ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති වීමේ කිසිදු ඉඩක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා අවධාරණය කරයි.
ඉන්ධන සහ ගෑස් ප්‍රමාණවත් සංචිත රට තුළ පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව ඩීසල් ඉදිරි දින 20කට මෙන්ම 92 පෙට්‍රල් ඉදිරි දින 20කට ප්‍රමාණවත් ලෙස පවතින අතර බොර තෙල්ද රට තුළ සංචිත පවතින බව ඔහු පවසයි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත දින තුනක් ඉන්ධන නැව් බාගැනීමට නොහැකි තත්ත්වයක් පැවතියද ඊයේ දිනය වන විට ඒ සියල්ල යථාතත්ත්වයට පත්ව තිබේ.
ගං වතුරට යට වූ ඉන්ධන පිරවුම් හලද යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ඒවාට ද ඉන්ධන බෙදා හැරීම අරඹා ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.
”සෙනසුරාදා සහ ඉරිදාත් තෙල් බෙදා හැරීම කළා. නුවරට තෙල් කුරුණෑගල ගලගෙදර හරහා යැව්වා. බදුල්ල, මාතර, වැල්ලවාය හරහා තෙල් යවනවා. මහියංගනය පැත්තටත් ගැටලුව තිබුණා. වැල්ලවාය හරහා ඒ පැත්තෙන් තෙල් යවල තියෙනවා. නුවරඑළියත් පාර ක්ලියර් කරලා දුන්නා. කොටගලින් නුවරඑළියටත් තෙල් යවනවා. මේ වෙද්දී යාපනය, වව්නියාව අනුරාධපුර පැත්තට තෙල් ගිහින් තියෙනවා. පුත්තලම ගැටළුවක් තිබුණා. කුරුණෑගල හරහා ඒකට වැඩපිළිවෙලක් යෙදුවා. ගමන් කරන්න බැරි ප්‍රදේශවල විතරයි තෙල් යන්න බැරුව තියෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත දෙසැම්බර් මාසය සඳහා ඉන්ධන මිලේ වෙනසක්ද සිදුනොවුණි.
