උතුරු පළාතට හරිත හයිඩ්‍රිජන් ව්‍යාපෘතියක් ලබා දීමට ජනපතිගේ අවධානය

Date:

ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය ඊයේ (20) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙරට පුනර්ජනනීය බලශක්ති විභව සහ එහි වත්මන් ප්‍රගතියත්, ඉදිරි දස වසරක සැලසුම් පිළිබඳවත් විෂයභාර ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්වල හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්‍රජන් බලශක්ති ක්‍රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එවැනි ව්‍යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්‍ර රැක ගැනීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

කුඩා ජල ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා ජල ව්‍යාපෘති බවට පත්කළ හැකි වාරි ඇළ මාර්ග හඳුනා ගැනීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් අතර ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලු එමඟින් අවම කර ගත හැකි බව පැවසීය.

මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මින් අනතුරුව තලෛමන්නාරම ජැටිය නිරික්ෂණයට එක් වූ ජනාධිපතිවරයා මන්නාරම් කලාපීය සංවර්ධන සැලැස්ම යටතේ ජැ‍ටිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ඉදිරි භාවිතය පිළිබඳවද නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...