නෝනාගේ ඉළව් ගෙදර ….

නෝනගෙ නෝනකම හින්දයි වුණෙ ඔහොම
හුංගම හාමිනේ කිව්වාලුනෙ එහෙම
ඉරිසියාව වෙන්ඩැති උන්දට බොහොම
කාට මොකද නෝනා හිටියම කොහොම

නෝනා අපේ කවි දවසක් කියෙව්වා
කවියෙන් කවිය දොස් බල බල හැදෙව්වා
අපට බොන්ඩ වෑවර හිට කැඩෙව්වා
මගට ගන්ඩ උණු උණු බත් ඉදෙව්වා

නෑ පෙරහැරත් රෑ මැද මතු වෙන්නෝනා
නෝනේ කියාගෙන දුවගෙන එන්නෝනා
දුරුවල වෙලයි කලුවරටම ගියෙ නෝනා
ඕකලාට එය පහදන්නම ඕනා

නෝනෙට තරම් ගණසාරෙට බුලත්විට
ඒදන්නට බැහැ බං උඹලට අපිට
කෙළ විද විද මාතර තරමට දුරට
කිල්ලෝටයක හුනු කනවා දවසකට

දිවුලක් කන්ඩ හිතුණම අපෙ නෝනාට
කවියෙන් ඒක කියනවා දඬු ලේනාට
පිම්මට දෙකට ගොඩ වී ඌ අර ගාට
පුසුඹ දෙවන ගෙඩි තෝරයි නෝනාට

ඔයි වගෙ කතා තියෙනවා තව ඕන තරං
අරුම වැඩ කළේ කවුරුද නෝනා තරං
අහල පහළ පොඩි එව්වොත් ළඟට කරන්
රෑට හඳ එළිය නානවා කළේ අරන්

නෝනා වාද මැද පද පටලයි යාලු
ලිහන්න යන අය එහි පැටලෙයි යාලු
කවි මඩුවකදි ඇවිලුණු කොටුවෙදි ගාලු
“ඉඳලොලුවලට නෝනා කිව්වේ ඕලු
ඕලුවලට ඕ කිව්වේ ඉඳලෝලු”

“බොට මතකෙයි නෝනෙගෙ මුල් මුදලිතුමා
ඒ මුදලිඳුගෙ වළ බින්ඳෙත් මංම තමා”
“ඒක අපි නොදන්නා කරුණක්යැ රොමා
උඹට වගෙම ඔව් අපටත් දුකයි තමා”

දුෂ්කර බැඳුම් පාසුයි – මේ බැඳුම් අපාසුයි
ගංගා වැනුම් පාසුයි – ගලන එක අපාසුයි
තුරක වරුණා පෑම පාසුයි – දුටු දනන් පිනවුම අපාසුයි
වේරගම්පිටටම අපාසුයි – හැබැයි දැන් නෝනාට පාසුයි …!

~ රුවන් බන්දුජීව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...