායි පතමින් සුසන්තිකා ජයසිංහ පැවසුවාය.
“ක්‍රීඩා අමාත්‍යංශයෙන් තොර තැනෙක මෙච්චර දෙයක් කරාමයි.මේකට මැදිහත් වුණාට බොහොම ස්තූතියි.”
ශ්‍රී ලංකාවට හෙල්ල වීසි කිරීමෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා,පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක විසි කිරීමේ ඉසව්වකින් පදක්කමක් දිනන්නට නදීශා දිල්හානි ලේකම්ගේ පුහුණු කරමින් දායකත්වය දුන් ප්‍රදීප් නිශාන්ත මේ ගැන සැළ වූ මොහොතේ සිට ඊයේ දිනයේද කිහිප වතාවක් පැවසූ වචන මාධ්‍ය්‍යකට සහ මාධ්‍යකරුවෙකුට කළ හැකි දේ ගැන ආඩම්බරය වගා කිරීමකි.


එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ද අවසාන මොහොත දක්වා මේ මාර්ගයේ මගේ දායකත්වය රඳවා ගනිමින් අවසාන මොහොතේ ද ඔවුන් නියමිත මොහොතට රැඟෙන ඒමේ සම්බන්ධීකරණයද මා වෙත ද පටවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද අවසාන මොහොත දක්වා ම මා සමඟ සිටීම ද අගය කළ යුතුමය.
“සභාපතිවරයා 2016 දී ශ්‍රී ලංකා ක්‍රිකට් හා භාණ්ඩාගාරික විදිහට සම්බන්ධ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සේවක පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක හිටියෙ.තේ එකක් දෙන්න වත්කමක් තිබුණෙ නැහැ.2019 ඉදලා සභාපතිවරයාව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණය කරපු හැටියට අද මෙච්චර අනුග්‍රහයන් දක්වන්න පුළුවන් මූල්‍ය ශක්තියක් තියෙන ආයතනයක් වෙලා තියෙනවා.”


සුජීවගේ කතාවේ බොහෝ අය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අත පෙවීමට සහ භාර ගන්නට දක්වන කැමත්තේ යටිපෙළ සැඟවී තිබිණ.පාඩු සහ විගණන අඩු පාඩුම දිනපතා කියන ඇමති සිට විපක්ෂයේ කිසිවෙක් ද මේ මූල්‍ය ශක්තිය සහිත තැන අපිට දෙන්න අපිට ඕනි කියන කතාව නොපවසති.මේ මහා ධනයෙන් සියයට විස්සක් තමන්ට ඕනි විදිහට භාවිතා කරන්න පුළුවන් ජාතික ක්‍රීඩා අරමුදලට දීමේ වැදගත්කම පවසන අමාත්‍යවරයාට, මේ ගැටුම ඇති කර නොගෙන සිටියේනම් මේ මොහොතේද ශ්‍රී ලංකා ක්‍රිකට් මහන්සියේ මල් වට්ටියට සිනහමුසු මුහුණෙන් අත ගසා සිටින්නට අවස්ථාව කිබිණ.


විපක්ෂය අතීතයේ වෙච්චි දේවල් අපට අදාළ නැත යන ස්වරූපයෙන් කෝන මනිමින් කරන කතා විසළුකාරීය.ඉතිහාසය හැදෑරීමක් ඇත්තේම නැත.ක්‍රිකට් අතුරු කමිටුවක් මඟින පැවත් වූ ලෝක කුසලාන සත්කාරත්වය හිමි වූ තරගාවලියක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවක පිඩි ගෙවන්නට නොහැකි මට්ටමට සිඳුණු හැටි ගැන එවකටත් විපක්ෂයේ සිටි මේ විපක්ෂ සාමාජිකයන්ට වගේ වගක් නැත.ඊට දේශපාලනික හේතුව විය හැක්කේ පළල් හැදෑරීමක් වෙනුවට එදා වේල ටුවර්ස් ලෙස දේශපාලන වාසි ගන්නට දරන උත්සාහයය.මේවා ගමන අවසානය වන විට මල්ල හිස්වන අන්දමේ හිල් මල්ලක් රැඟෙන යන ගමණක් බව නොතේරෙන එකම සහ ශ්‍රී ලංකා අතුරු කමිටු ඉතිහාසය දයාසිරි ජයසේකර විසින් තිත තබන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙනවිත් තිබූ තැන කවරේද යන්නවත් විමසා බැලිය යුතුය.


ජාත්‍යන්තරය ගණන් ගන්නේ නැති චණ්ඩි මුහුණක් පෙන්වා ජනතා කැමත්ත දිනා ගැනීමේ ස්වයං ආස්වාදය ලැබීය හැකි වුව ද,දේශපාලනයේ සැබෑ සුරතාන්තය බොහෝ දිග ඉවසීම් සහිත ක්‍රියාවලියක අවසානයකි.එහිදී ක්‍රිකට්වලනම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යන “ක්‍රිකට් ලෝකය” සමඟ ප්‍රතිවිරෝධතාවයක් නොනැඟෙන පරිදි සිය නිකැලල් බව ඔප්පු වෙන සංවාසයකට යන්නේ කෙසේද යන්න ගැන සිතා බැලිය යුතුව ඇත.නැතිනම් වන්නේ ස්වප්න මෝචනයකට සුරතාන්තය ලෙස රැවටීමකින් සීමා වන්නටය.මෙවැනි අතාර්කික දේශපාලන සංවාදවල පලය ලෙස අතෘප්තිය ජනතාවට ද භුක්ති විඳින්නට සිඳුවීම ඛේදවාචකයක් වන අතර ඔවුන් සිහිනයෙන් අවදි වූ තැන නැවත විපක්ෂ දේශපාලනයට ආණුඩ පක්ෂයට මාරුවීම වෙනුවට විපක්ෂයේ අසුන් ගැනීමේ පහසුකමම සැපයෙනු ඇත.


ක්‍රිකට් දේශපාලනයේ ඉහත ඇත්ත සමග නොවන ජාත්‍යන්තර සිට ගැනීමකට අවශ්‍යය බාධාවන් ඉවත් කර ගැනීමට යන තත්ත්පරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් වත්කම් ක්‍රීඩා අරමුදලේ ඇති දේශපාලන ලේයරයට මෙපිටින් ශුද්ධ වූ තැනෙක තබා කළ හැකි දේ ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කතා කළේය.
“අඩු පාඩු ගැන අපිට පුළුවන් උපරිමය කරන්නම්”
ඔහු සැමට පැවසීය.ඒ අතර රටට මහත් පල උදාකර දෙන වලල ගැන විශේෂ අවධානයක් යොමු කළේය.ඔවුන් ශක්තිවර්ධධන සහ කාය වර්ධන උපකරණ ගැන සොයා බලා ඉදිවෙමින් තිබෙන ව්‍යායාම් ඒකකයේ උපකරණ පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට කීවේය.එසේම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඇති නවීන පන්නයේ පිහිණුම් තටාගයේ දොරටු දක්ෂයන් වෙනුවෙන් විවර කර දෙන්නට ද අවශ්‍යය කටයුතු සිහි කළේය.
“හැමදේම කොළඹට පේන්න ඕනි නැහැ.සංචිත කොළඹ තියන්න ඕනිත් නැහැ.පහසුකම් තියෙනවනම් නුවර ඇවිත් පුහුණුවීම් කරලා යන්න බැරිද”


අධිවේගී මාර්ග ඉදිවීම් ගැන හරි චිත්‍රයක් නොපවතින සමයක පේරාදේනිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියක පුහුණුවීම් කරමින් සිටි යෝගානන්ද විජේසුන්රයන් පැවසූ වදන් ලියා තැබූ තැන නිශ්චිත නැතත් ඒ වචනවල දිග පළල හොඳින් මතකය.
පහසුකම් කියලා හැමදේම කොළඹ තියෙන එකනෙ කියන්නෙ.ඔෆිස්,සල්ලි,ජිම්,ට්‍රැක් එක.බිල්ඩින්….
ඇත්තටම ඒවා යම් මට්ටමක ආවොත් හොද පරිසරය කොළඹින් පිට නෙමෙයිද කියන එක ඒ ඔස්සේ කිල්පනා කරමින් දහස්වර ලියන්නට ඇත.මේ මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡාවේදී ත් පෙන්වා දුන්නේ හැකිනම් දිගනවත්,නැතිනම් රටේ පළාතක දිස්ත්‍රික්කයක දක්ෂයන් වෙනුවෙන් එක ධාවන පථයක් හෝ කෘතිම ලේයරයකින් එලා දිය හැකිනම් ප්‍රතිපල මීට වඩා ඉහළ යා හැකි බවය.එවැනි දේ හිතෙන්නට සිතුවිලි පැල කළ බීජය නුවණැති දැනුමැති අවිදින ක්‍රීඩා පුස්තකාලයක්ව උන් යෝගානන්දයන්ගේ අදහස්ය.
ක්‍රීඩකයන්ට පීනන්න තැනක් නැහැ කියා ක්‍රිකට් ගැන ක්‍රිඩා ඇමතිවරයා කියන තැන සිට වෙන අදහසක් සිහියට ආවේ ද ඒ සිතීම් ඔස්සේය.ඇත්තටම රටේ දේශපාලන පරිපාලනය අධිවේගි මාර්ගය මහනුවරට ඉක්මණින් දිගු කළොත් පල්ලෙකැලේ පිහිණුම් තටාගය නුදුරේ තිබෙනු ඇත.නැතිනම් ජාතික සංචිතය පල්ලෙකැලේ රඳවන්නට හැකි පහසුකම් ද ක්‍රිකට් වෙත තනා ගන්නට හැකිය.


වැදගත්ම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ දීම්වලින් ඇත්තේ සැනසීම පමණය.ඡන්දයක පෝස්ටරයකටවත් අදාළ නැත.අඩුම තරමේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ද ඡන්දය දීමට මලල ක්‍රීඩාවට දුන් දේ අදාළ කර ගන්නේ නැත.ජාතික ක්‍රීඩා අරමුදල හරහා මේ දේ කළෙනම් ඒවා ඡන්ද කාලෙකට මරු ආයෝජනය.රට දිනූ විරුවන්ට අත දිම් අතින් කළ සේ ප්‍රදර්ශනය කරන්නට හැකියාව ඇත.
එහෙත් ක්‍රිකට් දේශපාලනයේ මේ සභාපති,විධායක කමිටුව කරන පරිත්‍යාග ඇතුළේ ඇති ක්‍රීඩක දහදිය වගේම පිටි වටා එකතු වන ආදරණීය මිනිස්සුන්ගේ දහදිය වැටෙන උද්යෝගයද තිබෙන බව අපි අමතක නොකරන්නෙමු.ඒ නිසා සියල්ලට සතුට එන ජනප්‍රිය තලයෙන් ලෝකය සමඟ එකට ඇඳෙන ක්‍රිකට්මය වූ ධනයක් සහිත ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ තිබෙන නිසා ආසියාව දිනීමේ ගෞරවය අතට අත දීම්,වැළද ගැනීම් සහ වචනවලට සීමා වන තැනින් එපිටට ගොස් රැඳිණ.ඒවා මිලියන ගණනින් ගෞරවය සහ ඉදිරියට තල්ලු කරන ශක්තිය යෙදවුණ දේ ය.


පහතින් දැක්වෙන්නේ රන් ද රිදී ද ලෝකඩ ද කියා වෙනස් නැතුව සළකන විටදි ශ්‍රී ලංකා ක්‍රිකට්,ආසියාව ජයගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන් දෙදෙනාට දුන් ස්වර්ණමය දිරියේ මිල කළ නොහැකි එහෙත් මිලක් සටහන් වූ වටිනාකම්ය.


තරුෂි කරුණාරත්න මිලියන 10 (මීටර් 800, රන් පදක්කම) සහ මිලයන 1(මිටර් 400 සහය,ලෝකඩ පදක්කම)
නදීශා දිල්හානි ලේකම්ගේ මිලියන 5 (හෙල්ල වීසි කිරිම, රිදී පදක්කම)
කාලිංග කුමාරගේ (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
අරුණ දර්ශණ (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
රාජිත රාජකරුණා (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
පබසර නිකූ (මීටර් 400 සහය,රිදී පදක්කම)
දිනුක දේශාන් (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
පසිඳු කොඩිකාර (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
නදීශා රාමනායක ( මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
ජයේශි උත්තරා (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
ලක්ශිමා මෙණ්ඩිස් (මීටර් 400 සහය,ලෝකඩ පදක්කම)
සුසන්ත ප්‍රනාන්දු (පුහුණුකරු – තරුශි කරුණාරත්න)
ප්‍රදිප් නිශාන්ත (පුහුණුකරු – ප්‍රදීප් නිශාන්ත)

අවසානයට ලිවිය යුත්තේ තරුෂිගේ රත්තරන් වලට ඉඩ ලැබුණ මොහොතේ කියූ පුංචි කතාවේ රත්තරන් කොටසක්ය.


“ක්‍රීඩාවක් තව ක්‍රීඩාවකට උදව් කරන එක ගැන සතුටුයි.”
තවමත් 19 හැවිරිදි තරුශිට දැනෙන ඒ සතුට වෙනුවෙන් ක්‍රීඩා පරිපාලන ඒකක දෙකකට නිදහසේ එක්ව වැඩ කරන්න පුළුවන් පසුබිම ක්‍රීඩා පණතෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් සකසා දෙනු හැකිනම්,එයත් මේ මොහොතේ මේ පොළවට අතිශයින් වැදගත්ය.

එම තිළින ප්‍රදානෝත්සවය අමතා ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ සහ පදක්කම්ලාභිනී තරුෂි කරුණාරත්න දැක්වූ අදහස් ද මේ සමඟ වේ.


Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.