*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බූදය හමුවේ ගිලෙමින් පවතින ලාංකීය සමාජය ….

මතුපිටින් සියල්ල නිශ්චලව පවතී. නමුත් යටි පත්ලෙන් ආර්ථිකය බයානක ලෙස නාය යමින් පවතී.
රටේ කොටසක් තාමත් වගේවගක් නැතිව කමින් බොමින් ප්‍රීතිවෙමින් කාලය ගෙවාදමයි. ඒ අතර තවත් අති බහුතරයක් මිලදී ගැනීමේ සක්‍යතාවය නොමැතිව දිනපතා වෙළෙඳපොලෙන් පිටමං කෙරේ.

මිනිසුන්ගේ ආදායම් බෙදීයාමේ විෂතාවය මොහොතින් මොහොත අහස පොලොවසේ දුරස්ථ වෙමින් පවතී. සතිපතා බාන්ඩ මිල ඉහල යාම තුල තොග බඩු ගොඩගසාගෙන සිටින තොග වෙළෙන්දන්ගේ ලාබය දහ පහළොස් ගුනයකින් ඉහලයයි. ඒ අතර දිනපතා සිල්ලරට බාන්ඩ ලබාගෙන වෙළඳම් කරන සුළු වෙළෙන්දන් දිනපතා බංකොලොත් වෙයි.

වානිජ බැංකුවල වාර්ෂික පොලී අනුපාතය හිටි අඩියේ සීයට විසි තිස් ගනන් වලින් ඉහල ගොස් ඇත.
බිලියන ගනනින් බැංකු තැන්පතු ඇත්තවුන්ගේ මල්ල කරේ වන අතර බැංකුවලින් ණය ගත්තවුන් හද්දා නන්නත්තාර වී ඇත. ඊට සමානුපාතිකව ලීසිං පොලියද වැඩිවන බැවින් ලීසිං කර ත්‍රීවීලරයක් අරන් පවුල් පන්සල් ජීවත්කරවපු උන් දැන් කබලෙන් ලිපට වැටී දැවී අළුවෙමින් පවතී.

අර්බූදය විසින් ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම හාන්සිකර ඇත. එහි රැකියා කල ලක්ෂ දහයක පමණ පිරිස යන එන මං නැති තත්වයකට වැටී ඇත. සෙසු ක්ෂේත්‍රවල තත්වයද දැන් දැන් අවිනිශ්චිත වෙමින් පවතී.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කල රෙස්ටොරන්ට් වලින් ආහාර වේලක් දෙකක් ගත් නිවාඩුවට රටවටා විනෝද සවාරියක් ගිය මධ්‍යම පන්තිය දැන් එදාවේල හොයාගෙන කන ගෘහස්ථ දුගී පන්තියක් බවට ඇදවැටී ඇත.

දිය යටින් යන වියරු දියවැලක් සේ අර්බූදය විසින් සමස්ථ ආර්ථිකයේම යටි ව්‍යුහය සෑම මොහොතකම විනාශකෙරෙමින් පවතී.

දිනපතා රටේ මිනිසුන්ගේ චෛතිසික ආතතිය වැඩිවෙමින් පවතී. ඇතැම්විට මෙකී ආතතිය සියදිවි නසාගැනීම් සහ සුළු සිද්ධියක් නිසා ඇතිවෙන වියරු මිනීමැරුම් ලෙසද මුදාහැරෙමින් තිබෙනු දක්නට ලැබේ. එවන් තත්වයක් තුල රෝහල් ගතවෙන්නවුන් සඳහා ඇස්ප්‍රීන් පෙත්තක් හෝ අවමවශයෙන් තුවාල බෙහෙත් හෝ ගෝස් පටි හෝ නොමැත.

අවවරප්‍රසාදිත සමාජයට දරුණු ලෙස දැනෙන ආර්ථික අර්බුධයක් තුල සිදුවන මංකොල්ල කෑම් යනු සුපිරි පන්තියේ කොල්ලකෑම් මෙන් ජෙන්ට්ලිමන් ඒවා නොවේ. ඒවා අතිශය හිංසාකාරී වියහැකිය. මන්දයත් හොරා පැමිණෙන්නේ ද කුසගින්නෙන් හා මරුවිකල්ලෙනි. මෙහිදී මිනිස් ජීවිතයක් යනු තමන්ගේ හොරකම නවත්වන්නට එන විනාශකල යුතු බාදාවක් පමණි.

දැන් දැන් කුකුල් හොරකම්, චේන් කැඩිලි ගැන නිතිපතා අසන්නට ලැබේ. ඉදිරියේදී වැලක වනා ඇති වස්ත්‍රයක් හෝ මඤ්ඤොක්කා පඳුරක් පවා මංකොල්ල කෑ යුතු වස්තුවක් බවට පත්වෙනු ඇත.

එදිනෙදා කනබොන බඩු ටික මිලදී ගත නොහැකව ඉඩකඩම් කනකර ටික උගස් කරන අසරණයන් ගිලගනිමින් ප්‍රාදේශීය ගිනිපොලී කරුවන් හා ශුද්‍ර මුළ්‍ය කළු මුදල් මාපියාවන් තවතව තරවෙනු පෙනෙන්නට තිබේ. ඊට සමගාමීව ඒවාට ගොදුරුවන අසරණයන් මහමගට ඇදවැටීමටද නියමිතය.

රටක සාමය හා නීතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වැනි නෛතික වටිනාකම් නොනැසී පවතින්ට නම් ඒ සඳහා යම් ආර්ථික සශ්‍රීකත්වයක් ඒ රට තුල තිබිය යුතුමය. එසේ නොමැතිව රටක ආර්ථිකය ව්‍යාසනයක් වෙත ඇද වැටෙන විට ඒ තුල බිහිවන්නේ නීතිය වල්වැදුන පෙර පැවති සෝමාලියාවකි. නැත්නම් වර්තමානයේ හයිටියේ බඳු තත්වයකි. මන්ද එවන් තත්වයන් තුල මිනිසුන් අර්බූදයන්ට මැදිහත් වන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නොව දැවෙන ආවේග වලිනි.

ජීවත්වන්නට වැටුප මදිවූ විට පොලිස් නිලධාරීයාගේ අසලම ඇති විසඳුම අල්ලසයි. මෙවන් ආර්ථික අර්බූදයක් යනු ඇඟිල්ලෙන් පටන් ගෙන අවසානයේ පපුවටම කිඳාබහින ලාදුරු බඳුවූ ව්‍යාසනයකි. නීති හදන තැන් මෙන්ම නීති ක්‍රියාවට නංවන පොලීසි වැනි තැන්ද අර්බූදයේ බයානක ප්‍රකාශනම බවට පත්වීම මෙවන් තත්වයක් තුල නොවැලැක්විය හැකි තත්වයකි.

රජය විසින් බිත්තර වලට පාලන මිලක් පනවා ඇත. නමුත් වෙළඳපොල බලවේගවලට අනුව මිල තීරනය වන වෙළඳපොල තුල පාලන මිලට බිත්තර නැත. නිශ්පාදන පිරිවැය සහ මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව යන දෙක අතර ඇතිවන අර්බූදයේ අගාදය පියවීමට යන පාරිභෝගික අධිකාරිය යනු මෙහිදී හුදු විහිළුවක් පමණි.

අභ්‍යාස පොත් මිල තුන් ගුණයකින් ඉහල යෑම හේතුවෙන් ඉදිරි පාසල් වාරය තුල අභ්‍යාස පොත් මිලදී ගත නොහැකි අර්බූදය නිසා දුෂ්කර පැතිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොපමණ ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් හැලේදැයි මේවනවිටත් කිසිවෙකු නොදනී. රටේ මූලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා කොටසකට සීමාවීමත් තවත් කොටසක් නින්දිත ලෙස අධ්‍යාපනය ලැබීමේ අයිතියෙන් පිටමං කිරීමත් ඉදිරියේදී විවෘතවම දැකබලා ගතහැකිවනු ඇත.

ලාංකීය වාමාංශිකයන් අර්බූදය විසින් ඔවුන්ගේ දෙපතුල ලඟට බලය ගෙන ඒමට මිනිසුන් පාරට බහින දිනය එලඹෙන තුරු දිනපතා බලා සිටී. නමුත් බොහෝවිට සිදුවීමට නියමිත දෙය නම් මිනිස් ආතතිය නිසා සිදුවෙන හුදෙකලා කාකොටා ගැනීම් වලින් එහාට කිසිවක් සිදුනොවීමයි. විවිධ කාකොටා ගැනීම් මධ්‍යයේ මිනිසුන්ගේ ජීවන තත්වය දරිද්‍රතා මට්ටමට වැටී මිනිසුන්ගේ අධ්‍යාපනය පෝෂණය පිරිහී විවිධ රෝගාබාදයන්ගෙන් ආයු අපේෂාව අඩුවී එකම ඛේදවාචකයක මිදුනා විනා මෙතෙක් මෙවන් තත්වයන්ට මුහුණ දුන් අප්‍රිකානු රටවල් වෙනත් දිශානතියක් පෙන්වා නැත.

ලංකාව තුල මාස දෙකකට පෙර මිනිසුන් මිලියන ගනනින් පාරට පැමිණි අරගලයේ අවසාන ප්‍රතිපලය වූයේ කිසිම වෙනසක් මිනිසුන්ට නොදැනුන අපේක්ෂාබංගත්වයකට මිනිසුන් ඇදවැටීම පමණි. එවන් තත්වයක් තුල නැවතත් එවන් නිශ්පල අභ්‍යාසයක් සඳහා මිනිසුන් පාරට බැසීමේ සම්බාවිතාව ඇත්තේ ඉතාම අවම තත්වයකය.

නමුත් මේ පවතින මහජන ආතතිය සුළුජනවර්ග උඩින් පිටකෙරෙන වර්ගවාදී සිවිල් යුද්ධයක් බවට එය රූපාන්තරනය වීමේ විබවයක්ද රට තුල පවතී . මෙහිදී යම් කූඨ පාලකයෙකුට තමන්ට එරෙහිව එන මහජන ආතතිය පහසුවෙන් වෙනතකට හරවා යැවීම උදෙසා එවන් වර්ගවාදයක් නිර්මාණයකිරීමටද හැකිය. එය මේ මොහොතේ කවුරුත් නොදකින සහ වැඩිම විනාශයක් ගෙන දිය හැකි සහ සිදුවීමේ වැඩි සම්බාවිතාවක් පවතින තත්වයකි.

දශක ගානක් තිස්සේ රට මෙවන් අර්බූදයකට ඇදවැට්ටවීමට ටිකෙන් ටික පාර කැපූ වමේ හා දකුනේ දේශපාලකයන්ද එකී දේශපාලකයන්ට රට ගොඩගත හැකියැයි විශ්වාස කරන කරදිය වලල්ලට ඉහලින් ලෝකය නොදකින ජනතාවද යන මේ දෙකොට්ඨාශයම අයත්වන්නේ එකම අපබ්‍රංශ කුළකයක උඩ සහ යට කොටස් දෙකට බව අවසාන වශයෙන් හෝ මෙහිදි සඳහන් කල යුතුමය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan