*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමු – ජනපති මැතිසබයේ දී කියයි

මහින්ද සයිටම් දානවට කැමැති වුණා ඒත් අපට විරුද්ධ වුණා – කිරිඇල්ල

සිසුන් තෝරා ගන්න ක්‍රමය පාර්ලිමේන්තුවෙන් හදමු.

පෙරටුගාමීන් එක්ක සාකච්ඡා එපා
යම්කිසි නිසි ක්‍රමවේදයක් යටතේ, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට ක්‍රියාකරමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටි අතර ඒ සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ද කැමැත්ත ප්‍රකාශ විය. එහිදී මතුවූ සංවාදය මෙසේය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා.

අපි යහපාලන ආණ්ඩුව කාලයේ උත්සාහයක් ගත්තා පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ සයිටම් ආනයනය පටන්ගත්තා. යහපාලන ආණ්ඩුව කාලයේ ඒ ගැන අපි ක්‍රියාකර ගෙන යද්දී එදා විපක්‍ෂය විරුද්ධ වුණා. මට දෝෂාරෝපණය කළා. සයිටම් එක වහන්න කියලා බල කළා. සයිටම් එක වහන්න යනකොට මම මාසයක් කල් ඉල්ලුවා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ වනවිට එන්න ඔන්න මෙන්න තිබ්බේ. ඒත් සයිටම් එක වහලා දැම්මා. මාසයකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සයිටම් එක පිළිඅරන්. ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ජනාධිපතිතුමාට මේ අය ඉඩ දෙයිද? මේ අය හැමදාම පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වුණ අයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මෙතුමයි, මමයි කියන්නේ රජයේ නොවන අංශයක් ඇති කරන්න කියලායි. යම් කිසි ක්‍රමවේදයක් අනුව ඒ ගැන තීරණයක් ගමු. මහින්ද රාජපක්‍ෂ මහතා සයිටම් එක ආරම්භ කළා. එදා ජනපතිවරණයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයයි ඇවිත් මට කිව්වා මේකට විරුද්ධ වෙන්න කියලා. ඒත් මම ඔවුන්ට එකඟ වුණේ නෑ. රාජිත සේනාරත්න ඇමැතිතුමා කිව්වෙත් නෑ ඒක ඉදිරියට ගෙනියනවා කියලා. නමුත් ඒ අය ජනාධිපතිතුමා හමුවෙලා වෙනම සාකච්ඡා කළා. ඒ නිසායි මම කියන්නේ මෙවර සාකච්ඡා ඕනේ නෑ කියලා. මම එහෙම කියනකොට කියනවා විශ්වවිද්‍යාලයේ අය හිරේ දාගෙන ඉන්නවා කියලා. වයස අවුරුදු 35ක මිනිහෙක් කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්නේ. දුප්පත්කම නිසා සමහර අයට ගෙවන්න බැරිනම්, අපි කෙලින්ම මුදලක් දෙමු. අපි මුදල් දෙන්න ඕනා විශ්වවිද්‍යාලයට නෙමෙයි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට. අනෙක මට කියන්න ගාස්තු අය නොකරන එක විශ්වවිද්‍යාලයක් තිබෙනවාද කියලා. බාහිර උපාධියට මුදල් ගන්නවානේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ බාහිර කළත් අභ්‍යන්තර කළත් නිදහස් කියන එකටයි. එහෙනම් අපට කරන්න තිබෙන්නේ බාහිර විශ්වවිද්‍යාලවලට බද්දක් ගහන්න.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

මහින්ද රාජපක්‍ෂ මහත්තයා සයිටම් ආරම්භ කරන්න කලින් වෛද්‍ය සභාවේ කාලෝ ෆොන්සේකාව අරලියගහ මන්දියරට ගෙනැල්ලා හොඳ ඩිනර් එකක් දීලා යාළු කරගෙන සයිටම් එක පටන්ගත්තා. මම සාකච්ඡා කරද්දී විරුද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂට කැමැත්ත දුන්නා. අපිට කැමැත්ත දුන්නේ නෑ. වහනකම්ම පෙළපාලි ගියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මේකට විරුද්ධ පෙරටුගාමී අය එක්ක ගිහින් මේ ගැන කතා කරන්න එපා. කතා කලහමයි විරුද්ධ වෙන්නේ. මෙතුමන්ලා කැමතියි. මට වෙලා තිබෙන්නේ සජබ ආපසු පුනරුත්ථාපනය කරන්නයි. අධ්‍යාපනයේ ක්‍රමය කලින් තීරණය කරන්න. ඊට පස්සෙයි නීතිය දාන්න ඕනේ.

එස්. බී. දිසානායක මහතා

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලේ සයිටම් ආරම්භ කළේ උසස් අධ්‍යාපන ඇමැති ලෙස මමයි, වෛද්‍ය සංගමයේ විරෝධය, ශිෂය සංගම් විරෝධය කියන ඒ සියල්ල මැඬ පවත්වාගෙන අපි සයිටම් ආරම්භ කළා. එහි පළමු කණ්ඩායම එනකොට තිබුණේ යහපාලන රජයයි. එතකොට වෛද්‍ය සභාවේ කාලෝ ෆොන්සේකා මහත්තයා ඒ දරුවන්ගේ උපාධිය ප්‍රතික්‍ෂේප කළා. නමුත් ඒකට විරුද්ධව කටයුතු කරන්න සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට හැකියාව තිබුණා. පනත අනුව නියෝගයක් දෙන්නයි රාජිතට තිබුණේ. නමුත් ඔහු ඒක කළේ නෑ. ඒ නිසා දරුවෝ උසාවි ගියා. සයිටම් එක ඒ වෙලාවේ දරුණු මූල්‍ය අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක වැටුණා. දැනුත් පුළුවන් කාටහරි ගිහින් සයිටම් එක පටන්ගන්න.

තිස්ස අත්තනායක මහතා

මම කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග එකතුවී යම් ක්‍රමවේදයක් හැදුවොතින් සියලුදෙනා එකඟ වේවි.

රනිල් වික්‍රමසිංහ මහතා

සිසුන් තෝරා ගැනීමේ ක්‍රමය අපි පාර්ලිමේන්තුවෙන්ම හදමු. මෙතැන අයට ඒක කරන්න පුළුවන්.

කාවින්ද ජයවර්ධන මහතා

කුහක දේශපාලනයෙන් මිදිලා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපනය කරමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

අපි එකට වාඩිවෙලා ඒ ගැන ක්‍රියාකරමු. මම හිතන්නේ ඔය ප්‍රශ්නේ එන්නේ වෛද්‍ය විද්‍යාලවලට විතරයි. අනෙක් ඒවාට නෑ. අපි ක්‍රමයක් හදලා පෞද්ගලික අයටත් විශ්වවිද්‍යාල හදන්න ඉඩදෙමු.

තොරතුරු තාක්‍ෂණය, විශ්වවිද්‍යාල, ග්‍රීන් විශ්වවිද්‍යාලය අපි ඉදිරියට ගෙන යමු. අනෙක විශ්වවිද්‍යාල කාලය, අවුරුදු තුන නම් තුනෙන් ඉවර කරමු. හතර නම් හතරෙන් ඉවර කරමු. අපේ කාලයේ එහෙමයි. අනික අපේ විශ්වවිද්‍යාල හොඳයි. මගේ පියා කිව්වා එංගලන්තයට යන්න කියලා. ඒත් මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියේ. මට වියදම් කළේ රුපියල් 105 යි. අපි රුපියල් 35 ගාණේ වසරකට ගෙව්වා.

නාමල් රාජපක්‍ෂ මහතා

අපි මේ පිළිබඳව ජාතික සභාවේදීත් කතා කළා. එහිදී ගැටලු කිහිපයක් සාකච්ඡා වුණා. අපි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඒ යෝජනාවලිය ඉදිරිපත් කරන්නම්, විශ්වවිද්‍යාල සහ අපේ අධ්‍යාපනයේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස්කම් විය යුතුයි.

රෂිකා හෙන්නායක
2022.12.02

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan