කොළඹ LNW:සංවර්ධනය හා පාරිසරික ආරක්‍ෂාව අතර හැම විටම ඇත්තේ ආතතියකි. එම නිසාම මිනිසුන් සංවර්ධනය ඉල්ලා සිටිති. සංවර්ධනය කරගෙන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති. මෙම මාර්ග දෙකටම මැදිව කළ හැකි සංවර්ධන ක්‍රියාවලියක් ඇත්ද? එසේ නැත්නමි සංවරධනය නොකර පරිසරය සුරැකීම සිදු කිරීමට ජනතාව කැමතිද? මෙම ගැටලු අතර දෝලනය වෙමින් අද දවස වන විට ජනතාව හා සංවර්ධනය අතර අනවරත අරගලයක් ආරමිභ වී ඇත. අළුත් ආණ්ඩුව මෙය බෙිරාගන වැඩ කළ යුතුව ඇත.
සංවර්ධනය හා සංරක්ෂණය දෙකම තුළින් අළුත් ආණ්ඩුව කෙරෙහි දුරදර්ශි බවක් මිනිසුන්ට ඇතිවිය යුතුය. ඒවා නිකම්ම ඇතිවන්නේ නැත. අත් දැකීම්, සිත් දැකීම්, නෙත් දැකීම් සහ පොත පතේ නොමැති දේවල්වලින් එහාට සිතන අවබෝධයකින් වැඩ කළ යුතු අතර පරණ පාර වෙනුවට නව පාරිසරික සංරක්ෂණ මාවතක් මෙන්ම සංවර්ධනය මාවතක් තෝරාගත යුතුව ඇති අතර ඒ සදහා වු ජනවරම ජාතික ජනබලවෙිගය උදේසා ලබාදී ඇත.
1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි.
1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහිකරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන වග අද වන විට වඩාත් පැහැදිලි ඇත .
සංවර්ධනය, සොබාදහම සුරක්ෂිත කිරීම දෙකක් නොව එකම කාසියේ පැති දෙකකි එම නිසාම මානවයාගේ සමස්ථ සතුට, සුභසිද්ධිය සොබාදහමේ සුරක්ෂිතතාවය ඉහළ නැංවීමේ එහි අඩංගු ගුණයක් ලෙස පුරාණ මිනිසුන්ගේ මෙන්ම තිරසාර සංවර්ධනය ලෙස වර්තමානයේ හඳුන්වා දී ඇති සංවර්ධන මාදිලියේද ප්‍රමුඛ අදහස වි ඇත.
මානවයාගේ සමස්ත සතුට හා සුභසිද්ධිය වැඩි දියුණු කිරීම පිළිබඳ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලෝකයේ සෑම පෙදෙසකම කලින් කලට කුඩා වූත් විශාල වූත් විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කිරීම වැදගත් මෙන්ම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් මෙහිදි අපගේ මෙන්ම සත්ව හා ශාක ප්‍රජාවගේ මූලික පදනම වන සොබාදහම විනාශකරමින් එය සිදුකලහොත් ඉහත සංවර්ධනයෙන් බලාපොරොත්තු වූ මානව සතුට හා සොභාග්‍ය පවත්වා ගන යා නොහැකි බව අපට උදාහරණ ඇතිව 76 වසරක් තුළ පැහැදිලි වී ඇත.
සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවද නීතියේ මූලධර්මයක් ලෙස පිළිගන ඇත අතර ඒ, එය යහපත් සෞඛ්‍යයකට ඇති අයිතිය හා ජීවිතයට ඇති අයිතිය වැනි බොහෝ මානව අයිතිවාසිකම්වලට අන්‍යෝන්‍ය සම්බන්ධයක් දක්වති. පරිසරය නැසෙන විට මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේ ජීවත්වීමෙි අයිතිය අභියෝගයට ලක්වෙයි. එම නිසා නූතන සංවර්ධනය හා මානව අයිතිවාසිකමි යන දෙකම එකවර මිනිසුන්ට ඉල්ලා සිටිය නොහැකිය. ඒ දෙකම එකවිට දෙකම අවශ්‍ය නම් මිනිසුන් තමන්ගේ අවශ්‍යතා සීමා කරගැනීමට කැමැත්තක් දැක්විය යුතු අතර මිනිසාට අත්‍යවශ්‍යම දේ පමණක් සංවර්ධනයෙන් බලාපොරොත්තු විය යුතුය.
සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි (1986) පූර්විකාව ප්‍රකාශ කරන්නේ සංවර්ධනය යනු ඒ සඳහා ඔවුන්ගේ ක්‍රියාශීලි, නිදහස් හා අර්ථාන්විත සහභාගීත්වය පදනම් කරගනිමින් සමස්ත ප්‍රජාවගේත් සියළුම පුද්ගලයන්ගේත් සොබාදහමේ යහපැවැත්ම වැඩි කිරීමත්, සංවර්ධනයේ ප්‍රතිලාභයන් සාධාරණ ලෙස බෙදා හැරීමත් අරමුණු කරගත් පුළුල් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ක්‍රියාත්වයක් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමෙහි පළමු සභාපතිවරිය (1946 සිට 1951 දක්වා) ලෙසත් කටයුතු කළ රූස්වෙල්ට් මහත්මිය 1947 දී මෙසේ ප්‍රකාශ කර සිටියාය. “අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප ලෝකය සඳහා වූ අයිතිවාසිකම් ප්‍රකාශනයක් සකසමින් සිටින බවත්, ඉතාමත්ම වැදගත් අයිතිවාසිකම් අතුරින් එකක් වන්නේ සංවර්ධනය වීම සඳහා අවස්ථාව සැලසීම බවත්ය.” මෙම ප්‍රකාශය සිදුකළේ විශ්ව මානව හිමිකමි ලියවිල්ල නිර්මාණ කරන කාලයේය.
එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රජ්‍යන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය. තිරසාර සංවර්ධනය යන්නෙහි මුලික අරමුණ හා අන්තර්ගතය මෙය වේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව නිර්මාණය කිරීමට සක්‍රීය දායකත්වයක් දුන් පරිසරවේදින් ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නේ නව සංවර්ධන මාවත් තෝරා ගැනීමේදී හා පාරිසරික සංවේදී ක්‍රියාකරකම් කිරීමේදී වැඩි බරක් පරිසරය පැත්තට තබන ලෙසය. අපට සංවර්ධන ව්‍යාපෘති සිදු කළ හැකිය. නමුත් සොබාදහම නැවත නිර්මාණය කළ නොහැකිය. එම නිසා කළ යුත්තේ නිර්මාණය කළ නොහැකි සොබාදහම ආරක්ෂා කරගනිමින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු කිරීමයි.
පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්තානය වෙනුවෙන්.
ASK