ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේ
තව වසර විස්සකට පසුවයි.
ඔබ එවූ සියලු ලිපි
හිනායන සුලු කුඩා තෑගි
සියල්ල ටොෆි පෙට්ටියක බහා
අප නිතර හමුවූ
ගං ඉවුරෙහි තනි ගස යට
මම නිදන් කර තබමි.

ඔබ එහි පැමිණිය යුත්තේ
කාටත් නොකියා තනිවයි.
එවිට මා මේ ලොව
නොඉන්නට ඉඩ ඇත.
මා මියයනු ඇත්තේ
නන්නාඳුනන පිරිසක් මැද
මහලු නිවාසයක
තනිවමයි.

වරක් ඔබ දකිතැයි සිහින මවා
යලිත් මුව සිඹිතැයි සුසුම් හෙලා
රස මතක පමණක් සිතෙහි හොවා
බෙදා ගන්නට කිසිවෙකුත් නොමැතිව
නුහුරු බස් දොඩවන නොරටුන් මැද
ජීවිතය සොඳුරු නෑ කටුකයි.
ඒ, ඔබ ඉදිරියට යන විට
මා පසුපසට ගිය ශාපයයි.

ඔබ මගේ ලිපිය කියවා බලා
වික්ශිප්තව සිටින විට
ගං දියේ පාවෙන පත්‍ර මත
මගේ රුව ඇඳෙනු නිසැකයි.
සුහදාන! මට මෙන්ම ඔබටත්
ලැබුන දඬුවම් එමටයි.
කාලය ගලා ගොස් සැන්දෑව එළඹෙත්ම
ඔබ එතැනින් නික්මිය යුතුමැයි.

සිහිලැති තැනිතලාවක
කුඩා උණුසුම් කුටියක
පුරු පුරු ගාන බැළළියක්
තෙම්පරාදු පරිප්පු හොද්දක්
පාන් තැම්බෙන උදුනක්
සිහිනවල තිබුනා මතකයි.

ඔබ ඒ සිහින අරගන්න
ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න.

සුහදාන!
මේ මා සමුගන්න විදියයි.

~ වර්ණ රසිකා ගුණවර්ධන