මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් ඉන්දියාවෙන් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW:

අද (04) පස්වරුවේ, ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම බව පැවසේ.

මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි. 

මෙම පාලම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතය.

මීට අමතරව බෝට්ටු, සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද ඉන්දීය ආධාර අතර වන බව වාර්තා වේ

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.