සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 04,(LNW) කොළඹ :
මේ මොහොතෙ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ගැන කතා කරන විට ඒ කාණ්ඩයට ඇතුළත් කරන්නට එකඟ වී තිබෙන ශ්‍රී ලයන්ස් කණ්ඩායම විවාදාත්මක මාතෘකාවක්ව තිබෙනවා.එහෙත් ඔවුන් උපන් රටෙන් පිට ක්‍රීඩා කරද්දි,ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබද්දි,ඔවුන්ගෙ අඩුපාඩු හැටියට සමහරු මතු කරන දේවල් අවධානයට ගන්න බවක් පෙනෙන්නෙ නැහැ.ක්ලබ් හවුස් එකක්,තමන්ට කියලා පිට්ටනියක් වැනි කරුණු එහිදී කතාබහට ලක් වෙන බවක් පෙනෙනවනම් මෙවර ජාත්‍යන්තර ක්‍රීඩා සමාජවලට විවෘත වුණු ඩුබායි රග්බි සෙවන්ත් හී සූරයන් වන්නට ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකි වන්නේ නැහැ.
ශ්‍රී ලයන්ස් හී ලංකාවේ ඉරණම…?
එහෙත් ගැටළුකාරී තත්ත්වය එක අතකින් ශ්‍රී ලංකාවේ රගර් තමන්ගේ උරුමයක් කියා සිතන ක්‍රීඩා සමාජ අතරින්ම මතු කරද්දී,තවත් අතකින් එවැනි තීරණයක් ගැනීමට නිසි රගර් පරිපාලනයක් නැතිකම,ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවත් එක්ක පැන නැඟෙන ගැටළුවක්.මේ වන විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තාවකාලිකව ලැබුණු රගර් පරිපාලනයේ වගකීම ඔහු විසින් අත් නොහැර,පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමක් දක්වා දුර ගෙන යන්නට උත්සාහ කරමින් සිටිනවා.
එක් අතකින් ඔහු උත්සාහ කරමින් සිටින්නේ පවතින ඡන්ද ක්‍රමයේ වෙනසක් කර මේ වන විට ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලබා දීමටයි.ඒ අතර ඔහු ශ්‍රී ලයන්ස් වැනි ක්‍රීඩා සමාජයකට බී කාණ්ඩයේ සූරයින් ලෙස ඒ කාණ්ඩයට උසස් කරන්නට වැදගත් තීරණයක් ද ගනු ලබනවා.එහෙත් එයට ඔහු විසින් බලය වැඩි කර ලබා දෙන්න හදන ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජම විරුද්ධත්වයක් දක්වන අතරම,ඒ කාණ්ඩයට කණ්ඩායමක් ඇතුළත් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලව පත් වුණු රගර් පරිපාලනයක තීරණයක් ලෙස පැමිණීම පසෙකලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය මත ගෙන එන්නට ගන්නා උත්සාහයේ ඇති ව්‍යවස්ථා විරෝධී බව ද මතු වෙමින් තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මෙවර ජාත්‍යන්තර කණ්ඩායම් සහභාගි වූ වසර 54 ක ඉතිහාසයක පළමු වරට ඩුබායි සෙවන් කුසලානය ශ්‍රී ලයන්ස් වෙත දිනා දෙන්නට සමත් වෙනවා.දිනුක් අමරසිංහ නායකත්වය දැරුව මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් මෙන්ම දකුණු අප්‍රිකානු,ෆිජි මෙන්ම ටොංගා ක්‍රීඩකයින් ද එකතු වෙනවා.එය විශාල ආයෝජනයක්.රගර් වෙනුවෙන් ජාත්‍යන්තර කණ්ඩායමකට එතරම් ආයෝජනයක් කළ හැකි මූල්‍යමය පසුබිමක් සහිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ රගර් පිටියේ ස්ථාපිත වීම එහි බමුණු කුල ක්‍රීඩා සමාජවලට බියක් ඇති කරනවා.
සමහර විට ක්‍රීඩක ගෙවීම් ආදියත්,මේ වන විට ඩුබායි හී ශ්‍රී ලයන්ස් සමඟ එක්ව පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශික පුහුණුකරුවන්ගේ දායකත්වයත් මේ සමඟ පැමිණීම ඇතැම් විට ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල රගර්වල පැවත්මට අභියෝගයක් විය හැකියි.
මේ මොහොතේ ලංකාවේ රගර්
ශ්‍රී ලයන්ස් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රගර් හී ස්ථාවර වන්නට හදන තත්පරය වැදගත්.ක්‍රීඩාවක් හැටියට රගර් හී ඉතිහාසය කොළඹ කේන්ද්‍රීය එකක් නොවේ.විශේෂයෙන්ම පසුගිය ඡන්ද සමයේ කතාවට ලක් වුණ අම්භිගාලගේ වතු අස්සෙත් රගර් තිබුණ ක්‍රීඩාවක්.පාකයො ක්‍රීඩා කළත් ඊට අත් උදව් වෙන්න ගිය පරපුර අතට පත් නොවී අභාවයට ගිය රගර් එවැනි තැන්වලත් පුබුදුවා ගත හැකි ජානමය සාධක සොයා ගන්නට අපහසු නැහැ.
ඒ වැඩ කටයුතු පළල් කිරීම ශක්තිමත් කිරීම සඳහා දැනට තිබෙන ප්‍රාෙද්ශිය සංගම්වල බලය සුරක්ෂිත කරමින්,ක්‍රීඩාව සම්බන්ධයෙන් වන රජයේ විමධ්‍යගත වැඩ සටහන් සමඟද එය සම්බන්ධ කර ගත යුතුයි.එසේම ප්‍රාදේශීය සංගම් හරහා සුරැකෙන කුඩා ක්‍රීඩා සමාජ නොමැතිනම් ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට දරා ගන්නට බැරි තරමේ දක්ෂයින් එක වසරකට පාසල්වලින් රගර් දක්ෂතා සමඟ එළියට එනවා.ඔවුන්ව ක්‍රීඩාවේ රඳවා ගනිමින් පෝෂණය කරන පොළවේ ශක්තිය හීන කර දැමීමේ කුමන්ත්‍රණයක පිටුපස මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටිනවා.
ක්‍රීඩා සමාජවලට ඇති බලය සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් එයට අවශ්‍යය සහනය පවතින ව්‍යවස්ථානුකූලව බලයට පත්වෙන සංගමය හරහා ක්‍රියාත්මක කරවීමේ උපදේශය,සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස මඟ පෙන්වමින් ඉටු කරදීම වෙනුවට,සුබ සහ යස ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දරන වෑයම පිළිගත නොහැකියි.සදාචාරාත්මක බවින් තොරයි.
අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සුබ භූමිකාවේ අසුභ කම
සුබ සහ යස නාටකයේ දී තාවකාලිකව ලැබුණු රජකම යොදා ගෙන රජා මරා රජ වූ දොරටු පාලකයා සේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද,තමන්ට ලැබුණු බලයෙන් රගර් ව්‍යවස්ථාව මරා දමන්නට දරන වෑයම අධිකරණයටත් නැවත්විය නොහැකි තරමට දරුණු වී තිබෙනවා.ඒ නිසා මෙහිදි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සුබට අදින්නට යාම ක්‍රීඩාවට සුබ නොවන,ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවට ආණ්ඩුව පැත්තෙන් සිඳුවන දේශපාලන බලපෑමක් ලෙස දේශපාලනය මත ද කළු පැල්ලම් තැවරීමක් විය හැකියි.
මේ වන විට අධිකරණය ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා නොකර අවශ්‍යය විශේෂ මහා සභාව පවත්වා,නිලවරණය පවත්වන ලෙස දී ඇති නියෝගය මඟ හරිමින්,ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ කටයුතු පමා කරමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණය සමඟ ඔට්ටු වෙමින් තිබෙන්නේ කෙසේ හෝ රගර් ව්‍යවස්ථාවට අත තැබීමේ උවමනාව වෙනුවෙන් බව පැහැදිළියි.අවාසනාවට කාරණය වන්නේ මේ තත්ත්වයට මඟ පාදමින්,ශ්‍රී ලංකාවේ රගර්වලට වින කරමින් ලාංකේය රගර්වල කීර්තිය මෙන්ම රගර්වල ගිණුම් ද හිස් කළ පිරිස් සමඟ එක්ව ආසියානු සභාපතිවරයාද මැදිහත් කරගෙන හිටපු ඇමතිවරු නිලධාරි තරගෙන ගිය වැඩේ ජනතාවගේ රජයක් ලෙස පත්ව තිබෙන මේ රජය විසින්ද ඒ ආකාරයටම කරගෙන යන්නට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා බලා සිටීමයි.
මේ අපකීර්තිය ගොඩ නඟන්නට,රටේ දේශපාලන නායකයා කැඳවා ඔහුව පිනවීම සඳහා වැඩ කරන්නට,රගර් ගිණුම හිස් කරන්නට වැඩ කර ඇති නිලධාරි ප්‍රාදේශිය සංගම්වලින් පැමිණි අයද?නැත.ඒ අයගෙන් ඒ අපකීර්තියේ,රගර්වලට කළ අලාභයේ වටිනාකම අය කර ගන්නට ඒ සුපිරි ක්‍රීඩා සමාජ යෝජනා නොකරන්නේ මන්ද? මේ කිසිවක් ගැන අදහසක් නොගෙන තමන්ට සිතූ දේ කර සිහසුනෙන් බැස යාමේ ආසාවෙන් වැඩ කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මේ දක්වා වන හැසිරීම පැහැදිළි කරයි.
ඒවා වෙලා තියෙන්නේ මගේ කාලේ නෙමෙයි කියන උත්තරය පැහැදිළිව පෙනෙන්න තිබෙන වැරදිවලට මේ රජය ද දෙන උත්තරයනම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමන්ගේ අදහස මත පිහිටා වැඩ කළ හැකිය.එසේ නොවී රගර් පරිපාලනයේ පවතින ව්‍යවස්ථාව අනුව මහා සභාව කැඳවා නිසි පරිදි නිලවරණය පවත්වා,අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා පත්වෙන පරිපාලනයට ජාත්‍යන්තර රගර් සම්මේලනය සමඟ සාකච්ඡා කර විසඳා ගන්නට අවස්ථාව දීම නිවැරදි ක්‍රමය නොවේද?
රගර් අලුත් වෙන්නට අවශ්‍යය මඟ හරියට තෝරා ගැනීම
ශ්‍රී ලයන්ස් වැනි ක්‍රීඩා සමාජයකට මෙරට රගර් ක්‍රීඩාවට පැහැදිළිව ඇතුළත් වෙන්නට මාර්ගය සකස් කර දි,ඒ කාණ්ඩයේ අවාසන කණ්ඩායම බී කාණ්ඩයට එන ලෙසත්,බී කාණ්ඩයේ පළමු කණ්ඩායම ඒ කාණ්ඩයට ගැනෙන හැටියටත් රගර් ව්‍යවස්ථාවෙන්ම බලය ලැබෙන වැඩ සැළසුමක් සකස් කිරීම පත්වන පරිපාලනයට පවරා කටයුතු කරන්නේනම් ශ්‍රී ලයන්ස් පමණක් නොව තවත් අලුත් කණ්ඩායම් නැඟෙමින් ශ්‍රී ලංකා රගර් හී ශක්තිය තිව්ර කිරීමට පෙරට පැමිණෙනු ඇත.
ඒ කණ්ඩායම් ලෙස නිශ්චිත කර ඡන්ද බලයක් නමින් ක්‍රීඩා සමාජවලට පැවරෙන්නේනම් ඒවා උරුම සේ රැකෙනු විනා අලුතින් එන කණ්ඩායම්වලට බලයක් හෝ සවියක් නොලැබෙනු ඇත.ඒ නිසා රගර්වල අලුත් ප්‍රවනතා ඇති වීමටනම් ක්‍රීඩා සමාජවලට එන බලය ඒ කාණ්ඩය තුළ ඒ මොහොත නියෝජනය කරන ක්‍රිඩා සමාජවලට පැවරෙන බලයක් මිස නම් කර ලබා දෙන බලයක් නොවිය යුතු වන්නේය.ඒ කාරණා යෝජනා කර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක හමුවක සාකච්ඡාවකට යා හැකිනම් ශ්‍රී ලංකාවේ රගර් කීඩාව ඒ සහ බි කාණ්ඩවල ගුණාත්මක තත්ත්වය ඉහළින් පවතින ලෙස වෙනස් කර ගැනීමට අපහසු නැත.
එහෙත් දැන් සිඳුවන්නේ හමුදා නිලධාරියෙකු ලෙස සමහර විට සිවිල් පුද්ගලයින් විසින් ඇති කරන බලපෑම යටත් කිරීමේ උවමනාවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කිරීම විය හැකිය.ශ්‍රී ලයන්ස් වැනි ධනයක් සහිතව ශ්‍රී ලංකාවේ රගර්වලට එන කීඩා සමාජ හිර කරගෙන තිබෙන ප්‍රතිපත්තිමය කාරණා නිල රගර් පරිපාලනයක් යටතේ විසඳෙන තත්ත්වයට ගෙන එමින් නිලවරණය ඉක්මණින් පැවත්වීමය.එහිදී ලෝක සම්මේලනය සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතර පැවති සාකච්ඡාවල ඉලක්කද පත්වන නව පරිපාලනය අතට පත් කළ හැකිය.
ඇමතිවරු නිලධාරින් සමඟ ඇති කළ අවුල ඇමතිවරුම ලිහීමේ වැදගත්කම
මේ තත්ත්වය මේ වන විට ගැටළුකාරී වී ඇත්තේ දේශපාලනය නිසාය.රගර් පසුගිය කාලෙයේම ගැහැව්වේ මේ දක්වා රගර් පරිපාලනයේ චෝදනාවන් එල්ල වන පුද්ගලයින්ගේ අනුහස් සමග දේශාපාලකයෝය.නිලධාරී කළේ ඒවාට අවශ්‍යය පරිදි හූ මිටි තැබීමය.ඒ නිසා මේ ගැටළුව විසඳන තැනට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මත වගකීම පටවන්නේ නැතුව අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශිය සංගම් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එක තැනක හිඳුවා මේ ගැටළුව සාකච්ඡා කළ යුතුය.එවිට බොහෝ තීරණ ගෙන ඇත්තේ යස නොව තාවකාලිකව බලය පැවරුණු සුබ බවත්,ඒ නිසා යසගේ හිස ගසා දැමිමේ පාප කර්මයට හවුල් නොවී රගර් හී තීරණ ගැනීමේ වගකීම රගර් ව්‍යවස්ථාවට අනුව පත්වන රගර් පරිපාලනයට දිය යුතු බවත් අමාත්‍යවරුන්ට හැඟෙනු ඇත.
ප්‍රශ්න ගැන තමන්ට වඩා හිතවත් බව හැඟෙන පිරිස සමග තීරණය කරන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ දේශපාලකයෝ තීරණය කරේම හිතවත් බව හැඟෙන පිරිස් අනෙක් පිරිස අහිතවත් බව පෙන්නිමට කියූ කාරණා හරහාය.නියෝජ්‍ය ඇමතිවරයා ක්‍රීඩකයෙකුව සිටියදී ද අප අමාත්‍යංශයේ සිටි නිලධාරි සහ අමාත්‍යවරු ඒ හිතවත් සහ අහිතවත් බව බෙදා වෙන් කරගෙන සිටි සම්ප්‍රදායික සංස්කාතියෙන් පිටට තීරණ ගැනීම ගෙන ඒමට ගත් උත්සාහයන් ද,ඒවා සාර්ථක වූ විට ක්‍රීඩාවට අත් වූ යහපත් ප්‍රතිපලද මතක ඇති බව සිතමු.
ඒවා ප්‍රායෝගිකව විඳ ඇති ක්‍රීඩක භූමිකාවෙන් ඉහළට එසැවී සිතිය යුතු මොහොත දැන් උදා වී ඇත.ඒ නිසා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ද දැන් විදුලියක් වී පලක් නැත.විදුලිය උපදවන ටර්බයිනයක් විය යුතුය.මේ සමඟ ඇත්තේ ඩුබායී හි පැවති රග්බි සෙවන්ත් ජයගත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ඡායාරූපයක්ය.