*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා! (2 කොටස)

සමලිංගිකත්වය ඇත්තෙන්ම සංස්කෘතියට පටහැනි ද? රටේ සභ්‍යත්වයට එරෙහි ද? යන මැයෙන් අප මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ පළමු කොටස ඔබට ගෙන එනු ලැබුවා. 

මෙම සාකච්ඡාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වූයේ මෑත දිනයේදී කොවිඩ් වසංගතය ඇතුළත හා ඉන් පිටත LGBT+ ප්‍රජාව පාදක කොට ගත් පුවත් කිහිපයක් ම මාධ්‍ය තුළ දක්නට ලැබීමත්, ඒ ඔස්සේ LGBT+ ප්‍රජාවට බලවත් අසාධාරණයක් සිදූවූයේ යැයි අප විශ්වාස කරන නිසාත් ය. අප අතරම ජීවත් වන එක්තරා ජන කණ්ඩායමක් පිළිබඳ අප අතර පවතින්නේ කෙතරම් අඩු දැනුමක් ද යන්න පසක් වන්නේ LGBT+ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මහජනතාව පමණක් නොව ජනතා නියෝජිතයින් පවා සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදීයි.

අද දිනයේ දිග හැරෙන්නේ දමිත් චන්දිමාල් මහතා සහ අප අතර පැවති සංවාදයේ දෙවෙනි කොටසයි. අද දින ලිපිය පුරාවට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. මෙම තොරතුරු ජනගත කිරීමට දේදුනු සංවාද පිටුව ලබා දෙන දායකත්වය පිළිබඳව ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.


ඔබ ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයෙක්. ලෝකයේ විවිධ රට වල ඒ ඒ සංස්කෘතීන් වලට ආවේණික වූ ලිංගික හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සුළුතර කණ්ඩායම් ජීවත් වනවා. ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ එවන් ජන කණ්ඩායම් සිටිනවා ද?

ලංකාවේ නච්චි ප්‍රජාව ලංකාවට ආවේණික සුළුතර ලිංගික ප්‍රජාවක් ලෙස ගත හැකියි. හැබැයි නච්චි ප්‍රජාවේ ඉතිහාසය ගත්තම බොහෝ විට පෙනෙන්නේ එම ප්‍රජාවත්, 19 වැනි සියවසේ සිට ලංකාවේ නගර ආශ්‍රිතව ඒකරාශි වූ සමලිංගික සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගෙන් සෑදුනු එකක් බවයි. ඊට වඩා පැරැණි අනන්‍යතා ගත් විට, ත්‍රිපිටකයේ ලිංගිකත්වය ගැන සාකච්ඡාවට අපිට යන්න වෙනවා. බෞද්ධ පොතපතවල ගැහැණිය, පිරිමියා කියන එකට අමතරව, පණ්ඩක, උභතොභ්‍යඤජනක, නපුංසක කියන අනන්‍යතා හමු වෙනවා. හැබැයි මේ අය ප්‍රජාවන් විදියට ලංකාවේ ජීවත් වූ බවට සාක්ෂි නැහැ. එහෙම වෙනම ප්‍රජාවක් විදියට ජීවත් නොවීමෙන්ම හෙළි වෙන යථාර්ථයක් වෙන්නේ මේ අය අනෙක් අය මෙන්ම කිසි වෙනසක් නැතිව ජීවත් වූ බවයි. ලිංගිකත්වය නිසා වෙනම ප්‍රජාවක් ලෙස ජීවත් වීම අවශ්‍ය වන්නේම ප්‍රධාන වශයෙන් ලිංගිකත්වය නිසා සිදුවන කොන් කිරීම, වෙනස් කොට සැලකීම නිසායි. එහෙම වෙනස් කොට නොසලකන සමාජයක් තුළ වෙනම ප්‍රජාවක් ලෙස ජීවත් වීම අවශ්‍ය වන්නේ ඇයි? කියා කල්පනා කර බලන්න. 


නෝචි කෙල්ලන් | දේදුනු සංවාද


නමුත් අප එවන් ජන කණ්ඩායම් පිළිබඳ පොතපතේ කියවා නැහැ?

කලින් පිළිතුරේ මේකට යම් උත්තරයක්  දී තිබෙනවා. විනය පිටකයේ පාරාජිකා පාලිය, උම්මග්ග ජාතකය ආදී යම් යම් පොතපතවල මේ අනන්‍යතා ගැන සඳහන් වෙනවා. ඊට අමතරව මහාභාරතය, කාම සූත්‍රය වැනි හින්දු ප්‍රභවයක් ඇති පොතපතවලත් මේ අනන්‍යතා ගැන තියෙනවා. නච්චි ප්‍රජාව තවමත් ජීවත් වෙනවා. හැබැයි පොදුවේ ගත්තම ගොඩක් පොතපතවල මෙවැනි ප්‍රජාවන් ගැන විස්තර සඳහන් වෙන්නේ නැහැ. මේකට උත්තර සෙවීමේ දී අප ඇසිය යුතු වන්නේ අතීතයේ අතීත ඉතිහාසය ලිව්වේ කවුද? ලිව්වේ ඇයි යන්නයි. බොහෝ විට අතීතයේ අතීත කතා ලියා ඇත්තේ රජවරුන්ගේ ඉතිහාසය සහ ආගමික ඉතිහාසය ගැන ප්‍රකාශ කිරීමටයි. සිවිල් ජනතාවගේ ඉතිහාසය ගැන මොකුත්ම නැති තරම්. විශේෂයෙන්ම පොතපත ලියූ ආගමික පසුබිමක් ඇති අය ගිහියන්ගේ ලිංගිකත්වය පමණක් නොව, අනෙකුත් දෑ පවා වාර්තා කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වීම අපිට තේරුම් ගත හැකි විය යුතුයි. ලිංගිකත්වය ගැන විතරක් නෙමෙයි, අතීතයේ ගත් ආහාර ගැන පවා සඳහන් වෙන පොතපත ඉතා අඩුයි. හැබැයි අතීතයේ යුද්ධ ගැන තොරතුරු, ගොඩනැගූ දාගැබ් වෙහෙරවිහාර ගැන තොරතුරු අපිට එමට හමු වෙනවා.


ශ්‍රී දළදා මාළිගාවේ සිවිලිමේ දැක්වෙන චිත්‍රයකි | දේදුනු සංවාද

ඇත්තෙන්ම ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය, ප්‍රකාශනය, ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ ආදී කරුණු තුළින් L, G, B, T, I, Q, A… ආදී විවිධ අන්දමින් පුද්ගල කොට්ඨාශ වර්ග කරනු ලබනවා. නමුත් මේ සියළු සංකල්ප බටහිර විද්‍යාව තුළින් හඳුනා ගත් සංකල්ප. ඔබ ඉහත සඳහන් කළ ජන කණ්ඩායම් LGBTIQ වර්ණාවලිය තුළ නියෝජනය කරන්නේ කුමන සංධිස්ථානයක් ද?

බටහිර විද්‍යාව මේවා පැහැදිලි කළා, සහ කාණ්ඩවලට ගොනු කළා විතරයි. මුලින්ම හඳුනා ගත්තේ නැහැ. ලෙස්බියන් (Lesbian) කියන වචනය එන්නෙ ලෙස්බොස් කියන දිවයිනේ ජීවත් වූ ග්‍රීක කිවිඳිය සැපෝ නිසායි. ඇය කාන්තා කාන්තා ආදරය ගැන කවි ලියා තිබෙනවා. ලෙස්බියන් කාන්තාවො අතීතයේ සිටම ජීවත් වුනා.


උපුටා ගැනීම: දේදුනු සංවාද

ගේ (Gay) කියන වචනය ගත්තොත් ඒක මුලින්ම ලිංගික වෘත්තියේ නියැලුනු කාන්තාවන් හැඳින්වීමට භාවිතා වූ කිසියම් දුරකට සෘණාත්මක තේරුමක් තිබුන වචනයක්. නවසිය හැට ගණන්වලින් පස්සෙ තමයි මේ වචනය ජනප්‍රිය වෙන්නේ. විශේෂයෙන්ම ස්ටෝන්වෝල් කැරැල්ලෙන් පස්සෙ. “අමුතු”/ “වෙනස්” කියන තේරුම ඉස්සර තිබුන කුයර් (Queer) කියන වචනෙ. ඒ වචනය සමලිංගික අයට අපහාස කරන්න පාවිච්චි කරපු වචනයක්. එම වචනය කුයර් මිනිස්සු ධනාත්මක විදියට පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඒ තුළින් වෙනම විප්ලවයක් නිර්මාණය වුනා. ට්‍රාන්ස්ජෙන්ඩර් (Transgender) වාගේ අනන්‍යතා අතීතයේ සිට පැවැතුනු අනන්‍යතා කාණ්ඩ ගොඩක් එකතු කරන්න විද්‍යාවෙන් හොයා ගත්ත වචනයක්.

නච්චි කියන ලංකාවේ ජන කොටස දාන්න වෙන්නෙ සංක්‍රාන්ති සමාජභාවී සහ සමලිංගික පිරිමි කියන දෙක අතරෙ ඇති අනන්‍යතාවයක් විදියට. උභතොභ්‍යඤජනක සලකන්න වෙන්නේ අන්තර්ලිංගික (Intersex) කියන අනන්‍යතාවයේ කොටසක් විදියට. නපුංසක කියන එකත් අන්තර්ලිංගික අයගෙ කොටසක් විදියට තමයි හිතන්න වෙන්නෙ. පණ්ඩක කියන එක එච්චර පැහැදිලි නැහැ. නමුත් සංක්‍රාන්ති සමාජභාවී (Transgender) කියන පුළුල් අනන්‍යතා රාමුවට අයිති එකක් යැයි හිතන්න පුළුවන්.


රොබර්ට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon (සිංහලෙන් එදා හෙලදිව) නම් කෘතියේ බොහෝ විට ඉතිහාසඥයින් විසින් අර්තනිරූපණය නොකර මඟහැර යන කරුණක් තිබෙනවා. ඒ පිළිබඳව අපට කියන්න පුළුවන් ද?

මං කලින් කිව්වා වගේ සිවිල් මිනිස්සුන්ගෙ ඉතිහාසය ගැන කිසියම් විදියකට වාර්තා ගත වුනේ ලංකාවට පැමිණි විවිධ සංචාරකයන්ගේ පොතපත තුළයි. මේ අතර ඉංග්‍රීසින් උඩරට යටත් කර ගැනීමට පෙර එහි තිබුනු ජනසමාජය ගැන තේරුම් ගැනීමට ඇති වැදගත් පොතක් ලෙස රොබට් නොක්ස් ගේ An Historical Relation Of The Island Ceylon කියන පොත වැදගත් වෙනවා. මේ සාකච්ඡාව තුළට ඒ පොත වැදගත් වෙන ප්‍රධාන කාරණය ඒ කාලයේ තිබුන ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන විශ්වාස සහ සංස්කෘතිය අද ඒවායෙන් කොයිතාක් දුරට වෙනස් වෙනවාද යන්න බැලීමට අවස්ථාවක් ලැබෙන නිසයි.


රොබට් නොක්ස් ගේ An Historical Relation Of The Island Ceylon | ඡායාරූපය: කොළඹ විශ්ව විද්‍යාලය

මේ පොතේ මෙහෙම සටහනක් තියෙනවා මහ රජතුමා ගැන.  

“ඔහුගේ බොහෝ සේවකයන් පිරිමි ළමයි සහ තරුණ කොල්ලන්ය. ඔවුන්ට ලස්සන පෙනුමක් ඇති, උසස් කුල පරම්පරාවකින් පැවතෙන අයයි. දිසාවේලා සහ රටේ මහත්තුරුන්ට මේ පිරිමි ළමයි තෝරා එවන ලෙස ඔහු විසින් අණ කරනු ලබයි.  ආකර්ෂණීය පෙනුමක් ඇති, හොඳ කුල පරම්පරාවක් ඇති අය මෙසේ රජ මාළිගාව වෙත එවනු ලබයි. මේ පිරිමි ළමයින්ගේ හිස් බූ ගාන අතර, දිගු හිස කේ පහලට එල්ලේ. ඔහු සොදොමි ගැන වැරදි නොවන අතර, ඒ පාපය ගැන ඔවුන් ගැන සඳහන් වෙනුද මා එතරම් අසා නැත.” 


මූලාශ්‍රය: Gutenberg

ඒ කාලයේ සොදොමි යනුවෙන් අදහස් වෙන්නේ ආගමික සදාචාරයට පිටින් පවතින ලිංගික ක්‍රියාවන්. සොදොමි යන වචනය වර්තමානයේ බොහෝ දුරට භාවිතා වෙන්නේ සමලිංගිකත්වය හැඳින්වීමටයි. මේ පිරිමි ළමයි ගැන සඳහන ලියද්දී එක වරම ‘සොදොමි’ යන වචනය ගෙනෙන්නේ රජතුමා එවැනි ක්‍රියාවල නියුතු වූ නිසා දැයි සැකයක් මතුවෙනවා.

නොක්ස්ගේ පොතට අමතරව 1547 දී පෘතුගීසින් විසින් ගෝවේ පාලකයා වෙත ලියූ ලියුමක ද  මීට සමාන විවේචනයක් සඳහන් වෙනවා. කෝට්ටේ රජතුමා ඇතුළු ප්‍රභූන් සොදමි වරදේ කිසි ලැජ්ජාවක් නැතිව නියැලෙන බවත්, එහි ජීවත් වීම බය ගෙන දෙන බවත් එහි සඳහන් වෙනවා.


කෝට්ටේ 7වැනි බුවනෙකබාහු රජු (1524-1551 AD) සමකාමියකු විය. සමලිංගිකභීතිකාවෙන් පෙළුනු පෘතුගීසි පාලකයෝ මෙයින් බියට පත්ව, 1547 නොවැම්බර් 27 දරන දින ගෝව සිටින පෘතුගීසි ආණ්ඩුකාරයා වූ ජෝවා ද කැස්තෝට ලිපියක් ලියන අතර මෙහි සඳහන් වන්නේ කෝට්ටේ රාජධානිය පුරා සමලිංගික පාපය පැතිර තිබූ බවත්, එහි ජීවත් වීම පෘතුගීසින්ට බිය ගෙන බවත්ය. තවදුරටත් එම ලිපියට අනුව මෙම “කැත ක්‍රියාව” කිරීම ගැන කිසියම් රාජධානියේ පිළිගැනීම ඇති පුද්ගලයෙක් අවලාද නැගුවේ නම්, ඔවුන් පිළිතුරු දෙන්නේ තමන්ගේ රජතුමා කරන දෑ තමන් කරන බවත්, එය චාරිත්‍රය බවත්ය.
7 වැනි බුවනෙකබාහු රජු (1524-1551) යනු විජයබාහු රජුගේ වැඩිමල් පුතා වෙන අතර, 1551 හි සිදුවෙන ඔහුගේ මරණයට කෙටි කළකට පෙර, රජතුමා තමන්ගේ ඊළඟ උරුමක්කාරයා ලෙස තමන්ගේ මුණුපුරා වෙන ධර්මපාල කුමරු නම් කළේය
| ‍උපුටා ගැනීම: දේදුනු සංවාද

රොබට් නොක්ස්ගේ පොතේ දැන් අපිට ඇති සංස්කෘතික විශ්වාසවලට පහර දෙන දේවල් සඳහන් වෙනවා. තරුණ තරුණියන් දෙපිරිසම තමන්ගේ හිසේ මල් පළඳනවා. දැන් පිරිමි හිසේ මල් පළදන්නෙ නැහැනෙ. තව කාරණයක් වෙන්නේ කේන්දරය අපල ගෙන දරුවන් කෑම බීම නොදී තැබීමෙන් හෝ දියේ ගිල්වීමෙන් බිළිඳු වයසේ දීම මරා දමන බවයි. එසේම පිරිමින් සිය බිරිඳ හෝ දියණිය සිය කිට්ටු යහළුවන්ට, ගරු කරන පුද්ගලයන්ට නිදි යහනට රැගෙන යාමට ලබා දෙන බවත්, සමහර විට මව විසින් කිසියම් ගනුදෙනුවකට දරුවන් ලබා දෙන බවත් කියවෙනවා. එසේම නිදා ගන්න ගෙදරක තිබුනේ එක කාමරයක් බවත්, අහල පහල ගෙවල්වලට ගොස් එකට නිදා ගැනීම ගෞරවයක් බවත් කියවෙනවා. එසේම තමන්ට ගැලපෙන විවාහයක් ලැබෙන තුරු කෙටි කලක් එකට ගත කර කසාදය අතහැර අලුත් කසාදයක් පටන් ගැනීම කිසිදු අගෞරවයක්, අපකීර්තියක් ගැන හැඟීමක් නැතිව කළ බවත් කියවෙනවා. එසේම ගැහැණු පිරිමි අතර අනියම් සම්බන්ධතා බහුල වූ බවත් අතටම අහු වුනොත් සැමියාට බිරියගේ හොර සැමියා මරා දැමිය හැකි වුවත්, එය සාමාන්‍යයෙන් ගණන් නොගත් දෙයක් බවත් කියවෙනවා.

මේ කරුණු ගැන බැලූ කල අපිට පෙනෙන්නේ වර්තමාන සමාජයේ පවතින ලිංගික සදාචාර බොහොමයක් බටහිර ජාතීන්ගේ පැමිණීමෙන් පසු මෙරටට ලැබෙන දේවල් බවයි. ඊට පෙර අපේ ජන සමාජයේ ලිංගිකත්වය ගැන වෙනස් විදියේ නිදහසක් පැවැතී තිබෙනවා.


ඡායාරූපය: දේදුනු සංවාද


මෙලොව ඇතැම් ආගම් සහ ආගමික පුස්තක තුළින් සමලිංගිකත්වය පාපයක් යැයි පෙන්වා දීමට කටයුතු කරනු ලබනවා. බහුතරයක් බෞද්ධයින් ජීවත් වන ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වයට ආගම බලපාන්නේ කෙසේ ද?

සියලු ආගම් අදහන ආගමිකයන් අතර L,G,B,I,Q පුද්ගලයන් මෙන්ම, සමලිංගික විරෝධයෙන් පෙළෙන අයත් සිටිනවා. බොහෝ ආගම්වල ප්‍රධාන පණිවුඩය වන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය, අන්‍යොන්‍ය සහයෝගය වාගේ දේවල්. හැබැයි පොදුවේ ආගම් නිසා ලෝකයේ ඇති වූ යුද්ධ ප්‍රමාණය, සහ ඒවායෙන් නැති වූ ජීවිත ප්‍රමාණය අති විශාලයි. විවිධ ‌ඓතිහාසික වැරදීම් මත ආගම් ආදරයට වඩා වෛරයට භාවිතා වෙන අවස්ථාත්, එකිනෙකාට සහයෝගය දැක්වීම වෙනුවට එකිනෙකාට හානි කර ගැනීමත්, සමාජයෙන් කොන්වන්නන්ට උදව් කිරීම වෙනුවට, තවදුරටත් කොන් කිරීමත් ආගම් නාමයෙන් සිදු වෙනවා. අනෙකුත් ආගම්වලට මෙන්ම බුද්ධාගමටත් මේ කාරණය පොදුයි. L,G,B,I,Q පුද්ගලයන් හෝ එසේ යැයි සැක කරන අය; 

– වැරදි බව කීමට, 
– ඔවුන් ලැජ්ජාවට පත් කිරීමට, 
– තනතුරුවලින්, වරප්‍රසාදවලින් ඉවත් කිරීමට, 
– ඔවුනට කස පහර දීමට, වේවැල් පහර දීමට, සිර දඩුවම් හෝ වෙනත් දඩුවම් ලබා දීමට, 
– මරණයට පත් කිරීමට, පණ පිටින් ගිනි තැබීමට, හිස ගසා දැමීමට හෝ 
– සියදිවි නසා ගන්නා තත්වයට පත් කිරීමට 

ආගම යොදා ගෙන තිබෙනවා. ආගම් කිසියම් කාලයකට පසු යොදා ගෙන ඇත්තේ ආගමික නායකයන් ඉගැන්වූ දේවලට වඩා, ආගම සහ රාජ්‍යය අතර ගනුදෙනුවක් ලෙසයි. ඉතින් ආගම් පාලකයන්ට අවශ්‍ය වූ මෙවලම් ලෙස යොදා ගත් අවස්ථා තිබෙන අතර, එය ආගමික සංස්ථා හා ආගම සම්බන්ධ ඉතිහාසයම වෙනස් වීම්වලට බලපා තිබෙනවා. මෙය බොහෝ ආගම්වලට පොදු කාරණයක්. දහමේ, දර්ශනයේ කවර දේවල් ඉගැන්වූවත්, එයින්ම ආගම මෙවලමක් ලෙස භාවිතා වෙන ආකාරය තීරණය වෙන්නේ නැහැ. අවිහිංසාවාදය පදනම් කර ගත් ආගමක් මිනිසුන්ට හිංසා කිරීමට යොදා ගන්න වුනත් පුළුවන්.


උපුටා ගැනීම: දේදුනු සංවාද

බුදු දහම ගිහියන්ගේ ලිංගිකත්වය පාලනය කිරීමට උත්සාහ කරන ධර්මයක් නොවෙයි. නමුත් පංචශීලයේ තුන්වැනි ශික්ෂාපදය වන කාමයෙහි වරදවා නොහැසිරීම යන්න පනවා ඇත්තේ එහෙම අදහසකින් බවට දැන් සමාජයේ මතයක් තියෙනවා. ලිංගික හැසිරීම් සිදු කිරීමේ දී  අනික් අයව රැවටීම, අකමැත්තෙන් රිදවීම, හිංසා කිරීම, ප්‍රචණ්ඩත්වය වාගේ කරුණු ගැන ස්වයං පාලනයක් ඇතිව කටයුතු කිරීමත්, ලිංගික හැසිරීම් ගැන වගකීමෙන් කටයුතු කිරීමත් එයින් අදහස් වෙන බව මගේ හැඟීමයි. පංච ශීලය බුදු දහම විසින් ගිහියන්ට මග පෙන්වීමට පිළිපැදිය යුතු යැයි දේශනා කළ ධර්ම වුනත්, ඒවා බුදුන් පහළවීමට පෙර කුරුධර්ම නමින් කුරු රටේ ජනතාව අතර තිබූ ධර්ම වන බව කුරුධර්ම ජාතකයේ කියවෙනවා. මේ කුරුධර්ම ජාතකයේ හැටියට හොඳින්ම පංච ශීලය (කුරුධර්මය) රකින්නේ ඒ නගරයේ සිටින වෛශ්‍යා දියණියයි. වහරේ යෙදෙන ‘ගණිකාව’ කාමයෙහි වරදවා නොහැසිරීම රැකීමෙන් පළමු වෙනියා වන්නේ කොහොමදැයි යන ප්‍රශ්නය අපි මෙතැනදී ඇසිය යුතු වෙනවා. ගණිකාවක් වෙතට යෑම නූතන අර්ථයෙන් කාමයේ වරදවා හැසිරීමක් බව අද බොහෝ දෙනෙක් කියාවි. නමුත් බුදුන් දේශනා කළ ධර්මයේ එහෙම අදහසක් නොතිබූ බව කුරුධර්ම ජාතකය කියවූ විට පැහැදිලිව පෙනෙනවා.

කාමය ගැන බෞද්ධ ඉගැන්වීම ගත්තොත් ඒක තුන්වැනි ශික්ෂා පදයට එහා යනවා. එය ලිංගික හැසිරීමට සීමා වෙන්නේ නැහැ. ඇසින්, කනින්, දිවෙන්, නාසයෙන් හා කයෙන් ලබන ආශ්වාදය පංච කාමයයි. මේ කාම සම්පත්වල ඇලීමෙන් දුක හට ගන්නා බව බෞද්ධ ඉගැන්වීමයි. ඉතින් කිසියම් කෑමකට අනවශ්‍ය ලෙස ගිජු වෙන පුද්ගලයෙක් ගත්තත් ඒක නිසා තවත් දුකට තමයි ඒ පුද්ගලයා යන්නේ. බුදු දහම අගය කරන්නේ ඇලීම් ගැලීම් අඩු, ආශාවන්වලින් අප පාලනය නොවන ජීවන ක්‍රමයකුයි. 


ඡායාරූපය: දේදුනු සංවාද

භික්ෂුන්ගේ ලිංගික හැසිරීම් බුදු දහම දකින්නේ වරදක් ලෙසයි. මේ කිසිවක් නිසා නොව, නිර්වාණය ලබා ගැනීමේ මාර්ගයේ දී ලිංගික හැසිරීම් යනු සසරට අප බැඳ තබන ආශාවන් බවත්, ලිංගික හැසිරීම්වල යෙදෙන අයට නිර්වාණයට ළගා වීම අපහසු දෙයක් බවත් බුදු දහම විශ්වාස කළ නිසයි. විශේෂයෙන්ම තමන්ගේ කැමැත්තෙන් ශරීරයක් තුළට පුරුෂ ලිංගය හෝ වෙනත් දෙයක් ඇතුළු කිරීමෙන් සිදු කරන ඕනෑම ලිංගික හැසිරීමක්  භික්ෂූන්ට සැලකුණේ පාරාජිකාවක් ලෙසයි. ඒ කියන්නේ නිර්වාණයට යන ගමනේ අනිවාර්ය පැරදීමක් ලෙසයි. පාරාජිකාවකට ලක් වූ භික්ෂුවක් තවදුරටත් භික්ෂුවක් වීමට සාමාන්‍යයෙන් සුදුසු නැහැ. නැතිනම් සාමණේර හිමිනමක් ලෙස නැවත ගමන පටන් ගත යුතුයි. එසේ වුවත් පාරාජිකා නොවන (සිරුරට ලිංගය ඇතුළු නොකරන) සමලිංගික හැසිරීම් (උදාහරණ- කලවා සංසර්ගය; මෙය ගල් කැපීම යනුවෙනුත් හඳුන්වනවා) සම්බන්ධයෙන් පොහොයකර්ම කිරීමෙන්, ඒ ගැන වරද පිළිගැනීමෙන්, භික්ෂුවකට තවදුරටත් තමන්ගේ භික්ෂුත්වය පවත්වා ගෙන යා හැකියි.


කාමසූත්‍ර යනු වාත්ස්‍යාන නම් පඬිවරයකු විසින් ක්‍රිපූ 200 -ක්‍රිපූ 400 ත් අතර කාලයේ ලියන ලද මානව ලිංගික චර්යාව සම්බන්ධ සංස්කෘතික ග්‍රන්ථයකි. සමලිංගික ලිංගික හැසිරීම් ගැන ද එහි සඳහන් වේ. පිරිමි හා පිරිමි අතර, හෝ ගැහැණු හා ගැහැණු අතර සිදු වෙන සමලිංගික හැසිරීම් වරදක් ලෙස එහි කොතනකවත් දක්වා නැත. | උපුටා ගැනීම: දේදුනු සංවාද

සමලිංගිකත්වය වැරදි යැයි හැඳින්වූ කිසිදු සටහනක් ත්‍රිපිටකය තුළ නැහැ. නමුත් චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන්වන අධර්ම රාගය, විෂමලෝභ, මිථ්‍යාධර්මය යන තුන් ආකාරයේ පාපයන් සම්බන්ධයෙන්, ක්‍රිව 5 වැනි සියවසේ දී බුද්ධඝෝෂ හිමි විසින් ලියූ අටුවාවක ඇති කුඩා සටහනක් සමලිංගිකත්වය බුදු දහමට අනුව වැරැදි යැයි කීමට ලංකාවේ ඇතැම් භික්ෂූන් යොදා ගෙන තිබුනා. ලිංගික හැසිරීමක් හැඳින්වීමට ධර්මය වැනි වචනයක් භාවිතා කළා යැයි විශ්වාස කිරීම අපහසුයි. ත්‍රිපිටකය සමස්තයක් ලෙස බලන කල පැහැදිලිව පෙනෙන්නේ බුද්ධඝෝෂ හිමිගේ මේ අර්ථකථනය වැරදි බවයි. නමුත් එවැනි දෙයක් කිසිසේත්ම නොමැති වුනත් එවැනි දෙයක් බුදුදහම තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය යම් යම් දේශපාලනඥයන්ට, බලය ඇති අයවලුන්ට සහ ආගමික නායකයින්ට අවශ්‍ය යුගයක අපි ජීවත් වෙනවා.


සංක්‍රාන්තිසමාජභාවී පුද්ගලයන් සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති පොත් ගණන අල්පයකි. පසුගිය වසරේ ප්‍රකාශයට පත්වූ ශාන්ති දිසානායක ලියූ අංගනා නවකථාව, සේපාල සිට සංජු බවට පත්වෙන සංක්‍රාන්ති සමාජභාවී චරිතයක් වටා ගෙතුණු ලස්සන නවකතාවකි. මේ උපුටා ගන්නා කොටස 102 වැනි පිටුවෙනි. අංජනා සරසවි ප්‍රකාශනයකි | උපුටා ගැනීම: දේදුනු සංවාද

අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙන ‘අස්වාභාවික ලිංගික හැසිරීම‘ යන වචනය බයිබලයේ සඳහන් ඉගැන්වීම ආශ්‍රයෙන් සෑදී තිබෙනවා. එතැනදීත් මා කියන්නේ යේසුස් වහන්සේ එය එසේ කීවාද කියන කාරණය අදාළ වන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගම යටත්විජිතවාදී පාලකයන්ගේ මෙවලමක් බවට පත්වී තිබුනා. ඉතින් ආගමේ මෙසේ ඇතැයි කියමින් ඔවුන් ඉතා යහපත් දෙයක් කරනවා යැයි සිතාගෙන ලංකාවට මේ සදාචාර නීති රීති පැනවුවා. ඒ සදාචාර නීතිරීති අද වන විට ක්‍රිස්තියානි දහමට පමණක් අදාළව කතා වෙන්නේ නැහැ. බුදු දහමේ මොනවා තිබුනත් මිනිස්සු තමන්ට වුවමනා විදියට ආගම කියවා ගන්නා ආකාරයක් තියෙනවා. ඒ ක්‍රමයේ වින්දිතයන් වීමට සෑම විටම සිදු වන්නේ සමාජයේ කොන් කිරීමට, වෙනස්කම් කිරීමට ලක් වෙන්නට වෙන ප්‍රජාවන්ටයි. නූතන සමාජය දෙස වාගේම, අප කිසියම් විවේචනයන් සහිතව අපේ පැරැණි සමාජය සහ ආගම දෙසත් බැලිය යුතුයි. ඉතිහාසයේ යම් කෙනෙක් දෙයක් ලියා තැබුවා කියා නිවැරැදි වන්නේ නැහැ. සුනීත, සෝපාක මහණ වූ බුදු සසුනේ අඩුකුලේ අයට වෙනම නිකාය සෑදුනු බව අප අමතක නොකළ යුතුයි.


මේ පැණය ඇත්තෙන්ම අප පෙර සාකච්ඡා කළ සංස්කෘතියට අදාළ විය හැකියි. LGBTIQ ප්‍රජාව පිළිබඳ ඇතැම් නාගරික පුරාවෘත්ත (urban legends) ශ්‍රී ලංකාවේ පැවති බවට ඇතැම්හු පවසනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද? මෙය සත්‍යයක් ද, නැතිනම් මිත්‍යාවක් ද?

නිහාල් නෙල්සන් ගැයූ ගීතයක් මගේ මතකයට එනවා මෙතනදී. මේ ගීතය ‘ඔල්ගා දේවී’ නම් බයිලා ගීතයක්.

“සරමට හරි හැඩයි එයා
කලිසමටත් හැඩයි එයා
සාරියටත් ආස එයා
දන්නවාද කවුද කියා..” 

ඔල්ගා දේවී නැමති චරිතයක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. මේ ගීතය හරහා ඔල්ගා දේවී ව විස්තර කරලා තියන ආකාරය ගැන සිතා බැලුවොත්, ඇය ප්‍රජාවට සම්බන්ධයක් තිබෙනවා නේද යන්න අපට වැටහෙනවා. ඔල්ගා දේවී පුරාවෘත්තයක් නම් ඒ බවට පත් වෙන්නේ බොහෝ විට මේ ගීතය හරහායි. මා දන්නා තරමින් ඔල්ගා දේවි ගොඩක් පැරැණි චරිතයක් නොවෙයි. ඇය අනූ ගණන් දක්වා ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් ව සිටි බවත්, විවාහ උත්සවයක් ගෙන පිරිමියෙක් කසාද බැන්ද බවත් මා අසා තියෙනවා.  ඔය කියන ඔල්ගා දේවි අපි සමහර විට තනි පුද්ගලයෙක් විදියට නොදැන සිටියත්, ඔල්ගා දේවිලා නියෝජනය කරන සමාජ පන්තිය අපේ ගැමි සමාජවල ඉන්නවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔල්ගා දේවි ගමටම ප්‍රයෝජනවත් චරිතයක් වීමයි.

“භෘංගසේන බැඳපු දවසෙ කෑම හදන්නටත් ආපු
ප්‍රින්සි නංගි බැඳපු දවසෙ කොණ්ඩෙ හදන්නටත් ආපු
විලි මාමා මැරුණු දවසෙ වෙස්සන්තර කවි කියාපු
වල්ගාතරුව ඔල්ගා දේවි
පව්ඩර් මූණේ අලවලා බොරුවට ගෙම්බර් දමාපු
ගමේ තිබුන තොවිල්වලත් ගම්මඩුවක් නෑර ආපු
පිරිමි අස්සෙ රිංග රිංග ගෑනුන්ගෙන් බැනුම් අහපු
වල්ගතරුව ඔල්ගා දේවී”

ඇය නැතිව මගුල් ගෙයක්, මලගෙයක්, තොවිල් ගෙයක්, ගම්මඩුවක් කිරීම හරි දුෂ්කරයි. අපි අපේ ගම්වල ඉන්න ආච්චි සීයාලලාගේ අසා බැලුවොත් බොහෝ අය මෙවැනි චරිත ගැන දන්නවා. ඒත් ඒ අය ගැන විස්තර කොහෙවත් ලියැවී නැහැ. මා දකින විදියට ඔල්ගා දේවි නාගරික පුරාවෘත්තයක් ලෙසම සීමා කරන්නට අවශ්‍ය නැහැ. ඔල්ගා දේවිලා අනුරාධපුරෙත් ඉන්නැති, නුවරත් ඉන්නැති, වන්නියෙත් ඉන්නැති. දකුණෙත් ඉන්නැති. 


උපුටා ගැනීම: දේදුනු සංවාද

ටවර්හෝල් යුගය ගැනත් මෙතැනදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි. පිරිමි විසින් කාන්තා චරිතවලට රඟ පෑම අපේ ගැමි නාට්‍යවල සිදු වුනේ කාන්තාවන් රඟපෑම නොසුදුසු බවට තිබුනු  පරණ අදහස් නිසයි. ඒත් විසි වැනි සියවසේ මුල ටවර් හෝල් යුගය වන විට මේ අදහස වෙනස් වුනා. කාන්තාවන් පිරිමි චරිත රඟපෑමත්, පිරිමි කාන්තා චරිත රඟපෑමත් යන දෙකම කළා. විශේෂයෙන්ම සරලා බායි මෙතැනදී මතක් කිරීම ඉතා වැදගත්. එකල සරලා බායිගේ ස්ත්‍රී ලාලිත්‍යයට මුළු රටම වශී වූ කියවෙනවා. එහෙත් ඔහු උපතින් පිරිමියෙක්.


ඩේවිඩ් පේන්ටර් විසින් 1935 දී චිත්‍රයට නගන ලද “L’apres-midi” (සවස්කාලය) යනුවෙන් නම් කරන කළ මෙම තෙල් සායම් සිතුවමකි. උසින් සෙන්ටිමීටර 99ක් ද, පළලින් සෙ.මී. 122ක් ද වේ. මෙය එංගලන්තයේ බ්‍රයිටන් හි පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඩේවිඩ් පේන්ටර් (1900-1975) යනු ලංකාවෙන් බිහිවූ යුරෝපීය සම්ප්‍රදායේ චිත්‍ර ඇඳි විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකි. ජවහල්ලාල් නේරු ගේ නවදිල්ලියේ පිහිටි නිවසේ ඇති නිල චිත්‍රය, මහත්මා ගාන්ධිගේ කොළඹ නීති විද්‍යාලයේ ඇති චිත්‍රය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇති ජෝන් කොතලාවලගේ චිත්‍රය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති අයිවර් ජෙනින්ග්ස් ගේ චිත්‍රය අැඳ ඇත්තේ ඔහු විසිනි. ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙන අතර, එම විද්‍යාලයේ ද ඔහු කළ නිර්මාණ දක්නට ඇත. | උපුටා ගැනීම: දේදුනු සංවාද

සංක්‍රාන්ති කාන්තාවන් එකතු වී නාගරික ප්‍රජා කණ්ඩායම් ලෙස ජීවත් වූ අවස්ථාවන් ගැන කතන්දර කොළඹ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව එසේම තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල මෑත ඉතිහාසය වෙන තෙක්ම මෙවැනි අය සිටියා. මේවා ගැන නිසි අධ්‍යයනයක් කෙරී නැහැ. ඒ අය විවිධ කාරණාවන් නිසා මෙලෙස නාගරිකව එකතු වන්නට ඇති. එකක් විය හැක්කේ තමන්ගේ පවුල්වලින් මුහුණ පෑ වෙනස්කම් කිරීම් නිසා මේ අය නගරවලට සංක්‍රමණය වී කිසියම් ප්‍රජා කණ්ඩායම් ලෙස සංවිධානය වීමයි. අනික් කාරණය විය හැක්කේ ලිංගික වෘත්තියේ යෙදෙන කණ්ඩායම් ලෙස නාගරිකව පවතින අවස්ථා විය හැකියි.

එසේම ඒ ආශ්‍රිතව ලාංකිකව බිහිවන නච්චි අනන්‍යතාවයත්, නච්චි භාෂාව ගැනත් මෙහිදී මතක් කළ යුතුයි. නච්චි යන වචනය එන්නේ ‘නර්තනයේ යෙදෙන්නා‘ යන අදහසින් බවත් ඉන්දියානු ‘නෝච් කෙල්ලන්‘ යන වචනයෙන් ආරම්භ වූ බවත් විද්වතුන් අදහස් පළ කර තිබෙනවා. ලංකාවේ පෙරහැර ආශ්‍රිතව ලංකාව පුරා විවිධ ප්‍රදේශවලින් එන නච්චි පුද්ගලයන්ගෙන් එකතු වී කරන නැටුම් කණ්ඩායම් තවමත් පවතින බව තුෂාර මනෝජ් මෑත ලිපි කිහිපයක දීම මතු කර තිබුනා. එසේම නච්චි භාෂාවත් දැන් ලේඛන ගත නොකිරීම නිසා අතුරුදහන් වීගෙන යනවා. නච්චි භාෂාව කියන්නේ නච්චි අතර ඒ අයට විතරක් තේරෙන විදියට සන්නිවේදනය කර ගැනීමට ඇති සුවිශේෂී වචන කොටසකුයි. මේ වචන 100ක් – 200ක් විතර මා දන්නා තරමින් තිබුනා. ඒවායින් වචන කිහිපයක් අදත් භාවිතා වෙනවා.  නච්චි භාෂාව මා දකින විදියට නාගරිකව බිහිවූ සංස්කෘතික නිර්මාණයක් විය යුතුයි. එසේම එය ලිංගික වෘත්තිය හා සම්බන්ධයක් තියෙන්නත් ඇති. 

නාගරික පුරාවෘත්ත තිබෙනවා. ඒවා බොහොමයක් ලේඛනගත වී නැහැ. ලේඛනගත කිරීම සම්බන්ධයෙනුත් විවිධ අභියෝග තියෙනවා. මේ වාගේ තොරතුරු හෝ ස්ථාන හෙළි කිරීමෙන් දැනට ජීවත්ව සිටින අයට වෙන බලපෑම ගැනත් අපි ගැඹුරින් හිතන්න ඕනානේ.


ඔල්ගා දේවි, සරලා බායි පිළිබඳ කතාන්දර වාර්තා වන්නේ දිවයිනේ එක්තරා නගරයක්/නගර පදනම් කර ගනිමින්. ඒ අනුව, ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයින් ප්‍රජාවක් ලෙස වාසය කරන කලාප වෙනම තිබෙනවා ද?

මම කලිනුත් කිව්වා වගේ, කිසියම් ප්‍රදේශ තිබෙනවා. හැබැයි ලංකාවෙ හැම තැනින්ම එන මිනිස්සු තමා ඒවයෙත් ඉන්නෙ. එහෙම එක නගරයක් ප්‍රදේශයක් නම් කරන එක හරි නැහැ. ගැමි සහ නාගරික කියා වෙනසක් නැතිව LGBTIQ පුද්ගලයෝ රට පුරා හැම කාලෙකදිම ඉන්නවා.’


මීළඟට බලාපොරොත්තු වන්න: දශක දෙක හමාරක අතීතයට දිව යන ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජා අරගලය

පෙර ලිපිය:සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan