*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)

කොවිඩ් වසංගතය විවිධ ප්‍රජාවන්ට බලපෑ අන්දම පිළිබඳ අපි මීට පෙර කතා බස් කර තිබුණා. විවිධ හේතූන් මත ආන්තිකරණයට ලක් වන ජන කණ්ඩායම් අතර, LGBT+ ප්‍රජාව සුවිශේෂීත්වයක් ගනු ලැබුවේ, ලොක්ඩවුන් කිරීම, ඇඳිරිනීතිය, ආහාර හිඟය, ආර්ථික අර්බුදය ආදී කරුණු නිසා – සිය සීමාවන් තුළ පවත්වා ගත් ජීවිකාවන් ට මරු පහරක් එල්ල වීමත්, රජය විසින් ලබා දුන් සහනාධාර වෙත පිවිසීමට නොහැකි වීමත්, ඔවුනට එල්ල වන හිංසන හා වෙනස්කොට සැලකීම් වල සැලකිය යුතු ඉහළ යාමක් හට ගත් නිසාත් ය. 

කොවිඩ් උවදුරට පරිබාහිරව LGBT+ ප්‍රජාව මධ්‍යගත වූ වෙනත් සිදුවීම් පිළිබඳව විවිධ පුවත් පසුගිය කාලය තුළ අසන්නට ලැබී තිබුණා. ලිංගික සබඳතාවක් මත අත්අඩංගුවට පත්වූ තරුණයින් දෙදෙනෙකු පිළිබඳ පුවත, ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය විසින් තරුණයින් අතර එච්අයිවී ව්‍යාප්තිය පිළිබඳ සැලකළ පුවත, ලොක්ඩවුන් සමය තුළ LGBT+ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රසිද්ධ යූටියුබ් චැනල හිමිකරුවකු විසින් මරණ තර්ජන එල්ල කිරීම, LGBT+ ප්‍රජාවට එදිරි විවිධ දේශපාලනික ප්‍රකාශ, පොලීසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් එක්ව සමරිසි පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂා වෙත යොමු කිරීම මේ අතර ප්‍රමුඛ වූවා.

LGBT+ ප්‍රජාව පිළිබඳ ඔබ දන්නා කරුණු වලට වඩා නොදන්නා කරුණු බොහොමයි. එබැවින් LNW අප තීරණය කළා ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන් පිළිබඳ පර්යේෂකයකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස කටයුතු කරන දමිත් චන්දිමාල් මහතා සමඟ මේ පිළිබඳ සංවාදයක යෙදෙන්න. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ සක්‍රිය දායකත්වයක් සපයා ඇති, සහ ඒ ආශ්‍රිත සංවිධාන රැසක් සමඟ කටයුතු කර ඇති ඒ මහතා LGBT+ ප්‍රජාවේ මානව හිමිකම් පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකි. LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද (Dedunu Sanwada) නම් පිටුවේ කතෘ මණ්ඩලයේ ද ඔහු කටයුතු කරනු ලබයි. ඔහු සමඟ පැවති සංවාදය ලිපි පෙළකින් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු දිගහැරීමයි.


LGBTIQ ප්‍රජා සාමාජිකයින් පොලිස් වධහිංසනයේ වින්දිතයින් බවට පත්ව ඇති අවස්ථා අප අසා තිබෙනවා. ඇත්තෙන්ම මෙය සිදුවීමට හේතුව ප්‍රජාවේ අසරණභාවය ද, නැතිනම්  ප්‍රජා සාමාජිකයින් හට සිය ව්‍යවස්ථාපිත අයිතීන් පිළිබඳ දැනුම මදිකම ද?

