*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

ශෛලමය අවුකන බුදුන්ගේ සිවුරට රෙදි සිවුරක් වැටුණා වගේ; තව ඩිංගෙන් සිරි මහ බෝ මැඩට ධම්මික පැණියත් හැලෙනවා!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර

(විනිවිද): අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ. එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව හේතුවන බවයි.පුරාවස්තුවක ස්වරූපය වෙනස් කිරීම පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.ඓතිහාසික පිදුරංගල ගල උඩට නැඟ ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය කළ කොලු රැලක් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කළේ ද ඔන්න ඔය පුරා වස්තුවක ස්වරූපය වෙනස් කිරීම යන චෝදනාවට බවද මතක ය.ඒ අනුව මෙය විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කළ හැකි වගන්තියකි.අපේ රටේ නීතියේ මොන විදියට තිබුණත් වැඩ සිද්දවෙන්නේ එක එකාට ඕනෑ විදියට ය.එක එකා යනු බලය ඇති එක එකා මිස ලපයි,සිපයි ආදී වශයෙන් වන අවශේෂ හුදී ජනයන් නොවේ.

රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ සියලුම පෞරාණික චෛත්‍යවලට සාදුකාර දෙමින් පෙරහැරේ ගොස් චෛත්‍ය මතට නැඟ “හැට්ට ඇන්දීමේ පිංකම” කියා කරන ගොබ්බ වැඩෙත් ඒ පෞරාණික වස්තුවේ ස්වරූපය වෙනස් කර දැක්වීමකි.පුරාණ චෛත්‍යවල ප්‍රකෘති ස්වරුපය යටපත් වන සේ පුරා විද්‍යා නියාමනයන් නොතකා හිතුමතේ සුනු පිරියම් කිරීමත් එබඳුම වැඩකි.මිල කල නොහැකි වටිනා පුරා වස්තු ජාතිය හාරයේ ආරක්ෂා කළ යුතු වුණත් ඒවා සමහරක් ඇත්තේ පන්සල්වල අල්මාරි ඇතුළේ ය.එහෙම සිවුර අස්සේම තියාගෙන සිටි දැලිවල රන් කරඬුව පැහැරගෙන ගොස් මේ වන විට අවුරුද්දකටත් වැඩි ය. උතුරු නැගෙනහිර පළාත් වල සුළු ජාතිකයෙකු අත්තිවාරමක් කපද්දී වත් පරණ ගඩොල් මතු වුණොත් ජාතික උරුමය ආරක්ෂා කරගන්න දිවි පරදුවට තබා වුව සටන් වදින භික්ෂූන් වහන්සේලා හා ගිහියන් මිල කල නොහැකි පෞරාණික උරුමයක් වූ දැලිවල කරඬුව අතුරුදන්වීම ගැන මීක් කියාවත් නොකියති. මේ අන්දමට පෞරාණික වස්තු අවභාවිතා කරන වෙනත් රටක් ඇතිදැයි සාධාරණ සැකයක් ජනයා තුළ ඇත.ඕවා ගැන වැඩිපුර කතා කරන්න ගියොත් ඇතැම් විටක දෙදාස් පන්සීයක් තිස්සේ සිවුර අස්සේ ගන්නාගෙන බුදුදහම ආරක්ෂා කළ හැටිත් අසමින් මඩ නා ගන්නට ද අපට සිදුවිය හැකිය.

මේ හදන්නේ අපේ අල්ලපු රටේ පෞරාණික වස්තූන් ආරක්ෂා කරන අන්දම ගැන මා ලද දුලබ අත්දැකීමක් ගැන කියන්නට ය. 2012වසරේ දී කපිලවස්තු වල පිප්‍රාවා දාගැබෙන් සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් බවට නිශ්චිතව හදුනාගෙන දැනට දිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ධාතුන් වලින් කොටසක් ලංකාවට ගෙනැවිත් ප්‍රදර්ශනයක් සිදු කරන ලදී . ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඉන්දීය සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමතිවරිය විසින් කටුනායක බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපලේදී ප්‍රදර්ශනය සඳහා මෙරටට භාරදුන් ධාතුන් වහන්සේලා මුලින්ම කැලණිය මානෙල්වත්ත විහාරයේ දිනක් ප්‍රදර්ශනය කර දෙවන ප්‍රදර්ශන ස්ථානය වූ ඓතිහාසික පැල්මඬුල්ලේ රජ මහා විහාරයට වැඩම වීමට සංවිධානය කෙරිණ. මෙම වකවානුව වන විට රත්නපුර දිසාපතිවරයා ලෙස කටයුතු කළ මම එම ධාතු ප්‍රදර්ශනයට අදාල සියලුම කටයුතුවලට පුද්ගලිකවම සම්බන්ධ වීමි.ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන ස්ථානයේ පූර්ව පරීක්ෂණ කාර්යය සඳහා පැමිණි දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ පුරා විද්‍යාරක්ෂක ඩෝසන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම විසින් ධාතූන් වහන්සේලා ගුවන් මගින් වඩම්මන පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ පිටියත් එහි සිට වෙඩි නොවදින වාහන මගින් ප්‍රවාහනය කරන මාර්ගයත් ප්‍රදර්ශනය පැවැත්වෙන පැල්මඩුල්ල රජමහා විහාර භූමියත් ඉතා සියුම්ව පරීක්ෂා කරන ලදී.පසුව සිදුවිය යුතු කුඩා වෙනස් කම් ද සහිතව යම් යම් යෝජනා ද සිදුකර අවසානයේ ඔවුහු ස්වකීය නිර්දේශය මේ ස්ථානයට ලබා දුන්හ.යම් හෙයකින් ඩෝසන් මහතාගේ නිර්දේශය නොලැබුණොත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශණය කිරීම සිදු නොවන බැව් ජනාධිපති කාර්යාලයෙන් මා වෙත දැනුම් දී තිබුණු බැවින් ඔහුගේ යෝජනාවලට මුලින්ම ඉතාම සාධනීයව ප්‍රතිචාර දක්වා දෙවනුව හීන් සීරුවේ අපට අවශ්‍ය සංශෝධන කර ගැනීමට ඔහු එකඟ කරවා ගැනීම මගේ උපාය මාර්ගය විය.

ඉන්දීය පුරාවිද්‍යාරක්ෂකගේ නිර්දේශයෙන් පසුව ප්‍රදර්ශනයට පෙරදින ඊළඟ අභියෝගය වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වූ පී කුමරන් මහතාගේ විමසීම් වලට කරුණු පැහැදිලි කිරීම ය. ඉතාමත් ප්‍රිය මනාප තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ එතුමා ධාතූන් වහන්සේලා රැගත් හෙලිකොප්ටරය ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයට ගොඩ බැසීමේ සිට අවසානයට ප්‍රදර්ශනයෙන් පසුව යළි ආපසු ගෙන යාමට ගන්කන්ද විදුහලෙන් ගුවන්ගත කිරීම දක්වා අපගේ වැඩපිළිවෙල හා ඒ අතර තුර ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති වැඩපිළිවෙල ගැන මගෙන් හාර හාරා ප්‍රශ්න කළේය.අවසානයේ ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දී හෙම්බත්වුණු මම වැඩිදුර විස්තර පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න පැල්මඩුලු රාජමහා විහාරස්ථානයේ නායක හිමියන්ගෙන් දැන ගත හැකිවනු ඇතැයි පවසා පොලිස්‍ යතුරු පැදි කන්ඩායමක් පෙරටු කොට රත්නපුර සිට පැලඩුලු විහාරයට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාව පිටත්කර යවා ගැලවුනෙමි.මේ රාජ්‍යතාන්ත්‍රික මෙගෙයුම් වලට මට අවකාශ සලසමින් දක්ෂ පරිපාලන සේවා නිලධාරියෙකු වන එවක පැල්මඩුලු ප්‍රාදේශීය ලේකම් රෝහණ සේනාරත්න ප්‍රදර්ශන භූමියේ කටයුතු හා අවට කටයුතු මැනවින් සංවිධානය කිරීමට සක්‍රිය දායකත්වයක් දැරීම මට විශාල සහනයක් විය. නියමිත දින ගුවන් මගින් ගන්කන්ද විදුහලට ධාතුන් වැඩමවා ගුවන්‍ යානයෙන් පිටතට ගත් ධාතූ මංජුසාවට ඉමහත් සර්ධාවෙන් අත තැබූ එවක සබරගමු ආණ්ඩුකාර විජමු ලොකුබණ්ඩාරයන් පවා පසෙකට තල්ලු කිරීමට ඉන්දීය ආරක්ෂකයෝ නොපැකිලුනහ.
වැටෙන්න ගිය එතුමාව අල්ලාගත් මා දෙස බැලූ ලොකුබණ්ඩාරයන් “අරූ මාව තල්ලු කළාට මම කොහොමහරි ධාතු කරඬුවට අත ගැසුවනේ ” කියා හඬ නඟා සිංහලෙන් කියා සතුටු වූයේ කුඩා දරුවෙකු සේ හැඟීම්බර වෙමිනි.

ධාතු ප්‍රදර්ශණය සිදුවෙද්දී ප්‍රදර්ශණ කුටිය තුළ උෂ්ණත්වය ගැන ඇස ගසාගෙන නිරීක්ෂණය කල ඉන්දීය පුරාවිද්‍යා නිලධාරීන් උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නියමිත සීමාව ඉක්ම යාමත් සමග ප්‍රදර්ශණය නතර කර කුටියේ උෂ්ණත්වය සමනයට පියවරගෙන අවසන් වීමෙන් පසු පමණක් යළි ප්‍රදර්ශනය ඇරඹීම සිදුකෙරිණ.
ප්‍රදර්ශණය අවසානයේ අනුරාධපුරයට ධාතූන් වහන්සේලා වැඩම කිරීමට තිබූ වැඩපිළිවෙල අවුල් කරමින් හිටිහැටියේ ධාරානිපාත වර්ෂාවක් රත්නපුරයට පතිතවීම නිසා සබරගමුව හතර මායිමකට හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමට නොහැකි විය. පෙරවරු අටට අනුරාධපුරයේ ප්‍රදර්ශණය ඇරඹිය යුතුව තිබූ සර්වඥ ධාතූන් තුන් නමක් කුඩා පිරමිඩාකාර නිමැවුමක තුන් පැත්තේ සවි වී ප්‍රදර්ශණ කුටියේ තැන්පත්ව දහවල් එකොලහටත් පැල්මඩුලු විහාරයේ ධර්මශාලාවේ වැඩ සිටියහ.පැල්මඩුලු විහාරයේ ආධිපත්‍යය හොබවන ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ඉමහත් ශ්‍රද්ධාවෙන්‍ යුතුව දිවා බුද්ධ පූජාවේ ගාථාවන් සජ්ජායනා කරද්දී එවක බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් අප හිතවත් ඩී එම් දිසානායක යන් සමග එක් වූ මම ඉන්දිය පුරාවිද්‍යාරක්ෂක ඩෝසන් සමග ගත යුතු ඊළඟ විකල්ප විසඳුම ගැන සාකච්ඡා කළෙමි. අවිස්සාවේල්ල ,ඇඹිලිපිටිය, බෙලිහුල්ඔය යන තුන් මායිමෙන් ඇතුලත කිසිම ස්ථානයකට හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම හදිසි කාලගුණික විපර්යාසය නිසා නොහැකි බව ශ්‍රීලංකා ගුවන් හමුදාව වෙතින් තහවුරු කරගත් අපට විකල්ප ලෙස ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩංගනය ,සමනලවැව ක්‍රීඩාංගනය හෝ අවිස්සාවේල්ල නගර සභා ක්‍රීඩාංගනය යන ස්ථාන තුනෙන් එකකට ගොඩ බිමින් ධාතුන් වහන්සේලා ප්‍රවාහනය කළ හැකි බව වැටහිණ.

මේ තත්වය වටහාගත් ඩෝසන් මහතා අවසානයේ අවිස්සාවේල්ලට වෙඩි නොවදින රථයකින් ධාතුන් ප්‍රවාහනයට එකඟ විය.ඒ වන විට ඉන්දීය රජය සමග ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබූ ගිවිසුම අනුව ධාතූන් වහන්සේලා ගොඩබිමින් ප්‍රවාහනය කළ හැකි ව තිබුණේ කිලෝමීටර් තුනක උපරිම දුරක් පමණි.එහෙත්, පැල්මඩුල්ල සිට අවිස්සාවේල්ලට කිලෝමීටර් හැටක් පමණ ඇති නිසා ධාතු ප්‍රදර්ශනයට අදාල රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම උල්ලංගනයක් ඉන් සිදුවේ.මෙයට විසඳුමක් ලෙස එකී ෆිවිසුම සංශෝධනයක් ලෙස නව ගිවිසුමක් අත්සන් කිරීමට ද අපට සිදුවිය.ශ්‍රීලංකා රජය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් දිසානායක මහතාත් රත්නපුර ආන්ඩුවේ ඒජන්ත වූ මමත් ඉන්දීය රජය වෙනුවෙන් දිල්ලි ජාතික කෞතුකාගාරයේ පුරාවිද්‍යාරක්ෂක ඩෝසන් මහතාත් තවත් පුරාවිද්‍යාධාරියෙකු වන ජින් මහතාත් අත්සන් කළ ඒ ඓතිහාසික ගිවිසුම පැල්මඩුලු ප්‍රාදේශීය ලේකම් රෝහණ සේනාරත්න විසින් සැපයූ ප්ලුස්කැප් කොල දෙකක තමාගේ බෝල්පොයින්ට් පෑනෙන් ක්ෂණිකව කෙටුම් පත් කළේ ඩෝසන් මහතාම ය. අධිරාජ්‍යවාදී යුගයෙන් පසුව පෑනෙන් කඩදාසියක ලියා අත්සන් කළ එකම රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම ද මෙයම විය යුතුය.මේ ගිවිසුම අනුව වෙඩි නොවදින රථයක ඉදිරියෙන් සහ පසුපසින් සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් සහිත ආරක්ෂක රථ ද ධාතුන් වහන්සේ වඩමවන වෙඩි නොවදින රථයට අවශ්‍ය විට පැති ආරක්ෂාව සැපයීමට සූදානම් පොලිස් යතුරුපැදි දෙකක්ද යෙදවිය යුතු විය.ධාතුන් වහන්සේලා වඩමවන රථය පැයට කිලෝමීටර් හතලිහට වඩා වේගයෙන් ගමන් කරවීමත් කවර හේතුවක් නිසාවත් නතර කිරීමත් තහනම් විය.

මේ අන්දමට අවිස්සාවේල්ලට ධාතූන් වහන්සේලා වඩමවා ගෙන එද්දී ඩෝසන් මහතා ගමන් කළේ මගේ නිල රථයේ මා සමග ය. කපිල වස්තු ධාතුන් වහන්සේලාට ඉහලම තරම් ගෞරවයක් දක්වන ශ්‍රී ලංකාවේ දී මෙතරම් ඉහල ආරක්ෂාවක් බලාපොරොත්තු වන්නේ කවුරුන් හෝ ධාතුන් වහන්සේලා පැහැර ගනිවිදැයි සැකයක් ඇතිවදැයි අතරමඟ දී මම ඩෝසන් මහතාගෙන් නිකමට මෙන් විමසුවෙමි. ඊට පිළිතුරු දුන් ඔහු පැවසුවේ එසේ පැහැර ගැනීමක් ගැන සැකයකට වඩා මේ ආරක්ෂක විධි විධාන පනවා ඇත්තේ මේ ධාතූන් වහන්සේලාගේ ඓතිහාසික සංස්කෘතිකමය හා පුරා විද්‍යාත්මක අගය සැලකිල්ලට ගනිමින් බව ය. වසර දෙදහස් පන්සියයකට පමන ඉහතදී ආදාහනය කෙරුණු බුද්ධ ශරීරයෙන් ශේෂ වී ඇති මේ අස්ථි කොටස් වල ස්වරූපය වෙනස්වීමට හෝ තවදුරටත් කැඩී බිඳී යාමට හෝ විනාශ වීමට ඇති ඉඩකඩ ගැන විශේෂයෙන් සලකා බලා ධාතුන් වහන්සේලා දිල්ලි කෞතුකාගාරයෙන් එළියට නොගත යුතුය යන ප්‍රතිපත්තියකට ඉන්දීය රජය එළඹ ඇති බවත් ඉන්දියාවේ අතිශය සමීප මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දීය රජයෙන් කළ පෞද්ගලික ඉල්ලීම අනුව ධාතූන් පියලි තුනක් ප්‍රදර්ශනයට එවීමට ඉන්දීය රජය එකඟවූ බවත් එහා මෙහා රැගෙන යාමේදී ඇතිවන සුලු කම්පනයකින් පවා මේවාට යම් හානියක් වීමට ඉඩ ඇති බවත් යම් විනාශයක් සිදුවූ පසු පිළියම් ගැන පසුතැවිලි වෙනවාට වඩා පූර්ව ආරක්ෂක විධිවිධාන සැලසීම වටින බවත් ඩෝසන් මහතා මට පැහැදිලි කළේය.

වසර දහස් ගණනකට ඉහතදී අධික තාපයකට ලක්වීමෙන් ශේෂ වූ ධාතූන් තබා ගත යුතු පාරිසරික උෂ්ණත්ව මට්ටම ආර්ද්‍රතාවය හා දරාගත හැකි ශබ්ද කම්පන මට්ටම ආදී සියල්ල විද්‍යාත්මකව ගණනය කර ඇති අතර මේවා විනාශ වුවහොත් ඒ විනාශය ලොවටම පාඩුවක් බැවින් ඉන්දීය රජය කැපවී ඇත්තේ ලෝකය වෙනුවෙන් ඒ වටිනා ධාතුන්‍ රැක බලා ගැනීමට බව ද ඔහු මට පැහැදිලි කළේය.එසේ පවසා ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයට පැමිණ ඉතිරි පිප්‍රාව ධාතුන් ද නරඹන ලෙසත් ඉන්දීය රජය ඒවා ආරක්ෂා කරන අන්දමද එවිට තේරුම් ගත හැකිවනු ඇති බවද ඩෝසන් මහතා වැඩිදුරටත් පැවසීය.මෙසේ මට විස්තර කළ ඔහු හින්දු භක්තිකයකු මිස බෞද්ධයෙක් ද නොවේ.එසේ ඔහු මට විස්‍තර කරද්දී ධාතුන්වහන්සේලා රැගත් මංජුසාව සිය උකුල මත තබාගෙන පැයට කිලෝමීටර් තිහත් තිස් පහත් අතර වේගයකින් පොලිස් හා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සහිතව අවිස්සාවේල්ල බලා ඇදෙන වෙඩි නොවදින රථයේ ගමන් කළේ ද ජෛන ආගමිකයකු වූ පුරාවිද්‍යා නිලධාරි ජින් මහතාය. ඉන්දියාවේ එහෙම ය. ශ්‍රී ලංකාවේ නම් ශාසනික ඓතිහාසික සංස්කෘතිකමය හා පුරා විද්‍යාත්මක අගය යකාට දමා බෞද්ධ පුරා විද්‍යා උරුමයන්ට හැට්ට අන්දා සිවුරු පොරවා හුණුබදාම ගා කිරිබත් ගොඩ ගසා පහන් දල්වා දුම් ගස්වා ඒවාට දෙතිස් වධය පමුණුවති.එබැවින් පෙරදිග ආධ්‍යාත්මයේ විශිෂ්ඨතම සංකේතයක් සහ සුවිශේෂී පෞරාණික කලා නිර්මාණයක් වන අවුකන පිළිමය මුල් කොට මේ නැටූ නෙයියාඩගම ජාතික මට්ටමේ ප්‍රකම්පනයකට හේතුවීම අතිශය සාධනීය කරුණකි.එමෙන්ම අප රටේ ඇති එකම සජීවී පුරාවස්තුව වන ජයසිරි මහ බෝධි මූලයට කපටි ඔල්මාදකාරයෙකු පැස්ස වූ ඊනියා ධම්මික පැණිය නම් ද්‍රාවණය වක්කිරීම වැළකුණේ එවක අටමස්ථානාධිපති නා හිමියන් බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා ය.

මූලාශ්‍රය: විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan