කොළඹ වරායේ JCT තෙල් ටැකියකින් සිදුවූ තෙල් කාන්දුව:තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. පරිසර අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT අංක 108 දරන තෙල් ටැංකියෙන් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන පද්ධතියට තෙල් එක්වී, එම තෙල් මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට එක්වීමෙන් වෙරළබඩ පරිසරය දූෂණයට ලක්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මැදිහත්වී අවශ්‍ය ප්‍රතිචාර හා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් තිබෙන අතර JCT අංක 108 දරන තෙල් ටැංකියේ ගබඩා ධාරිතාව ටොන් 1000ක් පමණ වන අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී එය සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබූ බව වාර්තා වී ඇත.

එම ටැංකියේ ගබඩා කර තිබූ සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) කාන්දුවීම සිදුවී ඇත්තේ හානි වූ හෝ සිදුරක් ඇති වූ ජල බැහැර කිරීමේ කපාටයක් (Drain Valve) හරහා බව වාර්තා වේ.

2026 නොවැම්බර් 21 වන දින පෙරවරුවේ මෙම කාන්දුව ආරම්භ වී ඇති අතර සිද්ධිය පිළිබඳව එදින පෙ.ව. 9.30ට පමණ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව, අධිකාරියේ නිලධාරීන් කඩිනමින් අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කරමින්, අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කර අවශ්‍ය ප්‍රතිචාර ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික මඟපෙන්වීම් ලබා දීමට කටයුතු කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය මාධ්‍ය වෙත දැනුම දෙන්නේ.

පසුගිය 21 වන දින පෙ.ව. 10.30 පමණ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) විසින් තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, ඒ වන විට කාන්දු වූ තෙල්වලින් යම් ප්‍රමාණයක් නාගරික ජලාපවහන ඇළ මාර්ගයට එක්වී, එම මාර්ගය ඔස්සේ මුතුවැල්ල වෙරළ තීරයෙන් මුහුදට එක්වී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස බ ගේට්ටු නැංගුරම්ලා තැබීමේ ස්ථානය ද ඇතුළුව කිලෝමීටර් තුනකට අධික වෙරළ තීරයක් තෙල් දූෂණයට ලක්ව ඇත.

මෙම සිද්ධියෙන් අනතුරුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තෙල් පැතිරීම පාලනය කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. තවදුරටත් තෙල් පැතිරීම වැළැක්වීම සඳහා තෙල් පාලන බාධක (Oil Containment Booms) යොදවා ඇති අතර, කාන්දු වූ තෙල් එක්රැස් කිරීම හා ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

ඊයේ (22) වන දින වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සක්‍රීය දායකත්වය ඇතිව තෙල් පාලනය කිරීම, එක්රැස් කිරීම සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මඟපෙන්වීම යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ.

කාන්දු වූ තෙල් පාලනය කිරීම හා ඉවත් කිරීම, පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සහ බලපෑමට ලක්වූ වෙරළබඩ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ආන්දෝලනයෙන් පසු සිංගප්පූරු AI සමාගමකට ඇමරිකාවෙන් දැඩි තීරණයක්! 

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Nvidia සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ...

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ...

දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන්...