ලංකාවේ පොලිස් වධ හිංසාව සිදු වන්නේ LGBTIQ ප්‍රජාවට විතරක් නෙමෙයි. ලංකාවේ නීතිය සෑදී ඇති විදිය, නීතිය මෙහෙයවන ආයතන සෑදී ඇති විදිහේ, සහ යුක්තිය ඉෂ්ට වීමේ තියෙන බරපතල ගැටළු ගණනාවක් මේ ප්‍රශ්නය ඇතුළෙ තියෙනවා. පොදුවෙ අපේ සමාජයේ බොහෝ දෙනෙකුට යුක්තිය ඉෂ්ට වෙන්නෙ නැහැ. යුක්තිය ඉෂ්ට වෙන්නෙ ධනය, බලය, දේශපාලනය බලය ඇති මිනිසුන්ට කියන දේ දරුණු යථාර්ථයක් විදියට මිනිස්සු අතරේ තියෙනවා.

ඒ ඔක්කොටම වඩා පොදුවෙ අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වය ගැන පවතින විශ්වාසයන් මේකට බලපානවා. උදාහරණයක් විදියට ළමයින්ට ගහලා ඔවුන්ව විනයවත්, ගුණ ගරුක පුරවැසියන් කරන්න පුළුවන් කියලා ගුරුවරු, දෙමාපියෝ සහ සමාජයේ වැඩිපිරිසක් විශ්වාස කරනවා. විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විශ්වාස කරනවා අලුතෙන් එන ශිෂ්‍යයන්ට වධ හිංසා කිරීම ඔවුන්ගේ පෞරුෂය හැඩ ගැස්සවීම වැදගත් කියලා. නැත්නම් ඒක සංස්කෘතියේ කොටසක් කියලා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවත්, ඒකට යුක්තියක් අවශ්‍ය නැති බවත් බොහෝ ගැහැණුත්, බොහෝ පිරිමිත්, ළමයිනුත් විශ්වාස කරනවා. අපි සමාජයක් විදියට විවිධ තැන්වල ප්‍රචණ්ඩත්වය සංස්කෘතියක් ලෙස පවත්වා ගෙන යනවා. ඒ වගේ තත්වයක් තුළ පොලිසියෙන් සැකකරුවෙකුට අල්ලන් ගහලා, 

(1) ඒ අයගෙන් තොරතුරු ගැනීම හෝ  
(2) නැවතත් ඒ විදියට අපරාධ කිරීම 

ගැන ඒ පුද්ගලයාට සහ සමාජයට බයක් ඇති කරවීමට කටයුතු කිරීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. අපි තේරුම් ගත යුත්තේ මෙහි වධ හිංසාව දීම වගේම එය සාධාරණීකරණය කරන මතවාදයකුත් අපේ සමාජයේ තියෙන බවයි.

LGBTIQ ප්‍රජාවට වෙන පොලිස් වධහිංසා තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමකයි. පොලිස් වධහිංසාවලට ආ විට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ LGBTIQ ලිංගික වෘත්තිකයන් මෙවැනි සිද්ධිවලට වැඩි වශයෙන් ලක් වෙන බව අපි බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන නිකලස් ඇන්ඩ්‍රියා ලියූ “නටන්න පොන්නයා නටන්න: ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි පොලිස් හිංසනය” (Dance Ponnaya, Dance! Police Abuses Against Transgender Sex Workers in Sri Lanka) නම් ශාස්ත්‍රීය ලිපියේ හොඳම තොරතුරු එකතු කිරීමක් සහ විග්‍රහයක් තියෙනවා. මේ ලිපියේ මාතෘකාව එන්නෙ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ විනෝදය සඳහා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ පසු නටවනු ලබන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුගේ කතාවෙන්. ඒ කතාවෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි වධහිංසාව සම්බන්ධයෙන් වෙන මානයක් හෙළි වෙනවා. ඒ වගේ තව කතන්දර ගොඩක් පර්යේෂකයෙක් විදියට මමත් පෞද්ගලිකව අහලා තියෙනවා. විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමේ දී කතා කරන හැටි, සමහර වෙලාවට සාක්ෂිත් නැතුව පාරෙ යනකොට අල්ලන් යන හැටි, අත්අඩංගුවට අරන් ගෙනාවට පස්සෙ අත්අඩංගුව තුළ මනුස්සයෙක්ට වඩා පහළට දාලා පෙන්නන හැටි, පොලිසියට එන එන අයට කතා කරලා අලුත් සතෙක් පෙන්නනවා වාගේ මෙන්න පොන්නයෙක් ගෙනාව කියලා පෙන්නන හැටි, පොලිසිය අතු ගා ගැනීම, පිරිසිදු කර ගැනීම සිට ලිංගික අල්ලස්, ලිංගික අතවර, දූෂණය කිරීම් දක්වා කතන්දර මා අසා තිබෙනවා. හැබැයි පොලිසියෙන් පහර දී  LGBTIQ පුද්ගලයකු ඒ කාරණය නිසා මැරුවා කියා, හෝ බරපතල තුවාල කළා කියා කතන්දර මා අසා නැහැ. එවැනි කතන්දර නැහැ කියා මා කියන්නේ නැහැ. ඒත් එවැනි කතන්දර මා අසා තිබෙන්නේ අනෙක් සැකකරුවන්ට අදාළවයි. මට මතු කරන්නට අවශ්‍ය වෙන කාරණය වන්නේ LGBTIQ පුද්ගලයන්ට අදාළ පොලිස් වධ හිංසනයේ ස්වරූපය අඳුර ගන්නේ නැතුව මේ ගැන සාකච්ඡාවක් ඇති කළ නොහැකි බවයි. ඒ වදහිංසාවේ ස්වරුපය තදින් අපේ සමාජයේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන ඇති ආකල්ප සහ කතිකාවතට බැඳී තිබෙනවා. එසේම අපේ සමාජයේ බලය ක්‍රියා කරන ආකාරය හා බැඳී තිබෙනවා.

ප්‍රජාවේ අසරණභාවය කියන වචනය මම භාවිතා කරන්න කැමැති නෑ. කවුරුවත් එහෙම අසරණ, අහිංසක නැහැ. ඒත් දුප්පත් ප්‍රජා සාමාජිකයන්ට මෙවැනි සිද්ධිවලට ලක් වෙන්න සිදු වෙනවා වැඩියි. සාමාන්‍යයෙන් පොලිසිය පෝසත්, ඉගෙන ගත්ත, මානව හිමිකම් නඩු කිව හැකි, විනය ගත, ඉංග්‍රීසි කතා කළ හැකි  ‘පොන්නයෝ’  අත්අඩංගුවට ගන්න බයයි. දුප්පත්, බලය නැති ‘පොන්නයොන්’ට තමයි මෙහෙම දිගින් දිගටම පොලිසියෙන් හිරිහැර කරන්නේ. සමහර විට දෙමළ/ මුස්ලිම් ‘පොන්නයෙක්’ වුනොත් වැඩේ ඊට වැඩිය භයානකයි.

මං හිතන්නෙ මේක පොලිස් හිංසනයට ලක් වෙන සියලු පුරවැසියන්ගේ යථාර්ථයක්. අපේ රටේ යුක්තිය කියන්නෙ යුක්තියක් නෙමෙයි. හරි අසාධාරණ ක්‍රමයක රැවටිල්ලක් විතරයි.

අයිතීන් ගැන දැනුම තියෙනවා නම් මං හිතන්නෙ එක මට්ටමක මේ වගේ දේවල් වලක්වා ගන්න පුළුවන්. හැබැයි දැනුම කියන්නෙ මොකක්ද, දැනුම තියෙන මිනිස්සු දැනුම නැති මිනිස්සුන්ව පාගන, ඒ අයගෙ අයිතිවාසිකම් නැති කරන ක්‍රමයක, අපි ජීවත් වෙනවා නම් දැනුම කියන්නෙ මොන ජරාවක් ද කියන ප්‍රශ්නය දැනුම තියෙන අයගෙන් අපි ඇසිය යුතු වෙනවා. දැනුම් නැති අයට දැනුම දීමට ප්‍රජාව කටයුතු කළ යුතුයි. හැබැයි ඒ අතරෙම කෙනෙකුගෙ අයිතිවාසිකම් ලබා දෙන්න දැනුම බාධාවක් වෙන්න අවශ්‍ය නැහැ.


පොලිස් වධහිංසනයේ එක් මුහුණුවරක් ගනු ලබන්නේ ලිංගික අල්ලස් ගැනීම. මෙහිදී LGBTIQ ප්‍රජා සාමාජිකයින් තමා අපයෝජනයට ලක්කළ නිලධාරීන් ට එරෙහි පැමිණිලි නොකොට නිහඬ වන ප්‍රවණතාව වැඩියි. ඒ ඇයි?

කලාතුරකින් පොලිසියට පැමිණිලි කරන්න ගිය අය සිටිනවා. මං ඒ අය ගැන කතා කරන්න කැමැතියි.  දැනට අවුරුදු 5කට විතර කලින්, ලංකාවේ මධ්‍යම පළාතේ එක නගරයක සංක්‍රාන්ති තරුණියක් තමන්ට බසයක සිදු වූ අතවරයක් ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියා. පොලිසිය මෙහෙම කිව්වා. “ඔයා පිරිමියෙක් වෙලා ඉපදිලා පිරිමියෙක් විදියට හැසිරෙනවා නම් මෙහෙම කරදර වෙන්නෙ නෑනෙ. ඇයි ඔයාට එහෙම කරන්න බැරි?” පොලිසියෙන් ඒ තරුණියට උපදෙස් අවවාද ගොඩක් ලබා දීලා තිබුන නමුත් ඒ පැමිණිල්ල ලියා ගෙන තිබුනේ නැහැ. පොලිසියෙන් කොච්චර උනන්දු වුනා ද කිව්වොත් මේ ගැන තරුණියගේ ගෙදරටත් දැනුම් දීලා තිබුනා. ඒ ගෙදර අයගේත් අනුදැනුම ඇතිව පොලිසියෙ නිලධාරියෙක් ඒ තරුණියට වරින් වර කතා කරලා මේ විදියට හැසුරුණු බවට තර්ජනය කරලාත් තිබුනා. ඒ එක සිද්ධියක්. තවත් කෙනෙක් හිටියා. එයා කොළඹ පළාතේ දුප්පත් කෙනෙක්. එයාට මිනිස්සු වගයක් විහිලු කරලා, කුණු බිත්තරයකින් ගහලා තිබුනා. ඉතින් ඒ ගැන පැමිණිල්ලක් කරන්න එයා පොලිසියට ගියාම, පොලිසියේ අයත් එයාට හිනාවෙලා පැමිණිල්ල භාර අරන් තිබුනේ නෑ. මේවා සුලු සිද්ධි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මෙහෙම තමයි ප්‍රජාවක අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නෙ. සමහර වෙලාවට හිනාවෙලා, විහිලු කරලා, අවවාද කරලා ප්‍රජාවක් ප්‍රතික්ෂේප කරනවා.

පොලිසියකින් තමන්ට යුක්තිය ඉෂ්ට නොවුනාම පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිසට යන්න පුළුවන් තමයි. හැබැයි ඒ බොහොමක් බිම් මට්ටමට ළගා වෙලා නැහැ. ඒ වගේම ඒවාට ඇති බලය සීමා සහිතයි. මූලික මිනිස් අයිතිවාසිකම් ගොනු කරන එක සාමාන්‍ය මනුස්සයෙක්ට ලේසි කාරණයක් නෙමෙයි.  එවැනි දේකට යන්න බොහොම ලොකු හයියක් තියෙන්න ඕනෙ. විශේෂයෙන්ම මුලු ජීවිත කාලෙම කොන් කිරීමට ලක් වුනු කෙනෙකුට. 

ගම්වල දුප්පත් මිනිස්සු ධනය බලය තියෙන මිනිස්සු එක්ක නඩු කියන්න යන්නෙ කලාතුරකින්. සාමාන්‍යයෙන් අපි ඕන තරම් අහලා තියෙනවා, කලුගලේ ඔලුව ගහ ගන්න යන්න එපා කියලා .මේ වගේ නඩුවල අසාධාරණය ගැන කියවෙන බොහෝ කියමන් තියෙනවා. හැබැයි නඩුවල සාධාරණත්වය ගැන කියවෙන ඒ වගේ කියමන් මං අහලා නෑ. “නඩු යන්නෝ වැනසෙන්නෝ“, “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ“, “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව“, “කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.” මේ වගේ කියමන් හදලා තියෙන්නෙ බලය නැති මිනිස්සු. වැටයි නියරයි බඳින්නෙ ගොයමේ ආරක්ෂාවට. ඒ අය ගොයම් කනවා නම් කාට කියන්න ද? යුක්තිය, ආරක්ෂාව ලබා දෙන්න ඉන්නෙ පොලිසිය. ඒ අය ඒක දෙන්න ලිංගික අල්ලස් ඉල්ලනවා නම් ඊට එහා මොන කතා ද?

පොදුවෙ මං කාරණා කිහිපයක් මතු කරන්න කැමැතියි. සමලිංගික ලිංගික හැසිරීම් නීතිය යටතේ වරදක් කර තිබීම LGBTIQ කෙනෙකුට තමන්ට වෙන අසාධාරණයක දි නීතිය හමුවට යන්න බැරි කරන ප්‍රධාන බාධකයක් වෙනවා. තාක්ෂණිකව ගත්තම එහෙම බාධාවක් නැති වුනත් පොලිස් නිලධාරින්ගේ ආකල්පත් එක්ක, මේ නීතියේ පැවැතීමත් ගත්තම නීතිය මොන පැත්තට කැරකේවිද කියන සාධාරණ බය මිනිස්සුන්ට තියෙනවා. දෙවැනි එක අපේ පොලිසිය යුක්තිය ඉෂ්ට කිරීම හැර අනෙක් සියල්ල කරනවා. ඒ ගොල්ලො ආගමික නායකයන් වගේ දේශන දෙනවා. ගුරුවරු වගේ හොඳ නරක කියා දෙනවා. ඒ ගොල්ලො සදාචාරය ගැන අදහසකින් මිනිස්සු යහපත් තැනකට ගේන්න කියලා මේ වගේ දේවල් කිරීම නිසා, සදාචාරය කියන කතිකාවෙන් එළියට හලපු LGBTIQ මිනිස්සු සෑහෙන අපහසුතාවලට පත් වෙනවා. බොහෝ විට පොලිසිය පැමිණිලි භාර ගැනීමේදී, හෝ පැමිණිලි විභාගය අතරේ දී අර අපරාධය කළ මනුස්සයාගේ පැත්ත ගෙන LGBTIQ පුද්ගලයන්ට වරද පටවමින් කතා කරනවා. තුන් වැනියට ලංකාවේ ලිංගිකත්වය ගැන තියෙන සම්ප්‍රදායික අදහස් එක්ක, තමන්ගේ ලිංගිකත්වය ගැන විස්තර ජනමාධ්‍යවල පළ වෙලා තමන්ට ඉන්න හිටින්නවත් තැන් නැති වෙයි කියලා සාධාරණ බයක් තියෙනවා. ලංකාවෙ ජනමාධ්‍ය කොයි තරම් දුරට ආචාර ධර්ම රකිනවාද කියලා හැමෝම දන්නවා. මං කියන්න ඕනෙ නෑ.


ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය: ඡායාරූපය | දේදුනු සංවාද

ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව අත්අඩංගුවට ගැනීමට යොදා ගැනෙන නීතී හා පනත් මොනවා ද?

මේකට උත්තර දෙනවාට වඩා මං කැමැතියි අහන්න අත්අඩංගුවට යොදා ගන්න බැරි මොන පනත ද කියලා. සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ගැන පනත එනකොට අපි හිතුවා ඒක එන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා. හැබැයි පන්සලක සිදු වූ සමලිංගික ලිංගික හැසිරීමක් ලෙස අර්ථ ගැන්වුනු සිද්ධියක් කෙටිකතාවක් ලෙස පළ කළ ලේඛකයෙක් අත්අඩංගුවට ගන්න එය පාවිච්චි වුනා. ඉතින් ප්‍රධාන කාරණය ලෙස අපි තේරුම් ගත යුත්තේ ලංකාවේ පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි ඕනෑම නීතියක් LGBTIQ ප්‍රජාවේ අය, එසේ යැයි සැක කරන අය හෝ හෝ ඒ අයට සම්බන්ධ කාරණාවක් ඕනෑම තැනක ප්‍රකාශ කරන්න යන තවත් කෙනෙකු හෝ අත්අඩංගුවට යොදා ගත හැකි බවයි. ළගදි සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළා. බැලූ බැල්මට මේවා පේන්නේ රටේ යහපතට දේවල් වගේ, ඒ නිසා ඒ ගැන අපි මොකුත් නොකිය ඉමු. විනය ගරුක රට කියන සංකල්පය ඇතුළේ, ‘පොන්නයෝ’, ‘සමලිංගිකයෝ’ කියන අයට මොන වාගේ ඉඩක් තියේවිද කියන ප්‍රශ්නය මං අහන්න කැමැතියි.   

LGBTIQ ප්‍රජාවේ අයට බලපාන ප්‍රධාන ප්‍රශ්නකාරී නීති ගණනාවක් තියෙනවා. ඒ අතරේ ප්‍රධාන කිහිපයක් මතක් කරන්නම්.

(1) ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 “අස්වාභාවික ලිංගික සංසර්ගය” සහ 365 අ “බරපතල අශෝභන ක්‍රියා” කියන වැරැදි ප්‍රධාන වශයෙන් සමලිංගික ලිංගික හැසිරීම් ලංකාවේ නීතියෙන් තහනම් යැයි කීමට යොදා ගන්නා වැරැදි වෙනවා. මේ ගැන ලොකු සාකච්ඡාවක් වෙලා තියෙන අතර, මේවා දණ්ඩ නීති සංග්‍රහයෙන් වත් කිරීමට ක්‍රියාකාරීන් ලොකු හඬක් නගා තිබෙනවා. 

(2) ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තියේ වෙන අයෙකු ලෙස පෙනී සිටීම වැරැද්දක් වෙනවා. මේ නීතිය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා ගණනාවක් තියෙනවා.

(3) ඉතා බහුලවම යොදා ගැනෙන පනත වන්නේ පාදඩ ආඥා පනතයි. නිකරුනේ කිසියම් තැනක ගැවසුනා යැයි කියමින්, පාර අයිනේ සිටින මනුස්සයෙක් වුවත් අත්අඩංගුවට ගත හැකි අසාධාරණ නීතියක්. විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්න මේ පනත බහුලව යොදා ගන්නවා.

(4) යුද හමුදා පනතේ 109 යටතේ සහ ගුවන් හමුදා පනතේ 109 වගන්තිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම් ඇති හමුදා සාමාජිකයන්ට දඩුවම් කළ හැකියි.


යුධ හමුදා පනත


ගුවන් හමුදා පනත

ඒ වාගේම හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, නිරෝධායන පනත, අසභ්‍ය ප්‍රකාශන පනත, දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික හැඟීම් ද්වේශ සහගතව ඇවිස්සීමේ වැරදි වැනි විවිධ නීති LGBTIQ ප්‍රජාවට අසමානුපාතික සහ අසාධාරණ ලෙස භාවිතා විමේ ලොකු අවදානමක් තියෙනවා. ලංකාවේ LGBTIQ මිනිස්සුන්ට පොදුවෙ නීතිය ගැන වැඩිය විශ්වාස කරන්නම බැහැ කියන එකයි මගේ අදහස- නීතිය මොකක්ද කියලා අදාළ නැහැ. 

ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු සමලිංගිකත්වය අපරාධයක් කරන මේ නීතිය බහුතරයක් අපට ලැබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් විදියටයි. මෙවැනි කිසිදු නීතියක් අධිරාජ්‍යවාදයට පෙර ලංකාවේ තිබී නැහැ. 


‘සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනිය’ යන ප්‍රකාශය අප අසා ඇති වාර ගණන අනන්තයි. ඇත්තෙන් ම සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි ද?

සංස්කෘතිය කියන්නෙ පුළුල් වචනයක්. කිසියම් ජන සමාජයක පවතින හර පද්ධතීන්, දැනුම, චර්යාවන්, සම්ප්‍රදායන්, කලාව, නීති රීති, සංකේත, විශ්වාසයන්, හැකියාවන් ආදී විවිධ දෑ සංස්කෘතියකට අයිති වෙනවා. හැබැයි සංස්කෘතිය කිවුවම ඔලුවට එන්නෙ පටු දෙයක්. අතීතයේ තිබුනේ යැයි අපි හිතන විශ්වාස වගේ දෙයක්. සංස්කෘතිය කියන්නේ අතීතය නෙමෙයි. සංස්කෘතිය කියන්නේ බොහෝ විට වර්තමාන සංස්කෘතියයි. හැබැයි ඒ විදියට සංස්කෘතිය භාර ගැනීමේ අවුලක් අපිට තියෙනවා. විදුලි බල්බය අපේ සංස්කෘතියේ කොටසක් ද කියලා ඇහුවොත්, ලංකාවේ සාමාන්‍යයෙන් ලැබෙන උත්තරය වන්නේ එසේ නැති බවයි. මොකද අපි සංස්කෘතිය යැයි කියා හඳුන්වා දෙන්නේ අතීතය වීම නිසයි. මේ වැරැද්ද ඉබේ ඇති වන්නක් නොවෙයි. සංස්කෘතිය ගෝලීයකරණයත් සමග අතීතයේ වූවාට වඩා සීඝ්‍රයෙන් දැන් වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා ලොව පුරා සංස්කෘතික අනන්‍යතාවයන් දරුණු අර්බුදයන්ට මුහුණ දී සිටිනවා. අද ඇති සංස්කෘතිය හෙට වෙනස් විය හැකියි. මෙවැනි වෙනස් වීම් ඉක්මනින් සිදු වීම නිසා සමාජයේ හර පද්ධතීන් විනාශ වී යන බවට බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා සංස්කෘතිය කියන අදහස අතීතය දෙසට නැඹුරු වූ අදහසක් විදියට අපිට දැන් හමු වෙනවා. ඒ නිසා අතීතය මගහැර අපිට මේ සාකච්ඡාව කරන්න බැහැ. හැබැයි අතීතය කියන්නෙ සංස්කෘතියට සමාන වචනයක් නෙමෙයි.

අපේ සමාජවල අතීතයේ සිටම සමලිංගිකත්වය පැවැතුනා. සමලිංගිකත්වය එක පාරට පහළ වෙච්ච දෙයක් නෙමෙයි. සංස්කෘතියක් තුළ වසර දහස් ගණනාවක් පැවැතුනු දෙයක් ඒ සංස්කෘතියට විරුද්ධ වන්නේ කොයි ආකාරයට දැයි අපි මෙතැනදී ප්‍රශ්න කළ යුතුයි. අපරාධයක් යැයි දකින දේවල් ගැන මෙවැන්නක් ඇති විය හැකියි. හොරකම අතීතයේ සිට දකින්න ලැබුනා. නමුත් හොරකම අපේ සංස්කෘතියේ කොටසක් නෙමෙයි. මෙතැනදී අදහස් වෙන්නේ සංස්කෘතියේ හොරකම නැති බව නොව, සංස්කෘතියේ හොරකමට දුන් පිළි ගැනීම අඩු බවයි. ලංකාවට සමලිංගිකත්වය ගැලපෙන්නේ නෑ කියන එක දේශපාලනඥයන් බොහෝ විට කියනවා අපි හැම කෙනෙක්ම අසා තිබෙනවා. තවදුරටත් ප්‍රශ්න කළොත් සමලිංගිකත්වය බටහිර දෙයක් බවටත් ඔවුන් තර්ක කරනවා ඇති. ඒත් ත්‍රිපිටකය කියවන විට, අපේ තොවිල් ශාන්ති කර්ම ආදියේ ලිංගික දෙබස් අහන විට, සහ සාමාන්‍ය බුද්ධියෙන් බලන ඕනෑම කෙනෙකුට පේනවා අතීතයේ පටන්, ලොව වටා සෑම සංස්කෘතියක වාගේම, අපේ සංස්කෘතියේත් සමලිංගිකත්වය පැවැතුනු බව. සමලිංගිකත්වය අපේ සංස්කෘතියෙ කොටසක් නොවුනා කියන එක කියන සමහර මින්ස්සු තර්ක කරන්නෙ, ඔව් තිබුනා තමයි. හැබැයි පිළි ගැනීමක් තිබුනෙ නෑ කියලා. මගේ අදහස වෙන්නේ අපේ අතීත සංස්කෘතියෙ පිළිගැනීමක් තිබුනාද නැද්ද යන්න ගැන සාකච්ඡාව බොහොම විවාදාත්මක වෙන්න පුළුවන් වුනත්, අපිට පැහැදිලිව පෙනෙන්නේ අතීත සංස්කෘතිය තුළ ලිංගිකත්වය පදනම් කර ගනිමින් පුද්ගලයන්ට දඩුවම් නොකළ බවයි. අපේ වර්තමාන සංස්කෘතියේ අපි (සම)ලිංගිකත්වය පදනම් කර ගනිමින් පුද්ගලයන්ට දඩුවම් දෙනවා.

සංස්කෘතිය කියන්නෙ ආර්ථිකයක්. විශේෂයෙන්ම නූතන ලෝකෙදි ඒක පැහැදිලිව පේනවා. සංස්කෘතිය යනු කුමක්දැයි, ඒකෙන් කවුරුන් එළියට හැලිය යුතුදැයි යන අදහසින් ප්‍රයෝජන බලයෙන්, පිළිගැනීමෙන් සහ මුදල් සහ සම්පත්වලින් ප්‍රයෝජන ලබන පිරිසක් ඉන්නවා. ඒ ගැන විවේචනයක් නැතිව සමලිංගිකත්වය ලංකාවෙ සංස්කෘතියට විරුද්ධ ද නැත්ද කියලා කතා කරන්න අමාරුයි. විරුද්ධයි කියන අදහස ගත්තොත් ඒක ව්‍යාප්ත කළේ ආගමික නායකයෝ, දේශපාලනඥයෝ, ඇතැම් ජනමාධ්‍ය විසින්. ඒ අයට ඒකෙ ප්‍රයෝජන තිබුන බව අපි හැමෝම දන්නවා. ලංකාවෙ සංස්කෘතියට සමලිංගිකත්වය ඇතුළත් කියන අදහස ගොඩක් වෙලාවට ගෙනාවේ ඇතැම් කලාකරුවෝ, ලේඛකයෝ, සමාජ ක්‍රියාකාරීන්, කාන්තා ක්‍රියාකාරීන්, LGBTIQ ප්‍රජාවේ සාමාජිකයන්. අර පළමු කී පිරිසට සාපේක්ෂව දෙවැනි පිරිසට තියෙන බලය ඉතා අඩුයි. මා විශ්වාස කරන විදියට සංස්කෘතික විවාදයේදී අපි ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සමලිංගිකයන්ට මේ සමාජයේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය මොකක්ද? කියන ප්‍රශ්නයයි.


ඒ අනුව ඔබ පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් ඇතිවීමට පෙර ලිංගිකත්වයට නිදහසක් පැවතියා කියා ද?

ලිංගිකත්වය ගැන වෙනස් ආර්ථිකයක් ඉතිහාසය පුරා තිබුනා. ඒකෙ නිදහස් සහ නිදහස් නැති තැන් තිබුනා. අධිරාජ්‍යවාදයට පසු සහ පෙර කියන අවස්ථා දෙක ගත්තම ප්‍රධාන වශයෙන් පේන්නෙ ලිංගිකත්වයට දඩුවම් දෙන සංස්කෘතිය අපිට ලැබුනේ අධිරාජ්‍යවාදීන්ගෙන් බවයි. රාජ්‍යයෙන් ලිංගිකත්වය මර්දනය කළ යුතු යැයි කියන අදහස අධිරාජ්‍යවාදයෙන් පසුව ලංකාවේ ඇති වෙන එකක්.


මීළඟට බලාපොරොත්තු වන්න: අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan