දෙසැම්බර් 1 කියන්නෙ ලෝක ඒඩ්ස් දිනය. ඒක කොහොමද සුබ වෙන්නේ.
ඒඩ්ස් කියලා කියන්නේ වයිරසයක් නිසා හට ගන්නා රෝගයක්. මේ රෝගකාරක වයිරසය හඳුන්වන්නේ HIV එහෙම නැත්නම් මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය කියලා. ඒ වයිරසය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල විනාශ කරනවා. ඒ නිසා ප්‍රතිශක්තිය හෙවත් රෝගවලින් ආරක්ෂා වීමේ හැකියාව අඩු වෙලා ශරීරය ආසාදනවලට ගොදුරු වෙනවා. වයිරසය බෝ වෙලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා අඩු මට්ටමකට පත් වුණාම ඒඩ්ස් රෝගය හැදිලා කියලා කියනවා. ඒ තත්ත්වයට යන්න වයිරසය ඇතුළු වෙලා වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. HIV ආසාදනය මුලින්ම රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ. ඒ කියන්නේ ඔබ ආසාදනය වී ඇත්නම් ඒ බව ඔබට දැනෙන්නේ නෑ. ඒත් වයිරසය වෙනත් කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්.
මේ වයිරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන ප්‍රධානම ක්‍රමය තමයි HIV ආසාදිත පුද්ගලයෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම. ඒ නිසා අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන අයට මෙය බෝ වීමට දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබේ ලිංගික සබඳතා අන්‍යෝන්‍ය විශ්වාසවන්තයෙකුට පමණක් සීමා කරන්න. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවකදී කොන්ඩම් නිවැරදිව භාවිත කරන්න.
ඒ වගේම ආසාදිතයෙකු විසින් කලින් භාවිත කරන ලද විෂබීජහරණය නොකළ එන්නත් උපකරණ නැවත භාවිත කිරීමෙනුත් වයිරසය ශරීරගත වෙන්න පුළුවන්. කටු මඟින් මත්ද්‍රව්‍ය ගන්න අය අතරේ රෝගය පැතිරෙන්කේ ඒකයි. වයිරසය ආසාදනය වන තවත් ක්‍රමයක් තමයි ආසාදිත මවකගේ සිට දරුවාට ගර්භණී සමයේදී, හෝ ප්‍රසූතියේදී බෝ වීම. මව්කිරි හරහා වයිරසය දරුවාට යන්නත් පුළුවන්. ආසාදිත රුධිර කොටස් පාරවිලයනය කිරීම නිසාත් වයිරසය බෝ වෙනවා. රුධිර දායකයින් පරිත්‍යාග කරන රුධිරය HIV ඇතුළු තවත් රෝග සඳහා පරීක්ෂා කරන නිසා එහෙම බෝ වෙන්නෙනම් ඉතාමත් කලාතුරකින්. HIV වයිරසය බෝ නොවෙන්නෙ කොහොමද කියන එකත් වැදගත්. ආහාරපාන බෙදාගැනීමෙන්, ඇඳුම් පැළඳුම් පොදුවේ භාවිත කිරීමෙන්, තොල් සිප ගැනීමෙන් වගේම එකම වැසිකිළිය භාවිත කිරීමෙන් වයිරසය බෝවෙන්නෙ නෑ.
අවාසනාවට තාමත් ඒඩ්ස් සම්පූර්ණයෙන්ම සුව කරන ප්‍රතිකාරයක් නෑ. හැබැයි දැන් තියෙන ඖෂධ මඟින් සිරුරේ වයිරස් ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට ගේන්න පුළුවන්. එතකොට ශරීරයේ ප්‍රතිශක්තිය පවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි නොකඩවා බෙහෙත් ගැනීමත් නිරන්තරව තත්ත්වය පරීක්ෂා කර ගැනීමත් වැදගත්. මේ ඖෂධ දිවයින පුරා තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයෙන් නොමිලේම ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශාල සේවාවන් සායනය ලබා දෙනවා. උදාහරණයක් විදිහට මවකට ඒඩ්ස් තියෙනවනම් දරුවට මව්කිරි දීමෙන් රෝගය බෝ වන නිසා මව්කිරි වෙනුවට දෙන්න කිරිපිටි පවා ඒ සායනයෙන් ලබා දෙනවා. පුදුමයි නේද?
අනිත් වැදගත්ම දේ තමයි තමන්ට HIV ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම. මුලින්ම සඳහන් කරපු අවදානම් සාධක එකක් හෝ කිහිපයක් තියෙනවා නම් පරීක්ෂණයක් කර ගැනීමෙන් රෝගය කලින් හඳුනාගෙන පාලනය කරන්නත් අනික් අයට බෝ වෙන එක වළක්වන්නත් පුළුවන්. ප්‍රතිදේහජනක සහ ප්‍රතිදේහ පරීක්ෂණ් මඟින් රෝගය පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. මේ පරීක්ෂණත් ලිංගාශ්‍රිත රෝග සායනයෙන් නොමිලේම පහසුවෙන් කර ගන්න පුළුවන්. ඔවුන් ඔබේ රහස්‍යභාවය රකීවි.
එතකොට අපි කොහොමද ඒඩ්ස් දිනය සුබ කර ගන්නේ?
ඔබට ඒඩ්ස් නැත්නම් මේ අවුරුද්දෙ හදා ගන්නෙ නැතුව ඉන්න.
තියෙනවනම් හරියට බෙහෙත් ගන්න.
ෂුවර් නැත්නම් පරීක්ෂා කර ගන්න.
එතකොට ඔබටත් සුබ ඒඩ්ස් දිනයක් උදා වේවි.
ලිංගාශ්‍රිත රෝග සායනයේ ක්ෂණික ඇමතුම් අංකය: +94 (0) 70 3 733 933
~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න
RN